ඔස්ට්‍රේලියාවේ ප්‍රජා ආරක්ෂණ අරමුදල් ලබාදීමේදී ඇතැම් ආගම්වලට වැඩි සැලකිලි (SBS සිංහල/ වාර්තා)

වත්මන් මොරිසන් රජයේ ප්‍රජා ආරක්ෂණ වැඩසටහනක් යටතේ ලබා දී ඇති මුදල් ප්‍රදානවලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ආගමික සංවිධාන වෙත ලබා දී ඇති බව ඔස්ට්‍රේලියානු විගණනය විසින් සොයා ගන්නා ලදී.

Australian 50 dollar notes

Immigration Minister accepts ‘unconscious bias’ problem as some religions favoured for grant funding Source: AAP

ඔස්ට්‍රේලියාවේ විගණකාධිපතිවරයාගේ වාර්තාවකින් ආගමික කණ්ඩායම් අතර පක්ෂපාතීව සහ අසාධාරණ ලෙස රජයේ මුදල් ප්‍රදාන බෙදී ගොස් ඇති බව අනාවරණය කර තිබේ.

මෙම අනාවරණයෙන් පසු රජයේ මුදල් ප්‍රදාන වැඩසටහන්වල "unconscious bias" හෙවත් අවිඥානික පක්ෂග්‍රාහීත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පිළිගෙන තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ප්‍රජා ආරක්ෂණ වැඩසටහ යටතේ ලබා දී ඇති මුදල් ප්‍රදානවලින් වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තියානි හෝ යුදෙව් කණ්ඩායම්වලට බෙදා දී ඇති බව හෙළිවී ඇත.
  • මුස්ලිම්, බෞද්ධ, හින්දු හෝ සීක් ලෙස හඳුන්වන ආගමික කණ්ඩායම්වලට ඊට සාපේක්ෂව කුඩා මුදල් ප්‍රදාන ලබාදී ඇත.
  • මෙම වැඩසටහනේ සම්පුර්ණ කාලය පුරාවට අරමුදල් සඳහා ඉල්ලුම් කර ඇති නමුත් කිසිදු අරමුදලක් හිමි නොවුණු  විවිධ සංස්කෘතික කණ්ඩායම් 16 ක් ඇති බව ද හෙළිවී තිබේ.

විගණන වාර්තාව

වත්මන් මොරිසන් රජයේ ප්‍රජා ආරක්ෂණ වැඩසටහනක් යටතේ ලබා දී ඇති මුදල් ප්‍රදානවලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ආගමික සංවිධාන වෙත ලබා දී ඇති බව ඔස්ට්‍රේලියානු විගණනය විසින් සොයා ගන්නා ලදී.

නමුත් එම අරමුදල් ක්‍රිස්තියානි හෝ යුදෙව් කණ්ඩායම්වලට වැඩි සැලකිල්ලක් දක්වමින් බෙදා දී ඇති බවද හෙළිවී ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

විගණකාධිපති Grant Hehir ගේ වාර්තාවට අනුව මුස්ලිම්, බෞද්ධ, හින්දු හෝ සීක් ලෙස හඳුන්වන ආගමික කණ්ඩායම්වලින් මොරිසන් රජයේ ප්‍රජා ආරක්ෂණ අරමුදල යටතේ මුදල් ප්‍රදාන සඳහා ඉල්ලුම්පත්‍ර ස්වල්පයක් ලැබී ඇති අතර ඒවාට අරමුදල් ප්‍රදානය කර ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරන කුඩා ප්‍රජා කණ්ඩායම්වලට අමතර අභියෝග ඇති විය හැකි බව මේ පිළිබඳ අදහස් දක්වමින් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පසුගිය අඟහරුවාදා (15/02) මාධ්‍යවෙත පැවසීය.
"විවිධ ආගම් සම්බන්ධ ගැටළු පිළිබඳව දෙපාර්තමේන්තු තුළ අවිඥානික පක්ෂග්‍රාහීත්වයක් තිබිය හැකි යැයි මම සිතනවා, මම ඒ ගැන මගේ ලේකම්ට කතා කළා." යනුවෙන් ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

"සියලුම ආගමික ඇදහිලි, ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සංස්කෘතික දැනුවත්භාවය පිළිබඳව අපගේ නිලධාරීන් ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ පුහුණු කිරීමට රජය නිරන්තරයෙන් කටයුතු කරනවා. ඇතැම් විට ඒවා බටහිර ආගම්වලට සාපේක්ෂව ව්‍යුහාත්මකව වෙනස්." යනුවෙන්ද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke වැඩිදුරටත් පැවසුවේය.
Auditor general Grant Hehir.
Auditor general Grant Hehir. Source: AAP

ප්‍රජා ආරක්ෂණ අරමුදල

ඔස්ට්‍රේලියාවේ ප්‍රජා ආරක්ෂණ අරමුදල 2016 දී පිහිටුවන ලදී.

එය වට පහක් හරහා තේරීම් ක්‍රියාවලීන් අටක් සිදුකර ඇති අතර අයදුම්කරුවන් 700 දෙනෙකුට ඩොලර් මිලියන 184 ක මුදල් ප්‍රදාන ප්‍රදානය කර ඇත.

හයවන වටය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

ස්ථාවර සහ ජංගම ආරක්ෂක කැමරා සහ විදුලිපහන් ස්ථාපිත කිරීම වැනි අපරාධ වැළැක්වීමේ මුලපිරීම් සඳහා අරමුදල් සැපයීම මගින් අපරාධ සහ සමාජ විරෝධී හැසිරීම් මර්දනය කිරීම සඳහා මෙම වැඩසටහන පිහිටුවන ලදී.

වසර 2019 දී සිදුවූ Christchurch ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාර්ගික සහ ආගමික මත නොඉවසීම හා සම්බන්ධ ආරක්ෂක අවදානම්වලට මුහුණ දෙන පාසල්, පෙර පාසල් සහ ප්‍රජා සංවිධාන ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා ආරක්ෂණ අරමුදල පුළුල් කරන ලදී.

සමස්තයක් වශයෙන් එහි අරමුදල්වලින් 84% ක් ආගමික සංවිධාන වෙත ලබා දී ඇති බව පසුගිය සඳුදා (14/02) නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු ජාතික විගණන කාර්යාලයේ (ANAO) වාර්තාව, විසින් සොයා ගන්නා ලදී.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

අනුමත කරන ලද අයදුම්පත් සහ අරමුදල් ලබා දීම මැතිවරණ කොට්ඨාස අනුව ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව පිළිබිඹු කරන නමුත් අදාළ අරමුදල් බොහෝ දුරට යුදෙව් හෝ ක්‍රිස්තියානි ප්‍රජා සංවිධාන වෙත ලබාදී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ලැබුණු අයදුම්පත් හෝ අරමුදල් ප්‍රදානය කිරීම සලකා බලන කල හඳුනාගත් සංස්කෘතික කණ්ඩායම් හොඳින් නියෝජනය නොවී ඇති බවද එම වාර්තාව හෙළි කර ඇත.

ප්‍රජා ආරක්ෂණ වැඩසටහනේ සම්පුර්ණ කාලය පුරාවට අරමුදල් සඳහා ඉල්ලුම් කර ඇති නමුත් කිසිදු අරමුදලක් හිමි නොවුණු  විවිධ සංස්කෘතික කණ්ඩායම් 16 ක් ඇති බව ද අදාළ විගණන වාර්තාවේ දැක්වේ.

පිලිපීන, ඉරාක, ඉතාලි, රුසියානු, ඇසිරියානු, චීන, කොංගෝ, ෆුජියන්, ඉන්දියානු, ඉරාන, කොරියානු, කුර්දි, මැලේසියානු, පර්සියානු, පෝලන්ත, යුක්රේනියානු එම සංස්කෘතික කණ්ඩායම් බව සඳහන්.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රදාන රීති සහ මාර්ගෝපදේශ අනුව නිලධාරීන් විවෘත, විනිවිද පෙනෙන සහ සාධාරණ ප්‍රදානයන්  සඳහා ප්‍රවේශ විය යුතු ක්‍රම තෝරාගත යුතු බව එම වාර්තාවේ සඳහන් වේ.

හින්දු සහ දෙමළ ප්‍රජාවන්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික විගණන කාර්යාලයට ලැබුණු පැමිණිලි ගණනාවක් මෙම අරමුදල් ලබාගැනීමට ප්‍රවේශ වීමේ හැකියාව පිළිබඳ ගැටළු මතු කළ බව ද නවතම විගණන වාර්තාව අනාවරණය කරයි.

යුරෝපීය ආගම් හෝ ප්‍රජාවන් කෙරෙහි වැඩි අනුග්‍රහයක් දැක්වීම සහ මිල අධික උපදේශන සමාගම් යෙදවීමට සම්පත් නොමැති බහු සංස්කෘතික ප්‍රජාවන් කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන බවත් ඔවුන්ගේ පැමිණිලිවල අඩංගු වී ඇත.

ආගමික හා සංස්කෘතික අනුබද්ධතාවය ප්‍රදානයන් ලබාදීම තේරීමේ ක්‍රියාවලියේ කොටසක් නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Immigration Minister Alex Hawke speaks during Question Time at Parliament House in Canberra.
Immigration Minister Alex Hawke speaks during Question Time at Parliament House in Canberra. Source: AAP

ලිබරල් සන්ධානයේ මැතිවරණ ආසනවලට වැඩි සැලකිල්ලක්

වත්මන් ලිබරල් සන්ධාන රජය ජයග්‍රහණය කළ මැතිවරණ ආසනවලට ප්‍රජා ආරක්ෂණ අරමුදලේ ප්‍රදානයන් වැඩි වශයෙන් ලබාදී ඇති බවත් ප්‍රදානයන් ලබාදීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ සැලකිලිමත් වී නොමැති බවත් නවතම විගණන වාර්තාව හෙළි කරයි.

එය අධීක්‍ෂණය කරන ලද්දේ එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි වත්මන් ආරක්ෂක අමාත්‍ය Peter Dutton විසිනි.

තේරීම් ක්‍රියාවලි අටෙන් එකක් හැර, ප්‍රකාශිත නිර්ණායකයන්ට අනුකුලව සුදුසුකම් ලත් එක් එක් අයදුම්පත්‍රයේ තක්සේරු ප්‍රතිඵල පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු දෙපාර්තමේන්තුව විසින් සපයා නොමැති බව මෙම විගණනය විසින් සොයා ගන්නා ලදී.

එක් අවස්ථාවකදී තේරීම් නිර්ණායකවලට අනුකුලව තක්සේරු කිරීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර නොතිබූ අයදුම්පත් දෙකක් සඳහා ඩොලර් 199,570ක මුදලක් අමාත්‍යවරයෙකු විසින් අනුමත කරන ලදී.

අදාළ අමාත්‍යවරයා අතුරු මැතිවරණයකදී එම අයදුම්කරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන්ට අරමුදල් ප්‍රදානය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ

තවත් අවස්ථාවක අරමුදල් ලබාදීමට නුසුදුසු යැයි දෙපාර්තමේන්තුව විසින් උපදෙස් දුන් අයදුම්කරුවන් පස් දෙනෙකුට සහකාර අමාත්‍යවරයකු ඩොලර් මිලියන 1.3ක් ප්‍රදානය කළේය.
විගණන වාර්තාවට අනුව, මෙම වැඩසටහනේ පළමු වටයේ මුළු ව්‍යාපෘති ස්ථානවලින් 59% ක් වත්මන් මොරිසන් රජය යටතේ පැවති මැතිවරණ ආසන වේ.

එම අරමුදල් ලැබුණු මුළු ව්‍යාපෘති ස්ථානවලින් 27% ක් කම්කරු පක්ෂය විසින් ජයග්‍රහණය කරන ලද මැතිවරණ ආසන බව සඳහන්.

මෙම අරමුදල් ප්‍රදානය කර ඇත්තේ අදාළ මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව පවසමින් ස්වදේශ කටයුතු ඇමතිනි Karen Andrews මේ සම්බන්ධව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළාය.

මේ අතර අරමුදල් ප්‍රදානය කිරීමේ මාර්ගෝපදේශ යෝග්‍ය වන නමුත් ඒවාට අනුකූලව අයදුම්පත් සම්පුර්ණයෙන් තක්සේරු කර නොමැති බව විගණන වාර්තාවෙන් සොයා ගන්නා ලදී.

විගණකාධිපති විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට නිර්දේශ හතරක් සහ කර්මාන්ත, විද්‍යා, බලශක්ති සහ සම්පත් දෙපාර්තමේන්තුවට එක් නිර්දේශයක් ඉදිරිපත් කරන ලද අතර එම නිර්දේශ පහටම එකඟ වී තිබේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනේ සැලසුම් සහ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් රැසක් සිදුකිරීමටද එකඟ විය.



Share
Published 17 February 2022 12:53pm
Updated 12 August 2022 2:54pm
By Tom Stayner, Emma Brancatisano, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends