COVID-19 එන්නත ලබාගත් පසු ඔබේ සිරුර තුළ සිදුවන දේ සහ ඔබ දැනගත යුතු දේ (SBS සිංහල/ වීඩියෝ)

COVID-19 එන්නත ලබාගැනීමෙන් පසුව වුවද පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව සියලුම රටවල සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.

What happens in your body after getting the COVID-19 vaccine

Source: SBS

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීම තව සති කිහිපයකින් ආරම්භ කරනු ඇත.

කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව ඔබේ සිරුර තුළ සිදුවන දේ සහ ඔබ දැනගත යුතු දේ ඉහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.

එමෙන්ම කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව එය ක්‍රියා කරන අයුරු පිළිබඳ RMIT විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය Kylie Quinn ඒ පිළිබඳව SBS පුවත් සේවයට පැවසුවේ පහත අයුරිනි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


එන්නත ලබා ගැනීමෙන් පසු COVID-19 වලට එරෙහිව ප්‍රතිශක්තියක් ලැබේද?

දැනට ලොව පුරා භාවිතා වන සියලුම කොරෝනා එන්නත් සති කිහිපයක පරතරයකින් යුක්තව මාත්‍රා දෙකකින් ලබා දිය යුතුයි.

එහෙත් ඒවා මගින් ලබාදෙන ආරක්ෂාව ක්ෂණික නොවේ.

මිනිස් සිරුරට COVID-19 වයිරසයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිදේහ ජනනය කිරීම ආරම්භ කිරීමට සති දෙකක් පමණ ගත වන බව RMIT විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය Kylie Quinn පැවසුවා.

නමුත් එහිදී ආරක්ෂාව යන්නෙන් ප්‍රතිශක්තිය යන්න අදහස්  කරන්නේ නැහැ.

විවිධ එන්නත් වල කාර්යක්ෂමතාවයේ විවිධ මට්ටම් තිබෙනවා.

ඇතැම් එන්නත් මගින් ආසාදන සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකි අතර විෂබීජහරණ ප්‍රතිශක්තිය ලෙස එය හඳුන්වනවා.

නමුත් එය සාක්ෂාත් කර ගැනීම ඇත්තෙන්ම දුෂ්කර බව ආචාර්ය Kylie Quinn පැවසුවා.

ප්‍රතිශක්තිකරණයේ ඊළඟ මට්ටම වන්නේ අපට ආසාදන වැලැක්වීමට නොහැකි වීමයි.

නමුත් එය රෝග ඇති කරන හෝ අපව අසනීප කරන තැන දක්වා ඉදිරියට නොයනු ඇති.

ඊළඟ මට්ටමේදී වයිරසය අපට ආසාදනය වන නමුත් එය දරුණු රෝගයක් බවට පත්වීම වලක්වා ගැනීමට අපට හැකියි.

එන්නත ලබා දීමෙන් පසුව ද පුද්ගලයෙකුට COVID-19 වයිරසය පැතිරවිය හැකිද?

ඔස්ට්‍රේලියාවේ ලබාදෙන COVID-19 එන්නත් මගින් COVID-19 ආසාදනය මුළුමනින්ම වලක්වනු ඇත්ද නැතිනම් ආසාදනය ඇති කරන දරුණු රෝග පමණක් වලක්වනු ඇත්ද යන්න කීමට තවමත් කල් වැඩිය.

දෙවැනි කරුණ සත්‍යයක් බවට පත්වුවහොත් එයින් අදහස් වන්නේ COVID-19 එන්නත මගින් ඔබ අසනීප වීම වළක්වනු ඇති බවයි. නමුත් ඒ හරහා වයිරසය ඔබේ සිරුරේ පැවතීමට හෝ තවකෙකුට සම්ප්‍රේෂණය වීම වළක්වන්නේ නැහැ.

නමුත් විශේෂඥයන් පවසන්නේ එය එන්නත සම්බන්ධව අනතුරු ඇඟවීමට හේතුවක් නොවිය යුතු බවයි.

සියලුම එන්නත් ලබාදීම ආරම්භයේදී මෙවැනි ප්‍රශ්න සාමාන්‍ය අංගයක් බව ආචාර්ය Quinn පවසනවා.


පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


COVID-19 එන්නත කොපමණ කාලයක් පුද්ගලයෙකුව ආරක්ෂා කරයිද?

අත්හදා බැලීමේ ප්‍රතිඵල සියල්ලම ප්‍රතිශක්තිකරණයෙන් මාස කිහිපයකට පසු හොඳ ආරක්ෂිත මට්ටමකට යොමු වුවද මෙය විද්‍යාඥයන්ට තවමත් පිළිතුරු දිය නොහැකි තවත් ප්‍රශ්නයකි.

අදාළ එන්නත් ක්‍රියා කරන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ වයිරසයේ පිටපතක් හඳුන්වාදීමෙන් පසුවයි.

එවිට සිරුර තුළ සැබෑ වයිරසයක් තිබෙනවා යන්න සිතා එයින් ඔබව ආරක්ෂා කිරීමට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිදේහ සෑදීමට පටන් ගන්නවා.

ඔබ අනාගතයේදී සැබෑ වයිරසයට ගොදුරු වුවහොත්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි දැන ගන්නා බව එයින් අදහස් වෙනවා.

එම ප්‍රතිදේහවල ආයු කාලය අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ මතකයන් මත රඳා පවතින බව ආචාර්ය Quinn පවසනවා.

COVID-19 එන්නත් සමඟ එම ප්‍රතිශක්තිකරණ මතකය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි තවමත් නොදන්නා නමුත් මීට මාස අටක් හෝ නවයකට පමණ පෙර වයිරසය ආසාදනය වූ හෝ එන්නත් ලබා ඇති, තවමත් හොඳ ප්‍රතිශක්තිකරණ මතකයක් ඇති පුද්ගලයින් වාර්තා වන බවත් ඇය පෙන්වා දුන්නා.

නව COVID-19 ප්‍රභේදයන් නොකඩවා වර්ධනය වන්නේ නම් කුමක් කළ යුතුද?

පසුගිය මාස කිහිපය තුළ එක්සත් රාජධානියේ, දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේ COVID-19 නව ප්‍රභේද වර්ධනය වී තිබෙනවා.

මෙම ප්‍රභේදවල විවිධ විකෘති ඇති අතර එමගින් COVID-19 වයිරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය පහසු කරනවා.

නමුත් එම ප්‍රභේද වඩාත් දරුණු රෝග වලට හේතු වන බවට තවමත් සාක්ෂි ලැබී නැහැ.

නව ප්‍රභේදයන් අභියෝගයක් වන අතර එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට COVID-19 වයිරසය හඳුනාගෙන එයට එරෙහිව සටනක් දියත් කිරීම අපහසු වෙනවා.

නමුත් දැනට නිෂ්පාදනය කෙරෙන COVID-19 එන්නත් නිෂ්ඵල නොවන බව ආචාර්ය Quinn පවසනවා.

නව ප්‍රභේද සඳහා ඉන්ෆ්ලුවන්සා රෝගයට වසරින් වසර එන්නත් වෙනස් කරනවා මෙන් COVID-19 සඳහා ද එන්නත් වෙනස් කිරීම දැනට පවතින ප්‍රධාන විකල්පයක් බව ඇය පෙන්වා දෙනවා.

එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගල දුරස්ථභාවය තබාගැනීම නැවැත්විය හැකිද?

එයට පිළිතුර තවමත් නොහැකියි යන්නය.

COVID-19 එන්නත ලබාගැනීමෙන් පසුව වුවද පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව සියලුම රටවල සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබෙනවා.

COVID-19 එන්නත් වල නියම ප්‍රතිඵල නිසි අයුරින් දැනගන්නා තෙක් පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම ඉතා වැදගත් වන බව Peter Doherty ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය Sharon Lewin පවසනවා.

Share
Published 11 February 2021 3:15pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends