ඔස්ට්‍රේලියාවේ උපන් අයට වඩා සංක්‍රමණිකයන්ගේ කොවිඩ් මරණ තුන් ගුණයකින් වැඩි බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

නවතම දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 6.8 කි.

Quarantine-Free International Flights Resume Into Victoria After COVID-19 Border Restrictions Ease

Overseas travellers arriving at Melbourne International Airport. Source: Getty Images

කොවිඩ් වසංගතයට ඔස්ට්‍රේලියාව දක්වන ප්‍රතිචාර හමුවේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික ප්‍රජාව ආරක්ෂා කරගැනීමට අසමත් වූවා යයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට යළිත් චෝදනා නැගෙන්නට පටන් ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින්ට වඩා විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය තුන් ගුණයකින් වැඩි බව නවතම දත්ත පෙන්වා දීමත් සමග මෙම චෝදනා යළි මතුවීම ආරම්භ විය.


Highlights

  • නවතම දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 6.8 කි.
  • නමුත් ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින්ගේ එම මරණ අනුපාතය 2.3 කි.
  • මැදපෙරදිග උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 29.3 කි.

කොවිඩ් මරණ සහ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්

2021 ජූලි 31 දක්වා ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ කොවිඩ් මරණ දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 4.2 කි.

ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින්ගේ එම අනුපාතය 2.0 කි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙම දත්ත පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් කර තිබේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


නමුත් 2022 ජනවාරි 31 තෙක් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ කොවිඩ් මරණවල දත්ත පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලදී.

ඒ සඳහා Delta සහ Omicron කොවිඩ් ප්‍රභේදවලින් මිය ගිය පිරිස්ද ඇතුළත් වී තිබේ.

එම දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 6.8 කි.

නමුත් ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින්ගේ එම මරණ අනුපාතය 2.3 කි.
නවතම දත්තවලට අනුව මැදපෙරදිග උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 29.3 කි.

මෙය ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයින්ට සාපේක්ෂව දස ගුණයකටත් වඩා වැඩිය.

මේ අතර දකුණු හා නැගෙනහිර යුරෝපයේ උපත ලැබූ පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය පුද්ගලයන් 100,000 කට මරණ 11.1 කි.

නමුත් ඊසානදිග ආසියාවේ, එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ උපන් පුද්ගලයින්ගේ මරණ අනුපාතය ඔස්ට්‍රේලියාවේ උපන් පුද්ගලයන්ට සමාන විය.
People wearing face masks wait outside a bank at Campsie in Sydney, August 19, 2021.
People wearing face masks wait outside a bank at Campsie in Sydney, August 19, 2021. Source: AAP/Joel Carrett

කම්කරු පක්ෂයෙන් මොරිසන් රජයට චෝදනා

කොවිඩ් වසංගතය අතරතුර බහු සංස්කෘතික ප්‍රජාවන් නැවත වරක් නොසලකා හැර ඇති බවට වත්මන් මොරිසන් රජයට චෝදනා කිරීමට කම්කරු පක්ෂය මෙම දත්ත භාවිතා කර ඇත.

ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් පරිවර්තනය කර බෙදා හරින ලද කොවිඩ් සෞඛ්‍ය පණිවිඩවල පරිවර්තන දෝෂ සහ යල් පැන ගිය එන්නත් උපදෙස්  ඇති බවට පසුව අනාවරණය විය.

ඔස්ට්‍රේලියාවෙන් පිටත උපත ලැබූ පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය අවම කිරීමට මොරිසන් රජය කිසිවක් කර නොමැති බව විපක්ෂයේ සෞඛ්‍ය හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිතවරු වන Clare O’Neil සහ Andrew Giles පැවසුහ.
මෙම වසංගතය පුරාවටම වත්මන් මොරිසන් රජය සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා නොකඩවා නොසලකා හැර ඇති බවද ඔහු සඳහන් කළේය.

"කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය උපදෙස් කාලෝචිත ලෙස පරිවර්තනය කිරීම රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ගේ කොවිඩ් එන්නත් අනුපාත එකතු කිරීම සහ හෙළිදරව් කිරීම හෝ සුදුසු සෞඛ්‍ය වැඩසටහන් සඳහා ආයෝජනය කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා." යනුවෙන්ද ඔවුහු පැවසුහ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙය නිවැරදි කරගත යුතුව තිබුණාද?

මෙම සංඛ්‍යා ඉතා කනස්සල්ලට පත්වන සහ ඉතා බරපතල ඒවා බව සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) පසුබිම්වලින් පැමිණි පුද්ගලයින් සඳහා ජාතික වශයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආයතනය වන FECCA හෙවත් ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිලයේ සභාපතිනිය Mary Patetsos පැවසුවාය.

CALD ප්‍රජාවන් ගේ කොවිඩ් මරණ අනුපාතය අද පවතින තත්ත්වයට නොපැමිණෙන ලෙස අපි සියලු දෙනාටම මේ සඳහා ක්‍රියාත්මක වීමට තිබුණු බවද ඇය SBS පුවත් සේවයට සඳහන් කළාය.

සංක්‍රමණික පසුබිම්වලින් ඔස්ට්‍රේලියාවට පැමිණි බොහෝ පුද්ගලයින් කොවිඩ් වයිරසයට සෑම විටම නිරාවරණය වීමට නියමිත වෘත්තීන්වල සේවය කරන බවත් ඇය පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly සෙනෙට් විමර්ශන අතරතුර "සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්හි විශේෂ ගැටළු" ඇති බව පසුගිය බදාදා (16/02) පිළිගත්තේය.

2020 දී මෙල්බර්න් හි උතුර සහ බටහිර මෙන්ම 2021 දී නිරිතදිග සිඩ්නි වැනි ප්‍රදේශවල කොවිඩ් වයිරසය විශාල රැලි වශයෙන් පැතිර ගිය කොවිඩ් කේන්ද්‍රස්ථාන සැලකිය යුතු මැද පෙරදිග ඩයස්පෝරාවන් ඇතුළුව විදේශයන්හි උපත ලද ඉහළ ජනගහනයක් ඇති ප්‍රදේශවල පැවති බව ඔහු පැවසීය.

මේ අතර වසංගතය අතරතුර වයිරසය පැතිරීම මැඩපැවැත්වීමට සහ කොවිඩ් එන්නත් අනුපාතය වැඩි දියුණු කිරීමට ප්‍රජා නායකයින් සම්බන්ධ කර ගෙන ඇති බවද රජය පාර්ශ්වයෙන් සෙනට් විමර්ශන කමිටුවට දැන්වීය.



Share
Published 18 February 2022 10:55am
Updated 12 August 2022 2:54pm
By Evan Young, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends