2019 වසරේදී ඔස්ට්‍රේලියානු වීසා වලට සිදුවන වෙනස්කම් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian visas

Source: SBS

2018 වසර නිමාවට පත් කරමින් ලැබූ මෙම 2019 වසර ඔස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර වලට වෙනස්කම් රාශියක් එක් කරන වසරක් වෙයි.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන් සහ වීසා වෙනස්කම් සම්බන්ධයෙන්ද 2019 වසර කැපී පෙනෙන වසරක් වීමට නියමිතව තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය


 

2019 වසරේ ඔස්ට්‍රේලියානු වීසා සහ සංක්‍රමණික ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රධාන වෙනස්කම් මොනවාදැයි මෙම ලිපියෙන් දැනගනිමු.
Australian visas
Source: Getty Images

Designated Area Migration Agreements

සීමා සහිත ඉංග්‍රීසි දැනුමක් සහිත අඩු නිපුණතාවන් සහිත පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මග විවර කරන මෙම වැඩසටහන Designated Area Migration Agreements හෙවත් DAMA වැඩසටහන ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාස කිහිපය තුළ අවධානය යොමු කරමින් සිටින අතර DAMA වැඩසටහන එහි එක් අංගයක් ලෙස දැක්වෙයි.
මේ වන විට මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය මෙන්ම Northern Territory ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තෝරාගෙන ඇත.

ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ Pilbara සහ Kalgoorlie-Boulder කලාප, උතුරු ක්වීන්ස්ලන්තයේ Cairns මෙන්ම මධ්‍යම නිව් සවුත් වේල්ස් හි Orana කලාප වල ශ්‍රම හිඟය පිරවීම සඳහා ද DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ ඒ කලාප බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Australian visas
Source: Getty Images

නව දෙමාපිය වීසා

ඔස්ට්‍රේලියාවේ  වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකි නව වීසා වර්ගයක් ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දීමට සූදානම් වෙයි.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගේ පවුල් නැවත එක් කිරීමේ (Family reunite) අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගත් බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman පවසයි.

Temporary Sponsored Parent visa නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ  වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවේ.

මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත.

Temporary Sponsored Parent visa (TSP) කොන්දේසි

  • තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවේ.
  • TSP වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුය.
  • TSP වීසා හරහා පැමිණෙන්නන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය රක්ෂණ සේවා සපයන්නෙකු හරහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය.
  • එය සම්පූර්ණ වීසා කාලයම ආවරණය වන පරිදි ලබා ගත යුතුය.
  • TSP වීසා සඳහා අයදුම්පත් කැඳවීම මෙම  වසරේ මැද භාගයේ සිට සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
Australian visas
Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියාවේ නව business visa

දකුණු ඔස්ට්‍රේලියාවේ නවෝත්පාදන සඳහා රුකුල් දීමේ අරමුණින් SISA හෙවත් Supporting Innovation in South Australia නමින් නව වැඩසටහනක් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා සහභාගී වීමට සුදුසු පුද්ගලයින් හට Temporary Activity Visa (Subclass 408) හෙවත් තාවකාලික ක්‍රියාකාරකම් වීසා ලබාගත හැකි බවද ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

නවෝත්පාදන අදහස් ඇති, ව්‍යවසාය අදහස් හෝ සංකල්ප සහිත මූලික අදියරේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපාරයක සේවය කරන එම නව්‍ය අදහස දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩි දියුණු කිරීමට කැමති සහ එම ව්‍යාපාර දකුණු ඔස්ට්‍රේලියාවේ ගොඩනැගීමට කැමති විදේශ රටවල සිටින පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ වෙළෙඳ, සංචාරක සහ ආයෝජන දෙපාර්තමේන්තුව හරහා ප්‍රථමයෙන් ව්‍යවසායකයින්ව අනුමත කළ යුතු වන අතර පසුව මීට සහභාගී වීම පිණිස ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Temporary Activity Visa (Subclass 408) සඳහා අයදුම් කළ යුතු වේ.

SISA වැඩසටහන වසර තුනක් පුරාවට ක්‍රියාත්මක වේ.

2018 නොවැම්බර් මාසයේ ආරම්භ වුණු SISA වැඩසටහන 2021 නොවැම්බර් මාසයෙන් අවසන් වේ.

කෙසේනමුත්, SISA වැඩසටහන සඳහා අයදුම්කරන ඔබේ වීසා කාලය ඔබට වීසා අනුමත වන දිනය අනුව වෙනස් වේ.

SISA වෙත සහභාගී වීම පිණිස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු සියලු පියවර 
Australian visas
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම

ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය නොවැම්බර් මාසයේදී පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

2012-13 වසරේ පටන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 ක උපරිම සීමාවක තබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය.

නමුත් ගතවූ කාලය තුළ ඉතිහාසයේ අවම ස්ථිර පදිංචිය ලබා දීම් 2017-18 වර්ෂයේදී සිදුවූ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංක්‍රමණික දත්ත පෙන්වා දෙයි.

එම ප්‍රමාණය 163,000 ක් ලෙස වාර්තා වන අතර ඊට නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුලේ උදවියගේ සංක්‍රමණ අයත්වේ.

කෙසේවෙතත්, 2019  වසරේ සිට ඔස්ටෙලියාවේ 190,000 ක් ව පවතින වාර්ෂික සංක්‍රමණික කෝටාව160,000 මට්ටමට අඩු කිරීමට තම රජය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පැවසීය.
Australian visas
Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමට අදාළ ප්‍රතික්ෂේප වූ යෝජිත වෙනස්කම් නැවත ගෙන එයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ක්‍රියාත්මක නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය මීට පෙර ඉදිරිපත් කළ යෝජනා නැවත ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton  පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ සම්බන්ධයෙන් ගෙන ආ යෝජිත වෙනස්කම් 2017  වසරේ සෙනට් සභාවේදී ප්‍රතික්ෂේප විය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට වසර 4 ක කාලයක් බලා සිටීමට සිදුවීම, විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය සදහා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට අතිරේක බලතල ලබා දීම මෙම යෝජිත කරුණු අතර වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------

Share
Published 9 January 2019 12:48am
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends