ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කොරෝනා එන්නත ලබාගැනීම පිළිබද දරන අදහස් (SBS සිංහල/ විමර්ශන)

කොරෝනා එන්නත ලබා දීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සහ ඔවුන් එය ලබාගැනීමට සූදානම් ද යන්න SBS සිංහල ගුවන් විදුලියේ "විනිවිද" සමාජ කතිකාවෙන් මෙවර අපි සොයා බැලුවෙමු.

Covid-19 vaccine

Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පසුගිය සඳුදා (22/02) සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව මේ වන විට සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පළමු අදියර යටතේ හෝටල් නිරෝධායන හා දේශ සීමා ආරක්ෂණ සේවකයින්ට, Aged Care හා Disability Care සේවකයින්ට මෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට කොරෝනා එන්නත ලබාදෙමින් සිටී.

ඔස්ට්‍රේලියානු එන්නත්කරණ ඉතිහාසයේ දැවැන්තම සහ ඉතා වැදගත්ම එන්නත්කරණ වැඩසටහන ලෙස මෙම කොරෝනා එන්නත්කරණ වැඩසටහන සැලකිය හැකිය.

මෙහිදී මෙම කොරෝනා එන්නත ලබා දීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සහ ඔවුන් එය ලබාගැනීමට සූදානම් ද යන්න SBS සිංහල ගුවන් විදුලියේ "විනිවිද" සමාජ කතිකාවෙන් මෙවර අපි සොයා බැලුවෙමු.


Highlights

  • කොරෝනා එන්නත ගැනීමෙන් Herd Immunity හෙවත් "රංචු ප්‍රතිශක්තීකරණය" අපගේ ප්‍රජාව තුළ ඇතිකරගැනීමට හැකිවේ.
  • ජනගහනයෙන් බොහෝ පිරිසකට මෙම ප්‍රතිශක්තීකරණය ලැබුණු පසුව කොරෝනා වයිරසයට ජීවත්වීමට වාහකයෙකු නොමැති වේ.
  • කොරෝනා වයිරසය බිහිවුණේ කෙසේද යන්න පවා සොයා නොගෙන ඇති මොහොතක එන්නත ලබාගැනීම ගැටළුවක්.

කොරෝනා එන්නත ලබා දීමෙන් ප්‍රධාන ඉලක්ක දෙකක් අපේක්ෂා කරයි : බ්‍රිස්බේන් නුවර වෛද්‍ය පුන්‍යා විජේසුන්දර 

කොරෝනා එන්නත ලබා දීමෙන් අපේක්ෂා කරන ඉලක්ක දෙකක් ඇති බව බ්‍රිස්බේන් නුවර වෛද්‍ය පුන්‍යා විජේසුන්දර මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ඇය පවසන ආකාරයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇතිවන රෝගාබාධ සහ අතුරු ආබාධ ඇතිවීම වළක්වා ගැනීම එක් ඉල්ලක්කයක් වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කරගැනීම අනෙක් ඉලක්කය වේ.

බහුතරයකට එන්නත ලබාගන්නා ලෙස දැනුවත් කරන්නේ ඇයිදැයි යන්න මේ දිනවල නිතරම ජනතාව අසන ප්‍රශ්නයක් බවද වෛද්‍ය පුන්‍යා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

ඒ සඳහාද හේතු දෙකක් ඇති බවත් ඒවා පහත පරිදි සඳහන් කළ හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

01. කොරෝනා වයිරසය ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය වීම බොහෝ සෙයින් පාලනය කරගැනීමට හැකිවීම.

02. Herd Immunity හෙවත් "රංචු ප්‍රතිශක්තීකරණය" අපගේ ප්‍රජාව තුළ ඇතිකරගැනීමට හැකිවීම.

මෙම කොරෝනා එන්නත ඔස්ට්‍රේලියානු සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙකුටම ලබාගත නොහැකි බව ද වෛද්‍ය පුන්‍යා විජේසුන්දර මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
Dr. Punya Wijesundera
Dr. Punya Wijesundera (Brisbane) Source: Punya Wijesundera
වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට, එන්නතට විවිධ ආසාත්මිකතා දක්වන පුද්ගලයින්ට, විවිධ නිධන්ගත රෝග ඇති පුද්ගලයින්ට මෙම එන්නත ලබාගැනීමට නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

එනිසා එවැනි අවදානම් සහගත පිරිස් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කරගැනීමේ සමාජ වගකීමක් එන්නත ලබාගත හැකි සමාජයේ සෙසු පිරිසට ඇති බවත් ඔවුන් එන්නත ලබාගැනීමෙන් එකී අවදානම් පිරිස් හට වයිරසයෙන් ආරක්ෂාවක් ලබා දිය හැකි බවත් වෛද්‍ය පුන්‍යා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
Descartan dosis de vacunas COVID-19 por fallas de refrigeración.
Source: Getty Images/Larisa Bozhikova

කොරෝනා එන්නත ලබාගත හැකි සෑම දෙනාම එය ලබාගැනීමට උත්සාහගත යුතුයි: සිඩ්නි නුවර වෛද්‍ය සුනිමාලි ප්‍රනාන්දු

කොරෝනා එන්නතෙන් සිදුකරන්නේ කොරෝනා වයිරසය අපගේ සිරුරට ඇතුළු වුවද එයට නිසි ලෙස තැන්පත්වී ක්‍රියාකාරී වීමට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් ගොඩනැංවීම බව සිඩ්නි නුවර වෛද්‍ය සුනිමාලි ප්‍රනාන්දු මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
Dr. Sunimali Fernando
Dr. Sunimali Fernando (Sydney) Source: Sunimali Fernando
ජනගහනයෙන් බොහෝ පිරිසකට මෙම ප්‍රතිශක්තීකරණය ලැබුණු පසුව කොරෝනා වයිරසයට ජීවත්වීමට වාහකයෙකු නොමැති වන බව ද ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව බලනකල මෙම කොරෝනා එන්නත ලබාගත හැකි සෑම දෙනාම ලබාගැනීමට උත්සාහගත යුතු බව ඇය අවධාරණය කළාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ළමුන්ටත් එන්නත ලබදෙන්නේ කෙදිනද යන්න දැනගන්න කැමතියි:  සිඩ්නි නුවර සඳරේකා 

කොරෝනා වයිරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම වළක්වාගැනීමටත් වයිරසය ආසාදනය වීම වළක්වාගැනීමටත් කොරෝනා එන්නත ලබාගනීම ඉතා වැදගත් බව සිඩ්නි නුවර මවක් වන සඳරේකා මහත්මිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

කොරෝනා එන්නත ලබාගත් පුද්ගල ප්‍රතිශතය ඉහළ යාමෙන් අපි අතර සිටින රෝග වාහකයින් ප්‍රමාණය අඩුවන බවද ඇය පැවසුවාය.

"වැඩි පිරිසක් මෙම එන්නත ලබාගතහොත් දැනට ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති සෞඛ්‍යම ගැටළු හා ආර්ථිකමය ගැටළු බොහොමයක් විසඳා ගන්න පුළුවන්." යනුවෙන් සඳරේකා මහත්මිය පැහැදිලි කළාය.
දැනට කර ඇති දැනුවත් කිරීම් වලට අනුව කොරෝනා එන්නත වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට ලබා නොදේ. යම් හෙයකින් වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට එය ලබා දුනහොත් ඒ කුමන ආකාරයටද සහ කෙදිනද යන්න තමන් දැනගැනීමට කැමැත්තෙන් පසුවන බව ද සඳරේකා පැවසුවාය.

තමාට අවුරුදු 18 ට අඩු දරුවන් දෙනෙකු සිටීම ඊට හේතුව බව ද ඇය පැහැදිලි කළාය.

එනිසා මෙම එන්නත ඔස්ට්‍රේලියාවේ සියලු  දෙනා හටම ලබා දීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකීම, අත් සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නොකඩවා අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ඇය අවධාරණය කළාය.
Pharmacist Blanko Radojkovic prepares a simulated vaccine during a simulation of COVID-19 vaccine process at the Sydney Local Health District Vaccination Hub in Camperdown, NSW, Friday, February 19, 2021. (AAP Image/Kate Geraghty, Pool) NO ARCHIVING
Source: AAP

මම එන්නත ලබාගන්නවා: අසේල රණසිංහ

අසේල රණසිංහ මහතා Aged Care ක්ෂේත්‍රයේ සේවය කරන හෙයින් ඔහුට ඔස්ට්‍රේලියාවේ පළමු අදියරේදීම කොරෝනා එන්නත ලබාගත හැකිය.

Aged Care ක්ෂේත්‍රයේ සේවය කරන සේවකයින්ට මෙම එන්නත ලබාගත යුතු බවට අනිවාර්ය කොට නීතියක් පනවා නොමැති බව අසේල රණසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

නමුත් තමන්ට දැනෙන ආකාරයට මෙම එන්නත ලබාගත යුතු බව ඔහු සඳහන් කළේය.

"ඔස්ට්‍රේලියාවේ ලබාදෙන කොරෝනා එන්නත පිළිබඳ මම ජනමාධ්‍යයෙන් තොරතුරු සෙව්වා, ඊට අමතරව සමාජයේ විවිධ පුද්ගලයින් සමග මේ ගැන කතාකළා. එහිදී ඔවුන්ගෙන් බොහොමයක් පැවසුවේ Aged Care  මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින් කොරෝනා වයිරසයට දැඩි අවදානම් සහගත පුද්ගල ඛාණ්ඩයක් නිසා අපි එන්නත ලබාගැනීම වඩාත් සුදුසු බවයි." යනුවෙන් අසේල රණසිංහ මහතා පැහැදිලි කළේය.
මෙම එන්නත ලබාගත යුතුයි යන්න තමන්ගේ පුද්ගලික මතය බවද ඔහු පැවසීය.

"මට කොරෝනා වයිරසය ආසාදනය වෙලා පසුව සනීප වෙන්න පුළුවන්, නමුත් එම වයිරසය මම හරහා මම වැඩකරන Aged Care මධ්‍යස්ථානයට ගියොත් සිද්ධවෙන්නේ විශාල හානියක්. එනිසා මට සනීප වෙන්න පුළුවන් ශක්තියක් තිබුණත් මගේ සේවා ස්ථානයේ සිටින්නන් සහ මගේ ප්‍රජාව ආරක්ෂා කරගැනීමට වගකීමක් මට මෙහිදී තිබෙනවා. එනිසා එන්නත ලබාගැනීම සුදුසු බව මගේ හැගීමයි." යනුවෙන් අසේල රණසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරයාගෙන් ද තමන් කරුණු විමසු බවත් අනෙකුත් සියලුම පුද්ගලයින් එන්නත ලබාගැනීමට පෙර තම තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් විමසීම ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළේය.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 

 


කොරෝනා වයිරසය බිහිවුණේ කෙසේද යන්න සොයා නොගෙන ඇති මොහොතක එන්නත ලබන්නේ නැහැ: මෙල්බර්න් නුවර නදුන් අල්විස්

මෙල්බර්න් නුවර නදුන් අල්විස් මහතා කොරෝනා එන්නත පිළිබඳ වෙනස් මතයක් දරයි.

"මම මෙතෙක් සොයාගත් කරුණු අනුව මේ මොහොතේ මම තීරණය කරලා තියෙනවා, මම මෙම කොරෝනා එන්නත ලබන්නේ නැහැ කියලා. ඒකට සාධක ගොඩක් තියෙනවා. කොහොමද මෙම වයිරසය බිහිවුණේ කියලා අපි තවම දන්නේ නැහැ, WHO එක සහ ලෝකයේ හැම රටකටම ඒකට උත්තරේ තාමත් හොයාගන්න බැරිවෙලා තියෙනවා. එනිසා මේක පිටුපස තීරණාත්මක දේවල් බොහොමයක් පවතිනවා කියන එක මට තියෙන සැකයක්. අනික් එක තමයි රජයටත් කියන්න බැහැ මේක අනිවාර්යෙන් ගන්න කියලා, ඒක මිනිස්සුන්ගේ කැමැත්ත මත සිද්ධ විය යුත්තක්." යනුවෙන් නදුන් අල්විස් මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එනිසා මෙම එන්නත පිළිබඳ මෙන්ම වයිරය පිලිබදව ද තවත් විස්තර සෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

Share
Published 24 February 2021 10:36am
Updated 12 August 2022 3:11pm
By Madhura Seneviratne, Charitha Adikari
Source: SBS Sinhala program

Share this with family and friends