ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති කෙටුම්පත ටස්මේනියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි: මාර්තු 05 වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 05 වනදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් මෙලෙස ඉදිරිපත් කෙරේ. SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට

Tasmania's lower house passes its voluntary assisted dying legislation

Tasmania's lower house passes its voluntary assisted dying legislation Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද (05/03) රැස්වේ.
  • මේ දක්වා කොරෝනා එන්නත් 61,000 කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දී ඇති බව හෙළිවේ.
  • නීතිපති Christian Porter හට එල්ලවී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් විභාග කරගැනීමට ඉල්ලීමක්.
  • ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති කෙටුම්පත ටස්මේනියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි.
  • පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තු විවාදයට ගැනීමට දින නියම කෙරේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද (05/03) රැස්වේ

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන සහ වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද රැස්වේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය ස්කොට් මොරිසන් සහ ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන් මෙන්ම ප්‍රධාන පෙළේ සෞඛ්‍ය නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්වනු ඇත.

එමෙන්ම දැනට නවතා දමා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීම පිළිබඳව ද අද දිනයේ එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

විදෙස් රටවල සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් සතිපතා ගෙන්වා ගැනීම ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක්ම ක්‍රියාත්මක කරන නමුත් පසුගියදා Holiday Inn කොරෝනා පොකුරත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ එම ක්‍රියාවලිය තාවකාලිකව නතර කෙරුණි.

කෙසේනමුත්, ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරන දිනයක් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මේ වන තෙක් නිශ්චිතව ප්‍රකාශ කොට නොමැත.

මේ දක්වා කොරෝනා එන්නත් 61,000 කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දී ඇති බව හෙළිවේ

මේ දක්වා කොරෝනා එන්නත් 61,000 කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දී ඇති බව වාර්තා වේ.

එයින් 18,000 ක් පමණ residential aged care සහ disability care මධ්‍යස්ථාන වෙත ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම සෞඛ්‍ය සේවකයින් විසි දහසකට වැඩි පිරිසක් මේ වන විට කොරෝනා එන්නත්කරණ පුහුණුව සම්පූර්ණ කර ඇත.

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට සමස්ත ඔස්ට්‍රේලියවටම කොරෝනා එන්නත ලබාදීමේ ඉලක්කය සපුරාගැනීමට හැකිවෙතැයි සෞඛ්‍ය බලධාරීන්ට තවමත් විශ්වාස බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හෙද සහ වින්නඹු නිලධාරිනී Allison McMillan පැවසුවාය.

නීතිපති හට එල්ලවී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් විභාග කරගැනීමට ඉල්ලීමක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Christian Porter හට එල්ලවී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව විභාග කිරීම හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් සිදුකරගැනීමට වින්දිත කාන්තාවගේ මිතුරියකට අවශ්‍ය වී තිබේ.

වසර 1988 දී 17 වැනි වියෙහි පසුවූ Christian Porter විසින් එවකට 16 හැවිරිදි වියෙහි පසුවූ අදාළ තරුණියව දූෂණය කළ බවට චෝදනා එල්ල වෙමින් පවතින අතර එම චෝදනා නීතිපති Christian Porter විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අදාළ කාන්තාව පසුගිය වසරේදී මියගිය අතර  මියගිය කාන්තාවගේ පවුලේ උදවිය ඇගේ මරණයට හේතු වූ කරුණු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ අදහසට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධකරගෙන මේ සම්බන්ධයෙන් විභාගයක් කළ යුතු බව මියගිය කාන්තාවගේ මිතුරියක වන Dhanya Mani, ABC රූපවාහිනියේ Q and A වැඩසටහනට පැවසුවාය.

මේ අතර නීතිපති Christian Porter විසින් ස්ත්‍රී දූෂණයක් කළා යයි එල්ලවන චෝදනා සම්බන්ධව මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග විස්තර කරමින් නිව් සවුත් වේල්ස් පොලිසිය යාවත්කාලීන ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

වෛද්‍ය සහ පෞද්ගලික හේතූන් මත මෙම පැමිණිල්ල ඉදිරියට ගෙනයාමට තමන්ට නොහැකි බව පවසමින් වින්දිත කාන්තාව පසුගිය වසරේ ජුනි 23 වන දින රහස් පරීක්ෂකයින්ට ඊමේල් පණිවිඩයක් යැවූ බව එහි සඳහන් වේ.

ඊට ටික කලකට පසුව අදාළ කාන්තාව සිය දිවි නසා ගත්තාය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ Kings Cross පොලිස් ස්ථානයේදී ළමා අපයෝජන හා ලිංගික අපරාධ බලකායේ රහස් පරීක්ෂකයින් විසින් මෙම කාන්තාව ප්‍රථම වරට හමුවී තිබේ.

එතැන් සිට ඊළඟ මාස තුන තුළ අවම වශයෙන් අවස්ථා පහකදී ඔවුන් ඇයව හමුවී තිබේ.

ඇයගේ මරණයෙන් පසු පොලිස් විමර්ශකයින් ඇයගේ පෞද්ගලික ලියවිල්ලක් ලබා ගත් නමුත් එහි තත්වය පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව පිළිගත හැකි සාක්ෂි නොමැති බව පවසමින් ඔවුන්ගේ පරීක්ෂණය අවසන් කරන ලදී.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති කෙටුම්පත ටස්මේනියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි

මරණාසන්නව සිටින සුව කළ නොහැකි රෝගීන් සඳහා ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති කෙටුම්පත ටස්මේනියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වී තිබේ.

යෝජිත නීති, සෞඛ්‍ය සංවිධානවල නීතිවලට නොගැලපීම සම්බන්ධව ඇතැම් කරුණු මතුවීම නිසා මෙම කෙටුම්පත සඳහා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

තමා මේ පිළිබඳව ගැඹුරින් සිතාබලමින් සිටින බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවූ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තු විවාදයට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මේ මස 10 වැනිදා ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (04/03) තීරණය කර ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස්වූ අතර එහිදී මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කළ බවද මහ ලේකම්වරයා පැවසීය.

කොවිඩ් ආසාදිත මෘත ශරීර ඉරණතිව් දුපතේ භූමදානය කිරීමට එරෙහිව දූපත් වාසීන් විරෝධය පායි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හෝ භූමදානය සඳහා ඉඩ ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා නිකුත් කළාය.

එම ගැසට් නිවේදනයෙන් අනතුරුව කොවිඩ් දේහ භූමදානය සඳහා කිලිනොච්චියේ, ඉරණතිව් දූපතේ ස්ථානයක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර තවත් සුදුසු බිම් ප්‍රදේශ ද සැලකිල්ලට භාජනය කර තිබේ.

මේ අතර කිලිනොච්චිය ඉරණතිව් දූපතට කොවිඩ් මළ සිරුරු රැගෙන විත් මිහිදන් කිරීමට එරෙහිව එම දූපතේ වැසියන් විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම විරෝධයට මේ වන විට උතුරේ තවත් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් එකතු වී තිබේ.

උතුරේ එක්සත් ධීවර සංගමය තරුණ සංගමය ධීවර සහයෝගීතා ව්‍යාපාරය කාන්තා ධීවර සංගමය ඇතුළු සංගම් 20කට වඩා වැඩි ප්‍රමාණයම් ඉරණතිව් දූපතේ වැසියන්ට සහාය පළ කොට ඇති අතර ඔවුන්ගේ නියෝජිතයන් දූපත වෙත ගොස් තිබේ.

ඉරණතිව් දූපතේ වැසියන් පළාතේ ආගමික නායකයන් සමඟ දූපතට පිවිසෙන ඉරණමාතා නගර් හන්දිය අසල විශාල විරෝධතාවක් පවත්වා රජයේ මේ තීරණය වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.


 

2021 මාර්තු 05 ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න පහතින් ඇති සබැඳියෙන්  

 

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


 

ළිබඳ සෙවූ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තු විවාදයට

 


Share
Published 5 March 2021 12:49pm
By Madhura Seneviratne

Share this with family and friends