ඔස්ට්‍රේලියාවේදී පළමු වරට මව්වරුන් බවට පත්වුණු තාවකාලික වීසා ලාභී ශ්‍රී ලාංකිකයින්ට දේශ සීමා වසා තැබීම නිසා විඳින්නට සිදුවන දුක් ගැහැට (SBS සිංහල/ විමර්ශන)

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබියදී තාවකාලික වීසා බලපත්‍ර ලාභීන් ගණනාවක්ම දෙමාපියන් හෝ වැඩිහිටියෙකු හෝ අසළ නොමැතිව තම ප්‍රථම දරු ප්‍රසූතිය ඔස්ට්‍රේලියාව තුළ සිදුකර තිබේ.

Became a first-time mother on a temporary visa while the Australian border closed

Source: Jennifer Polixenni Brankin/Getty Images

මව් පදවියට පත්වීම යනු කාන්තාවක් මෙලොව ලබන උතුම්ම භාග්‍යයකි.

පළමු වරට මවක් වීම යනු එයින්ද ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අවස්ථාවකි.

නමුත් තමන් ගේ මව් රටින් බැහැරව දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ ළඟ නොමැතිව ප්‍රථම වරට මව් පදවිය ලැබීම එක් පසෙකින් විශාල අභියෝග ගණනාවකට මුහුණ පෑමක් වන අතර අනෙක් පසින් දැඩි කම්පනයකට හේතුවන කරුණක් වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබියදී තාවකාලික වීසා බලපත්‍ර ලාභීන් ගණනාවක්ම දෙමාපියන් හෝ වැඩිහිටියෙකු හෝ අසළ නොමැතිව තම ප්‍රථම දරු ප්‍රසූතිය ඔස්ට්‍රේලියාව තුළ සිදුකර තිබේ.

දේශ සීමා වසා දැමීම නිසා කිසිවෙකු හෝ ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට නොහැකිවීම මත තමන් පළමු වරට මවක් වීමේදී මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගත් අයුරු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා බලපත්‍ර ලාභීන් කිහිප දෙනෙකු සමග SBS සිංහල ගුවන් විදුලිය සාකච්ඡා කළෙමු.

ඔවුන්ගේ අත්දැකීම් අපි ඔබට මෙසේ ගෙන එන්නෙමු.
Became a first-time mother on a temporary visa while the Australian border closed
Source: MARTIN BUREAU/AFP via Getty Images

දරුවා බලාගන්න කවුරුත් නැති නිසා රැකියාවට යන්න විදියක් නැහැ: මෙල්බර්න් නුවර පූජා ප්‍රේමචන්ද්‍ර

මෙල්බර්න් නුවර පූජා ප්‍රේමචන්ද්‍ර යනු අපගේ කතාබහට එක්වූ පළමු චරිතය වේ.

ඇය Temporary Graduate වීසා (Subclass 485) හෙවත් TR එකේ සිටින අතර 2020 වසරේ ජූලි මාසයේ 17 වන දින තම ප්‍රථම දරුවා ඔස්ට්‍රේලියාවේදී බිහි කළාය.

ගර්භනී සමයේ හෝ දරු ප්‍රසූතිය වන අවස්ථාවේ හෝ දරුවා ලැබී මේ වන තෙක් හෝ ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා තිබීම නිසා පූජා ට ඇයගේ දෙමාපියන් තමන් වෙත ගෙන්වා ගැනීමට නොහැකිවී තිබේ.
"අපි මුලින්ම දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ, ඒ වෙද්දී කොරෝනා වසංගතයක් ගැන කිසිම තොරතුරක් තිබුණේ නැහැ, ඉතින් අපි හිතුවා අම්මලාට වීසා අයදුම් කරලා 2020 මුලදී මෙල්බර්න් වලට ගෙන්න ගන්න. නමුත් 2020 මාර්තු වෙද්දී ඔස්ට්‍රේලියාවේ කොරෝනා තත්ත්වෙත් වෙනස් වුණා, ඒත් සමගම දේශ සීමාත් වැහුවා. එතනින් අම්මලා ව ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුව අපිට නැති වුණා." යනුවෙන් පූජා ගේ සැමියා වන ප්‍රමෝද් ප්‍රේමචන්ද්‍ර SBS සිංහල ගුවන් විදුලියට කියා සිටියේය.
පළමු දරු ප්‍රසූතිය නිසා පූජා ට සහ ප්‍රමෝද් ට ඒ පිළිබඳ පෙර අත්දැකීම් නොතිබුණු නිසාම පූජාව රෝහල් ගත කරන අවස්ථාවේදී මදක් කලබල සිතුවිලි පැන නැගුනු බව ප්‍රමෝද් අපට පැවසීය.

"මගේ බිරිඳගේ Water Bag එක හිතපු නැති විදියට හදිසියේම කැඩුනා, ඒ නිසා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවුණා. එවෙලේ මට ඇතුළට යන්න දුන්නේ නැහැ, නමුත් ඔස්ට්‍රේලියාවේ රෝහල් වල සැපයෙන සේවා වල ඉහළ ගුණාත්මක භාවය නිසා මට බයක් තිබුණේ නැහැ." යනුවෙන් ප්‍රමෝද් තම බිරිඳව රෝහල් ගත කළ අයුරු සිහිපත් කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


දරුවා ලැබුණු පසුව ද තමන් විවිධ අභියෝග වලට මුහුණ දුන් බව පූජා SBS සිංහල ගුවන් විදුලියට මේ ආකාරයෙන් පැවසුවාය.

"බබා ලැබුණට පස්සේ සැමියාට පමණක් දවසකට දෙපාරක් අපිව බලන්න රෝහලට එන්නට අවසර තිබුණා. අපේ ළඟ කාටවත් ඉන්න අවසර දුන්නේ නැහැ කොරෝනා වසංගතය නිසා. මට සිසේරියන් සැත්කමක් සිදු කළේ. මගේ තුවාලයත් සමග රෝහලේ දී නැගිටලා මගේ සහ බබා  ගේ වැඩ ටික කරගන්න ගොඩක් අමාරු වුණා. කවුරුහරි ළඟ නැති එකේ අඩුව තදින්ම දැනුණා. නමුත් රෝහලෙන් ගොඩාක් ලොකු සහයෝගයක් ලැබුණා. නමුත්  ඒ අයටත් හැම වෙලේම අපි ගැන බලන්න බැහැ."

ප්‍රමෝද් හට එවකට ඔහුගේ රැකියාවෙන් නිවාඩු ලබාදී තිබුණේ සති දෙකක් පමණක් බවත් එයින් පළමු සතිය පූජාව රෝහල් ගත කරන විට ලබාගත් නිසා නිවසට පැමිණි පසු ඔහුට පූජා හට උදව් කිරීමට නිවසේ සිටීමට ඉතිරි වුයේ තවත් සතියක නිවාඩු කාලයක් පමණි.

ඉන් අනතුරුව තමන් තවත් අභියෝග වලට මුහුණ දුන් බව පූජා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ මේ ආකාරයෙනි.

"ගෙදර ඇවිත් මුල් මාස කිහිපයේ කිරි වමනේ යාම වගේ බබා ගේ විවිධ ගැටළු වලට අපි Midwife Hotline කතා කළා, නැත්තන් බොහෝ විට මම බබව Emergency අරං ගියා, එහෙම ගියාට පස්සේ තමයි මම දැනගත්තේ ගොඩාක් ඒවා සාමාන්‍ය දේවල් කියලා, දවල් වරුවේ මමයි බබයි විතරයි තනියම, අපිට අම්මලාගෙන් වුණත් හැම එකම හැමවෙලාවෙම අහන්න විදියක් තිබුනේ නැහැ."
මුල්‍ය පැත්තෙන් ද පූජා ට සහ ප්‍රමෝද් ට විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුවී තිබේ.

තමන් Temporary Graduate වීසා එකක් සිටින නිසා ඔස්ට්‍රේලියානු රජයෙන් දරු ප්‍රසුතියකදී හෝ ඊට පසුව ලැබෙන කිසිදු වරප්‍රසාදයක් නොලැබුණු බව ඔවුහු අපට පැවසුහ.

දරුවා ලැබීමට පෙර පූජා රැකියාවක් කළද පසුව ඇයට එම රැකියාවෙන් ඉවත් වීමට සිදුවී තිබේ.

ඇයගේ සේවා ස්ථානයෙන් ඇයට ගෙවීම් සහිත මාතෘ නිවාඩු ලබා දී තිබුනේ සති හයක් පමණක් වීම ඊට හේතුවයි.

මේ වන විට ප්‍රමෝද් පමණක් රැකියාව කරන නමුත් දරුවාව රැකබලා ගැනීමට කිසිවෙකුත් නොමැතිවීම නිසා තමන්ට රැකියාවට යාමට අවශ්‍ය වුවද යාමට නොහැකිවී ඇති බව පූජා අපට පැවසුවාය.

දෙමාපියන් ගෙන් කාට හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දේ නම් මේ තත්ත්වයෙන් මිදීමට සහ තමන්ගේ මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්වාගෙන යාමට මහත් රුකුලක් වනු ඇති බවත් ඇය පැවසුවාය.

එනිසා තමන් වැනි මව් වරුන් මුහුණ දෙන අභියෝග ගැන සිතා දෙමාපියන් ගෙන් කෙනෙකු හෝ ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස පූජා සහ ප්‍රමෝද් ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිති.
Became a first-time mother on a temporary visa while the Australian border closed
Source: DIDIER PALLAGES/AFP via Getty Images

අධ්‍යාපන කටයුතු හා දරුවාගේ කටයුතු පාලනය කරගන්න බැරුව දැඩි මානසික පීඩනයට ලක්වූ අවස්ථා එමටයි: ඩාර්වින් නුවර චතුරානි මුදියන්සේ

ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර චතුරානි මුදියන්සේ සහ අයෙග් සැමියා වන චමීර ශිෂ්‍ය වීසා වල සිටින යුවලකි.

ඔවුන්ට තම කුඩා පුතුව ලැබුණේ 2020 වසරේ සැප්තැම්බර් මාසයේය.

තමාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රයට අදාළ රක්ෂණ ක්‍රමයෙන් දරු ප්‍රසූතිය සඳහා රෝහලේ වියදම් සියල්ලක්ම පාහේ ආවරණය වුවද Medicare පහසුකම නැති නිසා ගර්භනී සමයේ සිදුකළ විවිධ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් හමුවීම් වැනි දේ සඳහා සැලකිය යුතු මුදලක් අතින් ගෙවීමට තමන්ට සිදුවූ බව චතුරානි අප වෙත පැවසුවාය.

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය නිසා තමන්ගේ පියාගේ රැකියාව ද අහිමිවූ බවත් එනිසා මේ මොහොතේ තමන්ගේ දෙමාපියන්ට තමන් ට මුල්‍යමය වශයෙන් උපකාර කිරීමට නොහැකිවී තිබීම නිසාත් තමන් දැඩි ආර්ථික අභියෝග වලට මුහුණ දී සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

සතියකට පැය 20 සීමාව යටතේ තමන් අධ්‍යාපනය ලබන Aged Care ක්ෂේත්‍රයේ රැකියාවක් දරුවා ලැබීමට පෙර තමන් සිදුකළ බවත් දරුවා ලැබීමට ආසන්න වෙත්ම තමන්ට රැකියාවෙන් ඉවත් වීමට සිදුවූ බවත් ඇය අපට පැවසුවාය.

"අපි ශිෂ්‍ය වීසා එකක ඉන්නා නිසා අපට ඔස්ට්‍රේලියානු රජයෙන් කිසිම දීමනාවක් ලබෙන්නේ නැහැ. එනිසා දරුවා ගේ සියලු දේවල් මුදල් ලබා දී අපට කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැනට රැකියාවක් කරන්නේ සැමියා විතරයි, ඔහුටත් සතියකට පැය 20 යි වැඩ කරන්න පුළුවන්. මේ වෙලාවේ අම්මලා ළඟ නැති අඩුව මට සැහෙන්න දැනෙනවා." යනුවෙන් චතුරානි බොහොම හැගීම්බරව අප සමග පැවසුවාය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


දහවල් කාලයේ සැමියා රැකියාව කරන බැවින් දරුවා ගේ වැඩ කටයුතු කරන අතරේ ඇයට නැවතත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට සිදුවී ඇති බවත් ඇය අපට පැවසුවාය.

එය බොහෝ විට ඉතා ගැටලුකාරී වන නමුත් තමන් එය පාලනය කරගනිමින් එම අභියෝගයට මුහුණ දෙමින් සිටින බව ඇය සඳහන් කළාය.
"Child Care එකකට බබාව දාන්නත් දවසකට ඩොලර් 120 ත් 130 ත් අතර ගාණක් ගන්නවා. අපිට ස්ථිර පදිංචිය නැති නිසා ආණ්ඩුවෙන් ලබා දෙන child care subsidy එක ලබෙන්නේ නැහැ. එනිසා පැය 4 කට දැම්මත් මුළු දවසම දැම්මත් අපි ඒ සම්පූර්ණ මුදලම ගෙවිය යුතු වෙනවා. මේ හින්දා අධ්‍යාපන කටයුතු කරගන්න අතරේ දරුවාව රැකබලාගන්න අඩුම තරමේ අම්මව හරි ගෙන්න ගන්න ඉඩ දෙනවනම් මේ වෙලාවේ මට ඒක ගොඩක් වටිනවා." යනුවෙන් චතුරානි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
ඇතැම් වේලාවල අධ්‍යාපන කටයුතු, දරුවාගේ කටයුතු සහ නිවසේ කටයුතු පාලනය කරගත නොහැකිව තමන් දැඩි මානසික පීඩනයකට ලක්වූ අවස්ථා ද කිහිපයක් ඇතිවූ බව ඇය අපට පැවසුවාය.
Became a first-time mother on a temporary visa while the Australian border closed
Source: MARTIN BUREAU/AFP via Getty Images

දරුවා බලාගැනීමට කවුරුත් නැති නිසා සෑහෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙලා: මෙල්බර්න් නුවර සඳුනි ඇල්විටිගල

2020 අප්‍රේල් 10 වැනි දින මෙල්බර්න් නුවර සඳුනි ඇල්විටිගල තම ප්‍රථම දරුවා ලෙස දියණියක බිහි කළාය.

ඇය මේ වන විට Temporary Graduate වීසා (Subclass 485) හෙවත් TR එකේ සිටියි.

තම දරුවාගේ උපතට පෙර දෙමාපියන් ගෙන්වා ගැනීමට සිතා සිටි සඳුනි හට එය අහිමිවී ගිය අයුරු SBS සිංහල ගුවන් විදුලියට මෙසේ පැවසුවාය.

"මට බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නකොට ඔස්ට්‍රේලියාවේ කොරෝනා බියක් තිබුනේ නැහැ, මගේ ප්‍රසුතිය සඳහා දින ලැබිල තිබුණේ අප්‍රේල් මාසයේ නිසා මම හිතුවා මාර්තු මැද වගේ වෙද්දී අම්මලාව ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්න. මොකද මම ඉන්නේ TR එකේ නිසා අම්මලාට වීසා ලබාදෙන උපරිම කාල සීමාවක් තිබුණා. එනිසා මම හිතුවා කලින් ගෙන්න නොගෙන අප්‍රේල් දින ලං කරලම ගෙන්න ගන්න, එතකොට දුවව ලැබුනට පස්සේ අම්මලට මගේ ළඟ සැලකිය යුතු කාලයක් ඉන්න ඉඩ ලැබෙන නිසා. නමුත් අපි කවුරුත් නොසිතු විදියට 2020 මාර්තු මැද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වැහුවා, මෙහෙ සහ ලංකාවේ දෙකේම වීසා ලබාදීම ත් අත්හිටෙව්වා. ඇහැට පෙනී පෙනී මට අම්මලාව ගෙන්න ගන්න බැරි උනා."

දෙමාපියන්ව ගෙන්වා ගැනීමට නොහැකිවීමත් සමග සඳුනි තරමක් බියවූ බවත් අප සමග පැවසුවාය.


පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


මෙල්බර්න් නුවර ඇයට ඇයගේ ඥාතීන් කියා කිසිවෙකුත් නොසිටි අතර ඇයට සිටියේ ඇයගේ සැමියා පමණි.

නමුත් ඔහු ගේ රැකියාවේ සේවා මුරය යෙදී ඇත්තේ රාත්‍රී කාලයේ වන නිසා ගර්භනී සමයේත් දරුවා ලැබුණු පසුවත් තමන් ට නිවසේ තනිව සිටීමට සිදුවී ඇති බව ද සඳුනි අප වෙත පැවසුවාය.

තමන් රාත්‍රී කාලයේ තනිව සිටීම නිසා ගර්භනී කාලයේ තම දෙමාපියන් පවා බොහෝ සෙයින් බියවී සිටිය බවත් ඇය සඳහන් කළාය.

දරුවා ලැබීමට පෙර තමන් ද අර්ධ කාලීන රැකියාවක නිරතවූ නමුත් දරු ප්‍රසුතිය ලංවෙත්ම තමන්ට එයින් ඉවත් වීමට සිදුවූ බවත් තාවකාලික වීසා ලාභියෙකු නිසා තම සමාගමේ තමන්ට මාතෘ නිවාඩු නොමැති වූ බවත් ඇය සඳහන් කළාය.

එවිට ඉතරි වුයේ තම සැමියා ගේ රැකියාව පමණක් බවත් ඒ තත්ත්වය නිසා තමන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් සිටින බවත් සඳුනි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

දරු ප්‍රසූතියට අදාළ රෝහලේ වියදම් තම රක්ෂණයෙන් සම්පූර්ණයෙන් ආවරණය වුවද Medicare නොමැති නිසා ඊට පෙර සිදුකළ වියදම් සියල්ල තමන්ට දැරීමට සිදුවූ බවද ඇය පැවසුවාය.
තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය නිමවා සිටින සඳුනි හට ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය විසින් නියාමනය කරන Professional Year පාඨ මාලාව හැදෑරිය යුතුව තිබෙන නමුත් දරුවා රැකබලා ගැනීමට කිසිවෙකුත් නොමැති නිසා එය තවමත් පටන් ගැනීමට නොහැකිවී තිබේ.
අනෙක් පසින් Professional Year පාඨ මාලාව හැදෑරිය යුත්තේ TR එකේ සිටින විටදී පමණක් වන අතර TR එක අවසන් වූ පසුව එය හැදෑරීමට අවස්ථාව නොලැබේ.

එනිසා මේ මොහොතේ තම දෙමාපියන් මෙල්බර්න් නුවරට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය යම් සහනයක් ලබාදෙනවා නම් එය ඉතා විශාල උපකාරයක් බවද සඳුනි අප සමග ප්‍රකාශ කළාය.
Became a first-time mother on a temporary visa while the Australian border closed
Source: Chris McGrath/Getty Images

උදව්වට කවුරුත් නැති වුණාම සෑහෙන තරහ යනවා, තනියම අඬනවා: ඇඩිලේඩ් නුවර චමරි එරංගිකා

ඇඩිලේඩ් නුවර චමරි එරංගිකා 2021 වසරේ ජනවාරි 05 වන දින සිඟිති දියණියකට උපත ලබා දුන්නාය.

දරු ප්‍රසුතිය ආසන්න වන විටත් තමන් රැකියාවට ගිය බවත් රැකියාව කර නිවසට පැමිණි විට තමන්ට ශාරීරිකව ඉතා අපහසුවක් දැනුණු බවත් තාවකාලික වීසා බලපත්‍රයක සිටින චමරි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ඒ කාලයේ තමන්ට විවිධ සංකුලතාවන් තිබුණු බවත් එනිසාම දෙමාපියන් තමන්ගේ ළඟ නැති අඩුව තමන්ට තදින්ම දැනුණු බවත් ඇය පැවසුවාය.

"දරුවා ලැබුණු පසුව එම පීඩනය දෙගුණ වුණා. මට මැහුම් දාලා තිබ්බා නිසා බබා ගේ වැඩයි ගෙදර වැඩයි දෙකම කරගන්න ගොඩක් අමාරු වුණා. මගේ සැමියා සතියේ දින 6 ක්ම රැකියාව කරනවා. ගොඩක් වෙලාවට සැමියා ගෙදර ආවට පස්සේ තමයි මම නාගන්නේ, සැනසිල්ලේ කෑම ටික කන්නේ." යනුවෙන් චමරි තමන් දැන් මුහුණ දෙන අතිශය පීඩිත තත්ත්වය පැහැදිලි කළාය.

මෙම පීඩනය නිසාම තමන්ට mental depression හෙවත් මානසික අවපීඩනයකට මුහුණ දීමට සිදුවූ බවත් එයින් මිදීමට දැනටත් තමන් මානසික උපදේශකවරයෙකු ගේ උපදෙස් පිළිපදින බවත් චමරි අපට මේ අයුරින් පැවසුවාය.

"බබා ලැබෙන්න ඉන්න කොට මගේ සැමියා ගේ යාළුවො කිහිප දෙනෙක් ගොඩක් උදව් කළා. නමුත් මේ ඔස්ට්‍රේලියාවේ හැමෝම ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්, එනිසා කිසිම අයෙක්ට හැමදාම කාටවත් එක දිගට උදව් කරන්න අමාරුයි. බබා ලැබුනට පස්සේ උදව්වට කවුරුත් නැති වුණාම මට සැහෙන තරහ යනවා, කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැහැ, තනියම අඬනවා, සැමියත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැහැ, ජීවිතේ එපා වෙලා වගේ හිතෙනවා.
ඒ හැම වෙලාවෙම "අනේ මගේ අම්මා දැන් මගේ ගාව ඉන්නවනම්" කියල මට හිතුන වාර අනන්තයි." යනුවෙන් චමරි තමන්ගේ මානසිකත්වය අපට විස්තර කළාය.
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තැබුවද නිවසේ හෝ නිරෝධායනය වීමට අවස්ථාව සලසා තම දෙමාපියන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සානුකම්පිත හේතුන් මත හෝ අවසර දෙන ලෙස චමරි අවසන් වශයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියාය.

Share
Published 3 March 2021 3:39pm
Updated 3 March 2021 3:43pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends