ඔස්ට්‍රේලියාවේ අඩු කළ ඉන්ධන මිල නිසි පරිදි ලැබෙනවාද යන්න නිරීක්ෂණයට පාරිභෝගික කොමිසම වැඩ අල්ලයි (SBS සිංහල/ වාර්තා)

මෝටර් රථ හිමියන්ට ඉන්ධන පිරවීමේදී ලීටරයකට ශත 22ක් ඉතිරි වන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg තම අය වැය කතාවේදී පැවසීය.

A man pumps petrol at a service station

A man pumps petrol at a service Monday, Aug 27, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING Source: AAP

පසුගිය මාර්තු 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල බදු අඩු කිරීමටත් එයින් ලැබෙන සහනය ජනතාවට ලබාදීමටත් මධ්‍යම රජයේ අය වැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මෝටර් රථ හිමියන්ට ඉන්ධන පිරවීමේදී ලීටරයකට ශත 22ක් ඉතිරි වන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg තම අය වැය කතාවේදී පැවසීය.

මෙම සහනය සැබවින්ම ඔස්ට්‍රේලියානුවාසීන්ට ලැබෙනවාද යන්න තහවුරු කිරීම පිණිස ACCC හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පියවර ගෙන තිබේ.


Highlights

  • මෙම ඉන්ධන මිල සහනය 2022 මාර්තු 29 සිට මාස 6 ක් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු විය.
  • මෙම තීරණය මාර්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියවේම ඉන්ධන මිල අදාළ ලෙස අඩු වී තිබිය යුතු බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පවසයි.
  • ඉන්ධන සිල්ලර වෙළෙන්දන් පාරිභෝගිකයින්ට අසත්‍ය හෝ නොමඟ යවන ප්‍රකාශ කරන්නේ නම් ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි.

ඉන්ධන සහනය ජනතාවට ලැබෙන බවට තහවුරු කිරීමට විමර්ශන

මෙම ඉන්ධන මිල සහනය 2022 මාර්තු 29 සිට මාස 6 ක් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු විය.

මධ්‍යම රජයේ මඟ පෙන්වීම යටතේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම දැනට ඉන්ධන මිල ගණන්, පිරිවැය හා ලාභ පිළිබඳ වාර්තා සෑම කාර්තුවකදීම නිරීක්ෂණය කරයි.

අවශ්‍ය අවස්ථාවලදී ඉන්ධන මිල සම්බන්ධ තොරතුරු සැපයීමට ACCC හට පිරිපහදු කරන්නන්, ආනයනකරුවන්, පර්යන්ත ක්‍රියාකරුවන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ට බල කළ හැක.
"පවතින පෙට්‍රල් තොග මට්ටම් අවසන් වී ඇති බැවින් හැකි ඉක්මනින් බවුසරයේ මිල අඩු කිරීමට ඉන්ධන සිල්ලර වෙළෙන්දෝ කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා" යැයි ACCC සභාපතිනි Gina Cass-Gottlieb පැවසුවාය.

ඉන්ධනවල බදු අඩුකිරීම පාරිභෝගිකයන් වෙත සිල්ලර වෙළෙන්දන් ලබා දෙන්නේ කෙසේද යන්න දැනගැනීම සඳහා ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසමේ පරීක්ෂණ කණ්ඩායම ඉදිරි මාස හය සඳහා ඉන්ධන මිල අධීක්ෂණ කාර්යය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

මෙම තීරණය මාර්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියවේම ඉන්ධන මිල අදාළ ලෙස අඩු වී තිබිය යුතු බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පවසයි.
Australian Competition and Consumer Commission sign
Source: AAP

ඉන්ධන මිල සහනය නොදෙන වෙළෙඳුන්ට එරෙහිව පියවර

ඉන්ධන සිල්ලර වෙළෙන්දන් පාරිභෝගිකයින්ට අසත්‍ය හෝ නොමඟ යවන ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසමේ පසුබට නොවන බව එහි සභාපතිනි Gina Cass-Gottlieb පැවසුවාය.

ප්‍රධාන අගනගරවල සිටින පාරිභෝගිකයින්ට අපගේ වෙබ් අඩවියේ මිල චක්‍ර තොරතුරු දෙස බලන ලෙසත් ඔස්ට්‍රේලියාවේ සෑම තැනකම සිටින පාරිභෝගිකයින්ට මිල සංසන්දනාත්මක වෙබ් අඩවි භාවිතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


 

ඉන්ධන තොග මිලෙහි ප්‍රධාන සාධකය වන්නේ ජාත්‍යන්තර ඉන්ධන මිල බව මතක තබා ගැනීම වැදගත් වන අතර ජාත්‍යන්තර බොරතෙල් මිලෙහි අඛණ්ඩ උච්චාවචනයන් ඒ සඳහා බොහෝ දුරට බලපාන බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පවසයි.

ඇමෙරිකානු ඩොලරයට ඔස්ට්‍රේලියානු ඩොලරයේ ඇති විනිමය අනුපාතිකයේ වෙනස්වීම් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල කෙරෙහි බලපාන බව ඔවුහු පවසති.

ඔබට ඔබේ ප්‍රදේශයේ ඉන්ධන මිල පිළිබඳ යම් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් හෝ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 1300 302 502 ඔස්සේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම අමතන්න.

එම දුරකතන අංකය සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා විවෘතව පවතින අතර ජාතික නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවේ.



Share
Published 1 April 2022 11:45am
By Madhura Seneviratne

Share this with family and friends