දිනපතා වැඩිපුර කෝපි පානය ඔබේ සෞඛ්‍යයට යහපත්ද?

අධික ලෙස unfiltered coffee හෙවත් නොපෙරන ලද කෝපි පානය කිරීමෙන් පුද්ගල සිරුරේ කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළ යා හැකි බව වාර්තා වේ.

Coffee

Source: Getty Images/Mint Images

කෝපි යනු ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම පාන අතරින් ප්‍රමුඛයා ලෙස හැඳින්වේ.

එය පානයකට එහා ගිය සංස්කෘතියකි.

එතරම්ම ඔස්ට්‍රේලියානුවාසීන් කෝපි වලට ඇබ්බැහිවී ඇත.

නමුත් දිනපතා වැඩි වශයෙන් කෝපි පානය ඔබේ සෞඛ්‍යට එල්ල කරන්නේ කුමන බලපෑමක්ද? කෝපි පානයේ ඇති වාසි සහ අවාසි මොනවාද?

එම ගැටළු වලට පිළිතුරු සෙවීමට වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය චන්න වීරසේකර මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.


Highlights

  • කෝපි වල අඩංගු සංගටක ඔබ පානය කරන කෝපි වර්ගය සහ කෝපි සාදන ආකාරය අනුව වෙනස් වේ.
  • එම සංගටක සිරුරට අවශෝෂණය වීම එක් එක් පුද්ගලයා ගේ සිරුරේ ඇති ජාන මතත්, ඔවුන්ගේ ආමාශයේ හා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මතත් වෙනස් වේ.
  • අධිකව කෝපි පානය කිරීම හරහා මිනිස් සිරුරට අහිතකර තත්ත්වයන් උදා කරන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

කෝපි පානය කිරීම සෞඛ්‍යට හිතකරද?

කෝපි වල දහසකට අධික ප්‍රමාණයකින් රසායනික සංගටක (compounds) තිබෙන බව සඳහන්.

එම සංගටක වලින් බහුතරයක් ඒවා මිනිස් සිරුරට කෝපි පනය කිරීමෙන් අවශෝෂණය වේ.

එම සංගටක අතරින් විටමින් B12, විටමින් B2, විටමින් B3, මැග්නීසියම්, පොටෑසියම්, ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රතිකාරක, ස්වභාවික තෙල් විශේෂත්වයක් ගන්නා බව වෛද්‍ය චන්න වීරසේකර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

නමුත් එම සංගටක ඔබ පානය කරන කෝපි වර්ගය සහ කෝපි සාදන ආකාරය අනුව වෙනස් වේ.

එමෙන්ම එම සංගටක ඔබේ සිරුරට අවශෝෂණය වීම එක් එක් පුද්ගලයා ගේ සිරුරේ ඇති ජාන මතත්, ඔවුන්ගේ ආමාශයේ හා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මතත් වෙනස් වන බව වෛද්‍ය වීරසේකර මහතා පැවසීය.

මෙලෙස එක් එක් මට්ටම් වලින් කෝපි වල ඇති සංගටක එක් එක් පුද්ගලයාට අවශෝෂණය වීම නිසා ඔවුන්ට කෝපි පානය කිරීමෙන් දැනෙන හැගීම් විවිධ වීමට හේතුවේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ලොව පුරා සිදුකළ පර්යේෂණ හරහා කෝපි පානය කිරීමෙන් පහත සඳහන් හිතකර ප්‍රතිඵල ලැබෙන බව පර්යේෂකයෝ සොයාගෙන ඇති බව ද වෛද්‍ය වීරසේකර මහතා පැවසීය.

  • දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියාව ඇතිවන සම්භාවිතාව අඩු වේ.
  • මොළය ආශ්‍රිතව ඇතිවන රෝග අඩුවේ.
  • පාකින්සන් රෝගය ඇතිවීම අවම කෙරේ.
  • අක්මාව සම්බන්ධ ඇතිවන රෝග අවම කෙරේ.
  • හෘදයවස්තුව දුර්වල වීමේ වේගය අඩු කෙරේ.
  • කලු කෝපි පානය කරන පුද්ගලයින් මහත් වීමේ අඩු සම්භාවිතාවක් පවතී.
咖啡馆员工
Source: Pixabay

අධිකව කෝපි පානය කිරීම සිරුරට කෙතරම් අහිතකරද?

අධිකව කෝපි පානය කිරීම හරහා මිනිස් සිරුරට අහිතකර තත්ත්වයන් උදා කරන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇති බව වෛද්‍ය චන්න වීරසේකර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

කෝපි කෝප්ප 5 කට වඩා පානය කරන පුද්ගලයෙකුට තිබෙන බලපෑම කෝපි නොබොන පුද්ගලයෙකුට තිබෙන බලපෑමට සමාන බව එම පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ.

අධික ලෙස unfiltered coffee හෙවත් නොපෙරන ලද කෝපි පානය කිරීමෙන් පුද්ගල සිරුරේ කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළ යා හැකි බව වාර්තා වේ.

එමෙන්ම කෝපි වල අඩංගු කැෆේන් ලබාගන්නා ඖෂධ සමග යම් අහිතකර අන්තර් ක්‍රියාකාරිත්වයක් දැක්විය හැකි බවද වෛද්‍ය චන්න වීරසේකර මහතා පැවසීය.

ඒ හේතුව නිසා පහත තත්ත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍ය වීරසේකර මහතා පැහැදිලි කළේය.

  • නින්ද නොයාම
  • මහන්සිය
  • පපුව වැඩිපුර ගැහීම
  • Anxiety හෙවත් කාංසාව
  • රුස්හිර පීඩනය වැඩිවීම
ඊට අමතරව ගර්භනී සමයේ පටන් වැඩිපුර කෝපි පානය කළහොත් අඩු බර දරු උපත් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව පර්යේෂණ මගින් සොයාගෙන ඇතැයි වෛද්‍ය චන්න වීරසේකර මහතා සඳහන් කළේය.

Share
Published 12 March 2021 11:18am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends