උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට රතු නිවේදනයක්. (SBS සිංහල/වාර්තා)

උතුරු කොරියාවේ මෙම තර්ජන ඔස්ට්‍රේලියාවට අලුත් දෙයක් නොවන බවත් එමගින් මෙම අර්බුදය සාමකාමීව විසඳීමට ඔස්ට්‍රේලියාව තව තවත් උනන්දු කරවීමක් සිදු කරන බවත් ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop පැවසුවාය.

North Korea threatens Australia for aligning with US.

(Photo credit should read KNS/AFP/Getty Images) Source: AFP

තමන්ට විරුද්ධව ඇමෙරිකාව හා දකුණු කොරියාව සමග එක්ව කටයුතු කරන්නේ නම් ඔස්ට්‍රේලියාවට ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව තර්ජනය කර තිබේ.

උතුරු කොරියාව මෙලෙස ඔස්ට්‍රේලියාවට තර්ජනය කිරීම එරට නිල මාධ්‍ය සේවය වන KCNA හෙවත් Korean Central News Agency හරහා ප්‍රකාශයට පත් කර තිබේ.

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop සහ ආරක්ෂක ඇමතිනී Marise Payne මෙම සතියේදී සිදු කළ දකුණු කොරියානු සංචාරය මේ තත්ත්වය උත්සන්න කිරීමට ආසන්නතම හේතුව වී ඇත.

එම සංචාරයේදී තම රාජ්‍යයට එරෙහිව ඇමෙරිකාව සමග එක්ව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට Julie Bishop සහ Marise Payne පවසා ඇති අතර ආරක්ෂක ඇමතිනී Marise Payne උතුරු කොරියාව දැඩි ලෙස හෙළා දැක තිබේ.



උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මැද පිහිටා ඇති වසර 65 කටත් වඩා අධික කාලයක පටන් දෙරට අතර යුද්ධයකට මුල්වූ Panmunjom ගම්මානයේ සංචාරයකද Julie Bishop සහ Marise Payne නිරත විය.

උතුරු කොරියාව අත්හදා බලමින් පසුවන න්‍යෂ්ඨික අවි සහ මිසයිල වහාම නතර කර දේශපාලනමය සාකච්ඡාවකට පැමිණ මෙම ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසට අමාත්‍යවරියන් දෙදනා එහිදී අවධාරණය කර තිබේ.

“අපගේ නැවත නැවත සිදු කරන අනතුරු ඇඟවීම් නොතකා ඇමෙරිකාව සමග ඔස්ට්‍රේලියාව අප වෙත යුධමය, ආර්ථිකමය සහ රාජ්‍ය තාන්ත්‍රිකමය පීඩනයක් ඇති කරන්නේ නම් ඔස්ට්‍රේලියාවට මහා විනාශයකින් ගැලවීමට නොහැකි වනු ඇත.” යනුවෙන් KCNA අනතුරු අඟවා තිබේ.

උතුරු කොරියාවේ මූලිකම ඉලක්කය ඔස්ට්‍රේලියාව නොවෙයි.

උතුරු කොරියාවේ මෙම තර්ජන ඔස්ට්‍රේලියාවට අලුත් දෙයක් නොවන බවත් එමගින් මෙම අර්බුදය සාමකාමීව විසඳීමට ඔස්ට්‍රේලියාව තව තවත් උනන්දු කරවීමක් සිදු කරන බවත් ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop පැවසුවාය.

අමාත්‍ය Julie Bishop අද (15/10) සිඩ්නි හිදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකශ කළාය.

“උතුරු කොරියාව අපේ කලාපයේ තිබෙන අනෙකුත් රටවලට පවා මෙවැනි තර්ජන එල්ල කර තිබෙනවා. එනිසයි, අපි සැවොම එකට එකතුවී සාමකාමී මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව හා ආර්ථිකමය සම්බාධක මගින් උතුරු කොරියාවට මෙහි ඇති බැරෑරුම් බව පෙන්වා සාකච්ඡා මේසයට කැඳවා ගත යුතු.” යනුවෙන් Julie Bishop පැවසුවාය.

SBS පුවත් ඇසුරෙනි.



 

 


Share
Published 15 October 2017 10:26pm
Updated 15 October 2017 10:29pm
By Madhura Seneviratne


Share this with family and friends