ඔස්ට්‍රේලියාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස අලුතෙන්ම නම් කළ දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම මෙන්න (SBS සිංහල/ වාර්තා)

අපරාධ නීති සංග්‍රහය යටතේ ඔස්ට්‍රේලියාව තුළ Sonnenkrieg Division දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම, ත්‍රස්ත සංවිධානයක් ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් නම් කර තිබේ.

Minister for Home Affairs Peter Dutton arrives for Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, March 17, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායමක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට සහ සාමාජිකයන් සිරගත කිරීමට මේ හරහා ඉඩ සැලසේ.


Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ Sonnenkrieg Division (SKD) දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ.
  • බ්‍රිතාන්‍ය රාජකීය පවුලට පහර දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ත්‍රස්තවාදී තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් SKD කණ්ඩායමේ සාමාජිකයන් වරදකරුවන් වී තිබේ.
  • ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්ත කණ්ඩායම් වලට දැනට ක්‍රියාත්මක වන දඬුවම් SKD කණ්ඩායමට ද අදාළ වේ.

Sonnenkrieg Division ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

අපරාධ නීති සංග්‍රහය යටතේ ඔස්ට්‍රේලියාව තුළ Sonnenkrieg Division දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම, ත්‍රස්ත සංවිධානයක් ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් නම් කර තිබේ.

ඒ අනුව Sonnenkrieg Division හෙවත් SKD කණ්ඩායම IS සහ al-Qaeda වැනි සංවිධාන ගනයට වැටී ඇත.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට පහර දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ත්‍රස්තවාදී තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් SKD කණ්ඩායමේ සාමාජිකයන් වරදකරුවන් වී තිබේ.
දෘෂ්ටිවාදය (ideology) නොසලකා සියලු වර්ගවල ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය මැඩපැවැත්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දක්වන කැපවීම මෙයින් පිළිබිඹු කෙරෙන බව අමාත්‍ය Peter Dutton පැවසීය.

"අපගේ ජීවන රටාවට සහ අපේ රටට සැලකිය යුතු හානියක් කිරීමට උත්සාහ කරන තනි පුද්ගල ත්‍රස්ත ක්‍රියාකාරීන් (lone-wolf terrorist actors) දිරිමත් කරන පිළිකුල් සහගත ප්‍රචණ්ඩ මතවාදයක් SKD කණ්ඩායම පිළිපදිමින් සිටිනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ත්‍රස්තවාදයට සම්බන්ධ සියලු දඬුවම් ලබාදෙයි

ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්ත කණ්ඩායම් වලට දැනට ක්‍රියාත්මක වන දඬුවම් SKD කණ්ඩායමට ද අදාළ වේ.

ඒ අනුව ඇතැම් වැරදි සඳහා වසර 25 ක් දක්වාවූ සිර දඬුවම් පවා පැනවිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බුද්ධි තොරතුරු ඒකකය වන ASIO ආයතනය විසින් තවත් කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමට යෝජනා කර ඇති නමුත් ඒවා ආශ්‍රිත නෛතික සීමාව සපුරා ඇත්දැයි තීරණය කිරීම අනෙක් අය සතු බව ASIO ආයතනයේ ප්‍රධානී  Mike Burgess පැවසීය.
"ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ඕනෑම කණ්ඩායමක් කෙරෙහි අපි අවධානය යොමු කරනවා. එහිදී අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ පුද්ගලයන් සහ අදාළ කණ්ඩායම විසින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්නේද යන්න පිළිබඳවයි." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

දක්ෂිණාංශික කණ්ඩායම් අධීක්ෂණය සඳහා ASIO විශ්ලේෂකයින් කොපමණ දෙනෙකු අනුයුක්ත කර ඇත්දැයි පැවසීම Mike Burgess ප්‍රතික්ෂේප කළේය.

"මා වචන තහනම් කර ඇති බව ඇතැම් විචාරකයින් පවසා ඇති නමුත් එය අසත්‍ක්. අන්තවාදී දක්ෂිනාංශික යන තැන ඊට අදාළ ලෙස අන්ත දක්ෂිනාංශික යැයිද Islamic State වලට අදාළ නම් එය IS සංවිධානය යැයිද මා ප්‍රකාශ කරනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

දක්ෂිනාංශික අන්තවාදී කණ්ඩායම් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීම ආරම්භ කරන ලෙස කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

නමුත් ඒ සම්බන්ධයෙන් ASIO ආයතනයේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව රජය අවධාරනය කර ඇත.

Share
Published 24 March 2021 8:48pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends