ලංකාවම හොයපු ඉන්ධන මිල සූත්‍රය එළියට. සූත්‍රය ඇතුලේ තවත් සූත්‍ර ගණනාවක්. (SBS සිංහල/විමර්ශන)

Fuel pricing formula

Source: AAP

පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්වූ මාතෘකාවක් බවට පත්වූයේ ඉන්ධන මිල සූත්‍රයයි.

ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල අනුව සෑම මසකම ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කිරීමට මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

එම සංශෝධනය සඳහා ඉන්ධන මිල සූත්‍රයක් භාවිතා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරු ප්‍රකාශ කළහ.

ඒ අනුව ජූලි මාසයේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ප්‍රථම සංශෝධිත ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරුණු අතර සෑම මසකම 10 වන දින සංශෝධිත ඉන්ධන මිල ගණන් නිවේදනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.
Fuel pricing formula
Source: Daily Mirror

මුදල් ඇමතිටත් නොතේරුණු මිල සූත්‍රය

ඉන්ධන මිල සූත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් දින සිටම ඒ පිළිබඳ සන්කීර්ණතාවක් සහ යම් අපැහැදිලිකමක් ඇති බව දේශීය මාධ්‍ය මගින් වාර්තා කරන්නට විය.

ඉන්ධන මිල සූත්‍රය මගින් මසකට වරක් ඉන්ධන මිල ගණන් සංශෝධනය වන අයුරු කෙසේ සිදුවනවාදැයි හෙළිකරන ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ශ්‍රී ලංකා රජයට බලකරන්නට විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවටත් මේ පිළිබඳ බොහෝ ගැටළු මතුවන්නට විය.

එනිසාම මාධ්‍ය වෙතින් ඉන්ධන මිල සූත්‍රය හෙළිකරන ලෙසට අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ යහපාලන රජයට දිනෙන් දින එල්ල වන පීඩනය දැඩි වන්නට විය.

මේ අතර පසුගිය ඔක්තෝබර් 09 වන දින සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකදී තමාටද ඉන්ධන මිල සූත්‍රය නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
"කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා. ලෝක තෙල් මිල වැඩි වෙනකොට මෙය වැඩි වෙනවා. රුපියල ශක්තිමත් වෙනකොට ආයෙමත් මිල පහළ යනවා" යනුවෙන්ද ඔහු එහිදී පැවසීය.
Fuel pricing formula
Source: Daily Mirror

අවසානයේ හෙළිකළ ඉන්ධන මිල සූත්‍රය

මෙතෙක් කලක් හෙළි නොකළ ඉන්ධන මිල සුත‍්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (18/10) දිනයේදී ජන මාධ්‍ය වෙත හෙළිදරව් කරන ලදී.

ඒ අනුව මුදල් ඇමතිවරයා පුවරුවක් ආශ්‍රිතව මාධ්‍ය වෙත දර්ශනය කළ ඉන්ධන මිල සූත්‍රය පහත පරිදි වේ.

ඉන්ධනවල උපරිම සිල්ලර මිල (MRP) = වරායෙන් ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4)

V1, V2, V3 සහ V4 හි නිරූපණයන් පහත පරිදි වන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පහත අයුරිනි.

V1 - වරායෙන් ගොඩබාන පිරිවැය

බොරතෙල් බැරලයක් සඳහා වියදම්වන සිංගප්පූරුවේ Platt's මිල මෙන්ම වාෂ්ප වීම සහ රුපියලේ හුවමාරු වීමේ වටිනාකමද සැලකිල්ලට ගැනේ.

V2 - සැකසීමේ පිරිවැය

දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන ගාස්තු, වෙළෙඳ නියෝජිත වට්ටම්, වාෂ්ප වීම් සහ තොග රඳවා ගැනීමේ වියදම් මෙයට යටත්ය.

V3 - පරිපාලන පිරිවැය

සේවක වැටුප් හා දීමනා මෙන්ම රුපියලේ අගය අවප්‍රමාණය වීම් ඇතුළු අනෙකුත් ආයතනික වියදම්ද ඇතුළත්වේ.

V4 - බදු පිරිවැය

රේගු ආනයන බදු, ගුවන්තොටුපොළ සහ වරාය සංවර්ධන බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු මේ සඳහා ඇතුළත්වේ.
Fuel pricing formula
Source: Daily News

මිල සූත්‍රය පැමිණීමට හේතු

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තෙල් මිල නියත මිලක් ලෙස සටහන් කිරීමට ශ්‍රී ලංකාවේ සෑම රජයක්ම කටයුතු කරනු ලැබුවේය.

එහිදී තෙල් මිල සෑම මාසයකටම වරක් හෝ කෙටි කාලීනව හෝ සංශෝධනය නොවිණි.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල කෙතරම් ඉහළ පහළ ගියද එම වෙනස්කම් සෘජුව පාරිභෝගිකයාට ලබා දීමට මේ අනුව නොහැකිවූ බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා SBS සිංහල සේවයට පැවසීය.

එනිසාම ශ්‍රී ලංකාවේ රජයට සෑම විටම බොරතෙල් නිසා විශාල ආර්ථික පාඩුවක් දැරීමට සිදුවූ බවත් ඒ මහතා අප සමග පැවසීය.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සංශෝධනය වන අයුරින් ශ්‍රී ලංකාවේ තෙල් මිලද සංශෝධනය කෙරෙන ඉන්ධන මිල සූත්‍රයකට මුල පිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ බොරතෙල් මිලට ගැනීම

ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුව හරහාය.

මේ හේතුවෙන් මිල සූත්‍රය සකස් කිරීම පිණිස සිංගප්පූරු වෙළඳපොළේ තෙල්මිල ගණන් උපයෝගී කරගනු ලබයි.

ඉන්ධන මිල සූත්‍රය සකස් කිරිමේ දී  මාසයක් තුළ සිංගප්පූරු වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් හැසිරීමේ සාමාන්‍ය මිල හා ශ්‍රී ලංකාව තෙල් මිලදී ගනු ලබන මිලද සැළකිල්ලට ගනියි.

එමෙන්ම ඒ සඳහා අදාළ මාසයේ විනිමය අනුපාතයද උපයෝගී කොට ගනියි.

ඒ අනුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යනවිට පාරිභෝගිකයන් ලෙස එහි අවාසිය දරා ගැනීමත්, ඉන්ධන මිල පහළ යනවිට එහි වාසිය පාරිභෝගිකයාට ලබා ගැනීමත් මෙම ඉන්ධන මිල සූත්‍රය හරහා සිදුවන බව ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.
Fuel pricing formula
Source: AAP

පසුගිය දශකය තුළ ලෝක වෙළඳපළේ බොර තෙල් බැරලයක මිල සංශෝධනය.

2007 - $72.47

2008 - $96.85

2009 - $61.49

2010 - $79.51

2011 - $111.26

2012 - $111.65

2013 - $108.64

2014 - $99.04

2015 - $52.35

2016 - $43.55

2017 - $54.25

 

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 19 October 2018 12:33pm
Updated 19 October 2018 1:46pm
By Madhura Seneviratne

Share this with family and friends