ළමයින්ගේ ලෝකය වෙනස් කළ 2017 Magsaysay සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය දිරිය කත : ගෙත්සි ෂන්මුගම්. (SBS සිංහල/වාර්තා)

Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයෙකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළම ගෞරව සම්මානය ලෙසද සඳහන්.

Gethsie Shanmugam

Source: LeAnne Jazul/Rappler

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුදාවලිය ලත් Ramon Magsaysay සම්මාන උළෙලේ මෙවර Magsaysay සමාමානය ලැබුවන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක් ද විය.

83  හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ දරුවන් හට මානසික උපදේශනය  ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.

2017 Ramon Magsaysay සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් සය දෙනා පසුගිය ජූලි 27 වන දින ප්‍රකාශයට පත් කළ අතර සම්මාන පිරිනැමීම අගෝස්තු මස 31 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී සිදු කෙරිණි.

Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයෙකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළම ගෞරව සම්මානය ලෙසද සඳහන්.

Magsaysay සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයෝ

ගෙත්සි ෂන්මුගම් මහත්මිය Magsaysay සම්මානයෙන් ලැබූ අටවන ශ්‍රී ලාංකිකයා ලෙස  වාර්තා වන අතර මීට පෙර 1959 දී ටාර්සි විට්ටච්චි මහතා, 1969 දී A.T. ආරියරත්න මහතා, 1979 දී L.T. P. මංජු ශ්‍රී මහතා, 1983 දී මර්සිලීන් ජයකොඩි පියතුමන්, 1988 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, 2001 දී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, 2008 දී ආනන්ද ගලප්පත්ති මහතා Ramon Magsaysay සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

1957 වසරේදී ගුවන් අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපති Ramon Magsaysay අනුස්මරණය කිරීම නිමිත්තෙන් මෙම Ramon Magsaysay සම්මාන උළෙල පැවැත්වේ.

ෂන්මුගම් මහත්මියට අමතරව මෙවර සම්මාන ලාභීන් අතරට ජපානයේ ඉතිහාසඥයෙකු වන Yoshiaki Ishizawa, ඉන්දුනීසියාවේ ආදී වාසි ජනයා වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ Abdon Nababan, සිංගප්පුරු ව්‍යාපාරිකයෙකු වන Tony Tay, පිලිපීනයේ නීතිඥ Lilia de Lima සහ පිලිපීනයේ Educational Theater Association ආයතනය එක්විය.
Ramon Magsaysay Awardees 2017
Magsaysay Awardees 2017 Source: AFP

රහස් පරීක්ෂණය.

Magsaysay සම්මානය තමන්ට හිමිවන බව ප්‍රථමයෙන්ම සැලවූ මොහොතේ තමන්ට විශ්වාස කළ නොහැකිවූ බව ගෙත්සි ෂන්මුගම් මහත්මිය SBS සිංහල වැඩසටහන සමග සිදු කළ සාකච්ඡාවකදී පැවසුවාය.

තමන් කිසි දිනෙක සම්මාන හෝ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සේවය නොකළ බවත් තමන්ගේ සේවය පිළිබඳ කිසි දිනෙක පුරාජේරු හෝ පම්පෝරි නොගැසූ බවත් ඇය අපත් සමග පැවසුවාය.

"මගේ ජීවිතයේ, මගේ සේවයේ මූලික ඉලක්කය ළමයි. ළමයි තමයි මේ මුළු ලෝකයම. මම සිංහල ළමයින්ගේ ඉංග්‍රීසි ගුරුවරියක් වුණා. මට ඕන වුනේ ලංකාවේ ළමයින්ට හොඳ පාර පෙන්නන්න." යනුවෙන් ෂන්මුගම් මහත්මිය හඬ අවදි කළාය.

Magsaysay සම්මානය යම් අයෙකු හට හෝ යම් සංවිධානයකට පිරි නැමීමට පෙර ඒ සඳහා නිර්දේශිත නම් ආසියාවේ විවිධ රටවලින් ලබා ගැනේ.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයා හෝ සංවිධානය එකී පරිදි සේවාවක් සමාජයට සිදු කර ඇතිදැයි හොර රහසේම විමර්ශනය කෙරේ.

මේ සඳහා Magsaysay  පදනමෙන් විශේෂ කණ්ඩායම් පිටත් කර හරියි.
මෙවර Magsaysay සම්මානය සඳහා පාත්‍රවූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ව මුණ ගැසීමට එවැනි කණ්ඩායමක් පැමිණ ඇති නමුත් ඔවුන් ඒ බවක් ඇයට නොදන්වා තොරතුරු විමර්ශනය කළ බවත් සම්මානය සඳහා තමන් සුදුසුකම් ලැබූ පසුව ඒ පිළිබඳව දැනගත් බවත් ෂන්මුගම් මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
"කට්ටියක් ආවා. හැබැයි ඒ ගොල්ලෝ කිව්වේ ළමයින්ට මම සිද්ධ  කරලා තියෙන සේවාවන් ගැනයි මං ගැනයි පර්යේෂණය කරන්න ආවා කියලා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට දුන්න සම්මාන සහ ඇගයීම් ඇතුළු මගේ සියලු විස්තර ඒ අය විමසුවා. නමුත් මට Magsaysay සම්මානයක් ගැන කිසිම හෝඩුවාවක් දුන්නේ නැහැ. පස්සේ සම්මානය ගන්න මම පිලිපීනයට යන්න ලෑස්ති වෙනකොට තමයි මම දැනගත්තේ එදා ඒ මාව හම්බ වෙන්න ඇවිල්ල තියෙන්නේ Magsaysay  පදනමෙන් බව." ෂන්මුගම් මහත්මිය තම මතකය අවදි කළාය.

ඇගේ ආරම්භය.

තමන් ගුරුවරියක් ලෙස සේවය කරන විට ළමා   මනෝ චිකිත්සකයෙක් ඇයට එම අංශය පිළිබඳ මනා පුහුන්වක් ලබා දුන් බවත් ඒ ආරම්භයත් සමග තමන් ගුරුවරියකට වඩා උපදේශකවරියක් ලෙස තම ගමන ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

විශේෂයෙන්ම ලංකාවේ පැවති යුද්ධයෙන් පීඩාවට පත්වුණු වැන්දඹු මව්වරුන් හට සහ අසරණ වූ දරුවන් හට නියම මාර්ග උපදේශනය ලබා දී ඔවුන්ට ජීවත්වන්නට නැවත ආශාවක් ඇති කර අරමුණක් ඇති කිරීම තමන්ගේ අපේක්ෂාව වූ බවද ඇය අප සමග පැවසුවාය.
"අපි ඒ කාලේ පාවිච්චි කළේ බංග්ලාදේශ මනෝ චිකිත්සක උපක්‍රම. යුද්ධේ යුද්ධේ කියල ඒ අම්මලට නිකන් ඉන්න බැහැනේ. ළමයින්ව බලාගෙන ඒ අයගේ අනාගතේ හදන්න ඕනනේ. එනිසා අපි ඒ අයට ශක්තියක් වුනා. අපි ඒ අයගේ ප්‍රශ්න වලට හොඳින් ඇහුම්කන් දුන්නා. ප්‍රශ්න වලට උත්තර ඒ අය ගාව්මා තියෙනවා. අපි කරේ ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නේ නැතුව ඒ අයගේ උත්තරේ ගන්න උදව් කරපු එක." යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වූ දරුවන් හට ජීවිතය ජය ගැනීමේ මූලාරම්භය ලබා දුන් අයුරු පිළිබඳ ෂන්මුගම් මහත්මිය පැහැදිලි කළාය.
යුද්ධය පැවති සමයේදී උතුරු නැගෙනහිර පළාත් වෙත යාමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවූ බවද ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම, LTTE සීමාවෙන් එහා පිහිටි ගම් වල සිටින කාන්තාවන් සහ දරුවන් මුණ ගැසීමට යාමේදී නිරන්තර පරීක්ෂාවන්ට ලක්වන්නට තමන් ඇතුළු කණ්ඩායමට සිදුවූ බව ද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා යුධ හමුදාව පාලනය කරනු ලැබූ මුර පොළවලදී තමන් ට ඒ හැටි ගැටළුවක් නොවූ නමුත්  LTTE මුර පොළවලදී තමන්ව සෑම විටම දැඩි පරීක්ෂාවට ලක් කළ බව ෂන්මුගම් මහත්මිය ප්‍රකාශ කළාය.
Gethsie Shanmugam
Source: Facebook/@rmafoundation

අමතක නොවන අත්දැකීම්

තම උපදේශන සේවා දිවියේ අමතක නොවන සිදුවීම් විශාල සංඛ්‍යාවක් තිබෙන බව ෂන්මුගම් මහත්මිය අප සමග ප්‍රකාශ කළාය.

ඉන් එක් සිදුවීමක් ඇය අප සමග විස්තර කළේ මේ අයුරිනි.

“මඩකලපුව ප්‍රදේශයේ එක් දූපතක ජීවත් වුණු ළමුන් හට පාසල් යන්න කිසිම විදියක් තිබුණේ නැහැ. මොකද හමුදාවයි, LTTE එකයි දෙපැත්තෙන්ම යුද්ධ කරනවා. ඒ ළමයින්ගේ පාසල් අධ්‍යාපනය මේ නිසා කඩා කප්පල් වෙමින් තිබුණේ. අනික ඒ දූපතේ පාසල් අධ්‍යාපනය තිබුණේ 5 වසරට වෙනකම් විතරයි. ලොකු ළමයි බෝට්ටු වලින් තමයි දූපතෙන් එහා තිබ්බ පාසල් වලට ගියේ. නමුත් යුද්ධේ හින්දා ඒක කරන්න බැහැ. පස්සේ අපි ඒ ළමයින්ව පුහුණු කළා දෙපැත්තේම කට්ටියව මුණ ගැහිලා ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා විසඳුමක් ලබා ගන්න. අපි ඒඅයට දිරිය ලබා දුන්නා. පස්සේ ඒ ගොල්ලන්ට පාසල් යන්න දූපතේ ඉඳලා මෙගොඩට බස් මාර්ග හදලා දුන්නා. පොඩි පාලම් හදලා දුන්නා. පස්සේ කාලේ UNICEF එක ඒ ගොල්ලන්ට ලොකු පාසලකුත් හදලා දුන්නා.”

අනාගත අපේක්ෂාවන්.

තමන් මේ වන විට අලුත් උපක්‍රම සොයමින් සිටින බව  ෂන්මුගම් මහත්මිය පැවසුවාය.

විශේෂයෙන්ම “සතුටින් ඉන්න ගුරුවරු ලෝකය වෙනස් කරයි” කියන ප්‍රසිද්ධ කියමන ට තවත් දෙයක් එකතු කිරීමට තමන්ට අවශ්‍ය බව ඇය SBS සිංහල ගුවන් විදුලියට අවසාන වශෙයන් පැවසුවාය.

මේ ලෝකය වෙනස් කරන්නට ළමයින්ට විශාල හැකියාවක් පවතින බව ඇය විශ්වාස කරයි.

එනිසාම “සතුටින් ඉන්න ළමයින් ලෝකය වෙනස් කරයි” යන තේමාව ඔස්සේ ඇගේ අනාගත වැඩකටයුතු කරගෙන යාමට ඇය අපේක්ෂා කරයි.

Share
Published 18 October 2017 1:38am
By Madhura Seneviratne

Share this with family and friends