ලබන වසරේ සිට Uber Taxi පියාසර කරයි. ප්‍රථම නගර තුන අතරට මෙල්බර්න් නුවරත්. (SBS සිංහල/වාර්තා)

Uber Air flights

Source: SBS

Uber Air flights හෙවත් Uber කුලී ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට යන ලොව ප්‍රථම නගර ත්‍රිත්වයෙන් එකක් බවට පත්වීමට මෙල්බර්න් නුවරට හැකිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


මහා මාර්ග වල ඇති තදබදය මගහරවා ගනිමින් ගුවනින් කුලී ගුවන් සේවා ඇරඹීම මෙහි මූලික පරමාර්ථය වේ.

Uber Air flights

Uber Air flights සේවාව අත්හදා බැලීමේ පළමු නියමු ව්‍යාපෘති ත්‍රිත්වයක් ලොව ප්‍රධාන නගර තුනක ක්‍රියාත්මක කිරීමට Uber ආයතනය සූදානම් වේ.

මෙල්බර්න් නුවරට අමතරව එම නියමු ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ Dallas සහ Los Angeles යන නගර තෝරාගෙන තිබේ.

ඒ අනුව 2020 වසරේදී මෙල්බර්න් නුවර මෙම Uber Air flights සේවාව අත්හදා බැලෙනු ඇත.

ඉන් අනතුරුව 2023 වසරේදී එය වාණිජ වශයෙන් මෙල්බර්න් නුවර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
ජනගහන සහ වාහන තදබදය අධික නගර වල මෙම Uber Air flights සේවාව ක්‍රියාත්මක කිරීම Uber ආයතනයේ මූලික අරමුණ වී ඇත.

Uber Air flights සේවාව සඳහා කුඩා ප්‍රමාණයේ විදුලි ගුවන් යානා (electric aircraft) යොදාගැනෙන අතර ඒවා සිරස්ව ගොඩබැස්වීම සහ ගුවන් ගත කිරීම සිදු කළ හැකි බව පැවසෙයි.
Uber Air flights
Source: YouTube

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සහය

මෙල්බර්න් නුවර Uber Air flights සේවාව අත්හදා බැලීමට සහ ස්ථාපනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට සිය සහය පළ කර තිබේ.

Uber Air සේවාව අත්හදා බැලීම සඳහා ප්‍රථම ජාත්‍යන්තර නගරය ලෙස මෙල්බර්න් නුවර තෝරාගැනීම පිළිබඳ තම රජය ඉතා ප්‍රීතියට පත්වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සහකාර භාණ්ඩාගාරික අමාත්‍ය Robin Scott පැවසුවේය.

මේ පිළිබඳ සැලසුම් කිරීම සඳහා ඇමෙරිකාවේ Washington නුවර පවතී සමුළුවකදී ඔහු මෙලෙස අදහස් දක්වා සිටියේය.
ආසියා - පැසිෆික් කලාපයේ ශීග්‍රයෙන් වර්ධනය වන තාක්ෂණික සහ ආර්ථික නගර අතරින් ප්‍රමුඛතම ප්‍රාන්තයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්විය හැකි බව ද ඔහු පැහැදිලි කළේය.

අනාගත ප්‍රවාහන තාක්ෂණය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉතා ඉහළ උනන්දුවකින් පසුවන බවත් මෙල්බර්න් නුවරට පසුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර ද මෙය අනුගමනය කරනු ඇති බවත් Uber සමාගමේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ උතුරු ආසියානු කලාපයේ  ප්‍රාදේශීය සාමාන්‍යධිකාරිනී Susan Anderson පැවසුවාය.
Uber Air flights
Source: SBS

මෙල්බර්න් නුවර Uber Air flights සේවාව

2020 වසරේදී මෙල්බර්න් නුවර අත්හදා බැලෙන Uber Air flights සේවාව වසර 2023 වසරේදී වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

මෙහිදී මෙල්බර්න් නුවර ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ගුවන් තොටුපොළ සම්බන්ධ කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

ඒ අනුව මෙල්බර්න් නගර මධ්‍යයේ සිට මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත Uber Air flights සේවාව මගින් මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයකින් ගමන් කිරීමට හැකියාව ලැබෙන බව Uber Elevate හි ගෝලීය ප්‍රධානී Eric Allison පැවසුවේය.

ඒ අනුව මෙල්බර්න් නගරයේ සැලකිය යුතු ප්‍රමාණයක වාහන තදබදය අවම කිරීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
අනාගතයේදී බොත්තමක් එබූ සැනින් Uber ගුවන් යානයක් කැඳවා ගැනීමට මගීන්ට හැකියාව ඇතිවනු ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසුවේය.

නමුත් මෙල්බර්න් නුවර ප්‍රවාහන සැලසුම් විශේෂඥයෙකු වන RMIT විශ්ව විද්‍යාලයේ නාගරික පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය Chris De Gruter ඊට වෙනස් මතයක් දරයි.

"සාමාන්‍යයෙන් Uber ගුවන් යානයක් ඉතා කුඩා ප්‍රමාණයේ යානයක් බැවින් එහි උපරිම ලෙස ගමන් කළ හැකිවන්නේ මගීන් 4 කට හෝ 5 කට පමණි. එය සාමාන්‍යයෙන් මෝටර් රථයක ගමන් කළ හැකි ප්‍රමාණයකි. එනිසා මාර්ග වල තදබදය අවම කරගන්න නම් මෙවැනි ආකාරයේ Uber ගුවන් යානා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ අතරේ යම් මගියෙකු නංවා ගැනීමට යාමේදී එම ගුවන් යානය ගුවන් නියමුවා පමණක් සහිතව අදාළ ස්ථානයට ගුවන් ගත කළ යුතු නිසා බොහෝ විට මගීන් රහිත ගුවන් ගමන් වැඩි වශයෙන් දක්නට ලැබීමටද පුළුවන්." යනුවෙන් ආචාර්ය Chris De Gruter පැහැදිලි කළේය.
Uber Air flights
Source: SBS Sinhala

Share
Published 13 June 2019 1:14pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends