Demons in paradise යාපනය සිනමා උළෙලෙන් ඉවත් කළ ඇත්ත කතාව මොකද්ද? (SBS සිංහල විමර්ශන)

Demons in paradise

Source: Facebook

2018 යාපනය අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය බදාදා (03/10) ආරම්භ විය.

ශ්‍රී ලාංකේය සිනමාකරුවන්, සිනමාවට ආදරය කරන පුද්ගලයින් මෙන්ම 30 වසරක කුරිරු යුද්ධයෙන් බැට කෑ යාපනයේ ජනතාවද ජාත්‍යන්තර මෙන්ම දේශීය සිනමා සිත්තම් වල පහස විඳගැනීමට යාපනය සිනමා උළෙල ආරම්භ වීමට පෙර සිටම මාන බලමින් සිටියෝය.

දකුණු ආසියානු සිනමා උළෙල ප්‍රවාහය තුළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා ප්‍රබල ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර ඇගයීම් වලට පාත්‍රවුණු බොහෝ කුළුඳුල් දේශීය චිත්‍රපට මෙන්ම ජාත්‍යන්තර ඇගයීම් වලට පාත්‍රවුණු ජාත්‍යන්තර චිත්‍රපටද මෙම සිනමා උළෙල නියෝජනය කරයි.

නමුත් එකනෙහිම පසුගිය සඳුදා (01/10) 2018 යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දෙදරා යමින් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය.

ඒ අද (05/10) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ප්‍රදර්ශනය වීමට නියමිතව තිබූ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ Demons in paradise චිත්‍රපටය, සංවිධායක මණ්ඩලය විසින් යාපනය සිනමා උළෙලෙන් ඉවත් කිරීමය.

Demons in paradise චිත්‍රපටය උළෙලේ ප්‍රදර්ශනය වන බවට නිවේදනය කර තිබුනත් අවසන් මොහොතේ එම චිත්‍රපටය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය සමාජයේ මේ වන විට විවිධ කතාබහ ඇතිවෙමින් පවතී.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය නොකර චිත්‍රපට උළෙලින් ඉවත් කරන ලෙසට යාපනයේ යම් කිසි කල්ලි කිහිපයකින් බලපෑම් සිදුවූ බවට යාපනය සිනමා උළෙලේ සංවිධායක මණ්ඩලය පවසන්නට විය.
jaffna film festival
Source: www.jaffnaicf.lk

සැබවින්ම මේ කතාව පිටුපස ඇත්තේ කුමන ඇත්තක්ද?

Demons in paradise චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ජූඩ් රත්නම් ඒ පිළිබඳ SBS සිංහල සේවය සමග පැවසුවේ මෙවැනි අදහසකි.

"මගේ චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කරන බව මට සංවිධායක මණ්ඩලය නිල වශයෙන් දැනුම් දුන්නේ නැහැ. මගේ චිත්‍රපටය ඉවත් කර ඇති බවට මට කිව්වේ චිත්‍රපට උළෙලේ සහයකයෙක්. ඊට පස්සේ මම යාපනය සිනමා උළෙලේ නිල වෙබ් අඩවියට ගිහින් බැලුවම තමයි දැක්කේ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරලා තියෙනවා කියලා."

"මගේ චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කරන බව මට සංවිධායක මණ්ඩලය නිල වශයෙන් දැනුම් දුන්නේ නැහැ. මගේ චිත්‍රපටය ඉවත් කර ඇති බවට මට කිව්වේ චිත්‍රපට උළෙලේ සහයකයෙක්. ඊට පස්සේ මම යාපනය සිනමා උළෙලේ නිල වෙබ් අඩවියට ගිහින් බැලුවම තමයි දැක්කේ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරලා තියෙනවා කියලා."
ඉන් අනතුරුව ජූඩ්, යාපනය සිනමා උළෙලේ සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂවරිය වන අනෝමා රාජකරුණාගෙන් මේ පිළිබඳ විමසා සිටි බව අප වෙත පැවසුවේය.

එහිදී ඇය පවසා ඇත්තේ Demons in paradise චිත්‍රපටය, යාපනය සිනමා උළෙලේ ප්‍රදර්ශනය නොකරන ලෙසට ඇතැම් කණ්ඩායම් විසින් සංවිධායක මණ්ඩලයට බලපෑම් එල්ල කළ බවය.

නමුත් තම චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් ඇය පැවසුවේ නැති බවට ජූඩ් චෝදනා කරයි.

ඉන් අනතුරුව ඔහු මේ සිද්ධිය සම්බන්ධ නිල දැනුම් දීමක් මාධ්‍ය වෙත මුදා හරින්නට කටයුතු කළේය.
Demons in paradise
Jude Ratnam - Director of Demons in paradise Source: Facebook

Demons in paradise ඉවත් කළේ LTTE කොටි සංවිධානය විවේචනය කළ නිසාද ?

Demons in paradise චිත්‍රපටයට මෙවැනි ඉරණමක් අත්වුයේ ශ්‍රී ලංකාවේ LTTE කොටි ත්‍රස්තවාදී සංවිධානය විවේචනය කිරීම යනුවෙන් බොහෝ පිරිස් මත පල කරති.

එමෙන්ම මෙම චිත්‍රපටය LTTE කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ට එරෙහිව තැනූ චිත්‍රපටයක් බවටත් ඇතැම්දෙනා පවසන්නට විය.

ඒ සම්බන්ධයෙන් ජූඩ් SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.

"මේ චිත්‍රපටයට මූලික වස්තු විෂයය වෙන්නේ 30 වසරක් ලංකාවේ පැවති සන්නද්ධ අරගලය. ඒකෙ මුල් කොටසේදී ඒ අරගලයට සාධක වූ දකුණේ පීඩනය පිළිබඳ මම කතා කරනවා. එතනින් කොහොමද සන්නද්ධ අරගලය පටන් ගත්තේ කියල සඳහන් කරමින් දෙවැනි කොටසේදී මම සාකච්ඡා කරන්නේ එම සන්නද්ධ සටන්කාමීත්වය දෙමළ සමාජයටම ආපසු හැරුණු අයුරුයි. ඉතින් මේ චිත්‍රපටය ප්‍රභාකරන්ට එරෙහිව තැනූ චිත්‍රපටයක් කියන චෝදනාව බොළඳ චෝදනාවක් ලෙසයි මා දකින්නේ, මොකද චිත්‍රපටයෙන් සාකච්ඡා වන යටිපෙළ නිවැරදිව කියවීමට හසුකරගත්තානම් ඔය කරුණ වෙනස් වනවා"

සිනමාකරුවන්ට සිනමාව හරහා දේශපාලනය හා සමාජ සංවේදී සිදුවීම් සාකච්ඡා කළ නොහැකිද? යන ප්‍රශ්නය ජූඩ්ගේ Demons in paradise චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කිරීම හරහා නැගෙන ප්‍රධාන ප්‍රශ්නයකි.

මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය යාපනය සිනමා උළෙලේ සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා ගෙන් අදහස් විමසීමට කිහිප විටක් දුරකතනය හරහා උත්සාහ ගත් නමුදු ඒ සඳහා අවස්ථාවක් හිමි නොවීය.

සිනමාව පාලනය කිරීමට බලය ඇත්තේ කා හටද?

අතීත ලෝකයේ කලාව පාලනය කිරීම ආගමික ස්ථාන වලින් සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි පවසන අතර කාර්මික විප්ලවයෙන් අනතුරුව එය ඒ ඒ රාජ්‍යයන් අතට පත්විය.

නමුත් නූතනයේ කලාවට සම්බන්ධ සම්බන්ධීකරකයින් මෙන්ම විවිධ කලා උළෙලවල් ඔස්සේ සම්භාව්‍ය කලාව පාලනය වෙයි.

එම කරුණ හරහා Demons in paradise චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන විට යාපනය චිත්‍රපට උළෙල සිදුකර ඇත්තේ කුමන අන්දමේ වාරණයක්ද?

ප්‍රවීණ සිනමා විචාරක භූපති නලීන් එම ප්‍රශ්නයට අප වෙත පිළිතුරු ලබා දුන්නේ මේ අයුරිනි.

සිනමාකරුවෝ යාපනය සිනමා උළෙල වර්ජනය කරති.

ජූඩ් රත්නම්ගේ Demons in paradise චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් හේතු නොදක්වා ඉවත් කිරීමත් සමග එම සිනමා උළෙලේදී ප්‍රදර්ශනය වීමට තිබූ මාලක දේවප්‍රිය ගේ "බහුචිතවාදියා" චිත්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කරගෙන තිබේ.

ඒ පිළිබඳ මාලක නිල වශයෙන් දැනුම්දුන් බවත් ඔහුගේ Facebook ගිණුමේ සවිස්තරාත්මක සටහනක් ඒ සම්බන්ධයෙන් තබා ඇති බවත් වාර්තා විය.

මේ අතර චින්තන ධර්මදාසගේ "ඇවිලෙනසුලුයි" චිත්‍රපටය ද යාපනය සිනමා උළෙලින් ඉවත් කරගැනීමට චින්තනට අවශ්‍ය වුවද එහි නිෂ්පාදකගේ අවශ්‍යතාව මත එම චිත්‍රපටය හෙට (06/10) දිනයේදී ප්‍රදර්ශනය කෙරෙන බවද අපට දැනගන්නට ලැබිණි.

නමුත් තමා යාපනය සිනමා උළෙල වර්ජනය කරන බවත් ප්‍රේක්ෂකයන්ටත් එසේ කරනමෙන් ඉල්ලා සිටින ලෙසත් චින්තන ඉල්ලා සිටියි.

අසාධාරණ ක්‍රියා මත සිනමාකරුවන් සිනමා උළෙලවල් වර්ජනය කිරීම අද ඊයේ සිදු වූ දෙයක්  නොවන බව භූපති පවසයි.
කෙසේවතත්, ලෝකයේ තවමත් අංක එකේ ඒකාධිපති පාලකයා වූ සහ ඉතිහාසයේ දැවැන්තම මිනිස් සංහාරයට වගකිව යුතු මිලිටරි නායකයා වූ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳ හිට්ලර්ගේ ප්‍රචාරකවාදී සිනමාකාරිණියක් වූ  Leni Riefenstahl විසින් අධ්‍යක්ෂණය කළ "The Triumph of the Will" සිනමා පටය අදටත් ලෝක සිනමාවේ සාකච්ඡාවට බඳුන්වන සහ සංරක්ෂණය කර සිනමාව ඉගැන්වීමේදී පවා උදාහරණ වලට ගන්නා සිනමා කෘතියක් වී තිබෙන බව භූපති පවසයි.

ජූඩ්ගේ සිනමා පටයට අත්වූ ඉරණම ඔස්සේ "The Triumph of the Will" සිනමා පටය දෙස බැලුවානම් එය සංරක්ෂණය කරනවා විනා තත්පරයක කාලයකට හෝ ලොව ප්‍රදර්ශනය කිරීම පවා දැඩි ලෙස අත්හිටුවනු බව භූපති අවසන් වශයෙන් පැවසුවේය.
*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 5 October 2018 2:08pm
Updated 5 October 2018 3:50pm
By Madhura Seneviratne

Share this with family and friends