පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වසර තුනක් සෝදිසියෙන් සිටි බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Easter Sunday Attack

Source: Facebook

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට සෝදිසියෙන් සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ තාක්ෂණික සහ ප්‍රවර්ධන කටයුතු ඔහු විසින් මෙහෙයවා ඇති බවත් ඔහුට IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා ඇති බවත් මේ වන විට වාර්තා වේ.
Easter Sunday Attack
Source: Facebook

ආදීල් අමීස්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති ජාතික තව්හීද් ජමාත් සහ ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන සංවිධාන දෙක අතර සම්බන්ධීකරණය කිරීමේ කටයුතු මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් සිදු කර ඇති බවට විමර්ශන අණාවරණ පවසයි.

24 හැවැරිදි වියෙහි පසුවන මොහු නමින් ආදීල් අමීස් (Aadhil Ameez) වන බවද සඳහන්.

පාස්කු ප්‍රහාරය එල්ල කර දින 04කට පසු එනම් අප්‍රේල් 25 වනදා ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් නමුත් එය ප්‍රසිද්ධ මාධ්‍යට ප්‍රකාශ නොවීය.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් රොයිටර් පුවත් සේවය ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමේදී ඔහුව අප්‍රේල් 25 වනදා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කෙරිණි.
ඉන්දියාවේ ජාතික විමර්ශන බුද්ධි ආයතනය (NIA) සහ ගුජරාට් පොලීසිය ශ්‍රී ලංකාවේ මෙම විමර්ශන කටයුතු සඳහා සහය දක්වන බවද සඳහන්.

ආදීල් අමීස් ගේ LinkedIn ගිණුමට අනුව ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සහ වෙබ් නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරන බවත් දැක්වෙයි.

එමෙන්ම ඔහු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වලින් පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියකුත් දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියකුත් ලබා ඇති බවද එහි දැක්වෙයි.

ආදිල් වෙනුවෙන් පෙනී සිටීමට තවමත් නීතිඥවරයෙකු නොමැති බව වාර්තා වන අතර ප්‍රහාරයෙන් පසුව පනවන ලද නව හදිසි නීතිය යටතේ දින නියමයක් නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොලීසියට පවතින බවද වාර්තා වේ.

ආදීල් අමීස් ගේ පියා අළුත්ගම ප්‍රදේශයේ ජීවත් වන අතර ආදිල්ට එල්ලවී ඇති මේ සියලු චෝදනා බොරු බව ඔහු පවසා තිබේ.
Easter Sunday Attack
Source: Daily News

ඉන්දියානු බුද්ධි අංශවල ඇස යොමුවීම

2016 වසරේ සිට ඉන්දියානු බුද්ධි අංශ විසින් ආදිල් පිළිබඳ සෝදිසියෙන් සිට ඇති අතර IS ත්‍රස්ත ක්‍රියාකාරකම් යටතේ ඔහුට එරෙහිව ඉන්දියානු අධිකරණ වල චෝදනා 02ක් ද ගොනු කර තිබේ.

Ahmedabad හි යුදෙව් ආගමික ස්ථානයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආදිල්  Facebook, WhatsApp සහ Telegram යන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සම්බන්ධකම් පැවැත්වූ බව එම එක් චෝදනාවක සටහන්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කාරයි.

එම ප්‍රහාරයට සූදානම් වුණු සැකකරුවන් දෙදෙනා ලෙස නීතිඥයෙකු ලෙස කටයුතු කළ Ubed Ahmad Mirza  ද රෝහල් තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කළ timberwala Mohamed Kasim ද සඳහන් වෙයි.

ඔවුන් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ගේ නීතිඥයින් මේ සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ අතර 2016 වසරේ IS ත්‍රස්ත සංවිධානය ව්‍යාප්ත කිරීමට දායක වූවායි සැක කෙරෙන ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකුට ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණ ද්‍රව්‍ය අන්තර්ජාලය ඔස්සේ ලබාදුන් බවට ආදිල් ට එරෙහිව තවත් චෝදනාවක් ඉන්දියාවේ ජාතික පර්යේෂණ බුද්ධි ආයතනය විසින් ගොනු කර තිබේ.

එම චෝදනා ලැබූ ඉන්දීය ජාතිකයින් තිදෙනා ලෙස Sheikh Azhar ul-Islam, Adnan Hassan සහ Mohammed Rafiq Sadique Shaikh වාර්තා වේ.
Easter Sunday Attack
Source: Facebook

ඉන්දියාව මේ සම්බන්ධව ලංකාවට කලින් දැනුම් දුන්නාද?

ආදීල් අමීස් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පෙරාතුව දැනුම් දුන්නාද යන ප්‍රශ්නය මේ වන විට මතුව තිබේ.

ඒ පිළිබඳව තහවුරු කරගැනීමට රොයිටර් පුවත් සේවයට නොහැකිවී ඇති බව පැවසේ.

නමුත් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ඉන්දියාව තුන් වරක් ශ්‍රී ලංකා බලධාරීන්ට පෙරාතුව දැනුම් දුන් බව මීට පෙර වාර්තා විය.

කෙසේවෙතත්, ආදීල් අමීස් මේ බෝම්බ ප්‍රහාරයට පහසුකම් සැපයූ ප්‍රධානතම පුද්ගලයා ද එසේත් නැතිනම් මෙම ප්‍රහාර සැලසුම සකස් කළ සහ ක්‍රියාත්මක කළ නායකයින් අතරින් එක් අයෙකු ද යන්න මෙතෙක් සම්පූර්ණයෙන් අනාවරණය කරගෙන නොමැති බවද වාර්තා වේ.
Easter Sunday Attack
Source: SBS Sinhala

Share
Published 16 May 2019 12:17pm
By Madhura Seneviratne

Share this with family and friends