වික්ටෝරියා ප්‍රාන්තයේ යළි හිස එසවූ කොරෝනා රැල්ල මර්දනය කිරීමේ මෙහෙයුමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ කැඳවයි (SBS සිංහල/ වාර්තා)

Australian Defence Force Soldiers

File photo. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ යළි හිස එසවූ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ මෙහෙයුමට සහය වීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ තීරණය කර තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මෙම මෙහෙයුම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය ලබා දෙන ලෙසට වන ඉල්ලීම ඊයේ පස්වරුවේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලැබිණි.
AUSTRALIA CORONAVIRUS COVID-19
Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා මෙහෙයුමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය

වික්ටෝරියා ප්‍රාන්තයේ යළි හිස ඔසවන කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය ලබාදීමට තීරණය කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ විශේෂ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා මෙහෙයුමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 1,000 කට අධික පිරිසක් අනියුක්ත කරනු ඇතැයි වාර්තා වේ.

එම පිරිසෙන් 850 ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් හදිසි තත්ත්ව කළමණාකරණය කිරීමටත්, හෝටල් වල ක්‍රියාත්මක නිරෝධායන කටයුතු සැලසුම් කිරීමටත්, ඒවාට සහය වීමටත් යොදවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමතිනී Linda Reynolds පැවසුවාය.

"අපේ සොල්දාදුවන් නීතිය ක්‍රියාත්මක කරන්නන් පමණක් නොවේ, නිරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් අදාළ ස්ථානවලට සහාය වේවී" යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

වික්ටෝරියානු සෞඛ්‍ය අංශ සිදුකරගෙන යනු ලබන කොරෝනා මර්දන ක්‍රියාවලිය වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය ලබා ගැනීමෙන් අපේක්ෂා කරයි.

" අපේ ආරක්ෂක අංශ සාමාජිකයින් අවශ්‍ය සියලුම සෞඛ්‍ය ප්‍රොටෝකෝල පිළිබඳව මනා පුහුණුවක් ලබා ඇති අතර, එම ප්‍රොටෝකෝලයන් පිළිපැදීමේදී ඔවුන් රට පුරා විශිෂ්ඨ කාර්යයක් ඉටු කර තිබෙනවා" යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමතිනී Linda Reynolds පැවසුවාය.
The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform.
The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයට, ප්‍රාන්ත 4 ක සහය

යලි හිස ඔසවන වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රාන්ත 4 ක් සිය පූර්ණ සහය ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත එලෙස සහය ලබා දීමට ඉදිරිපත්ව ඇති ප්‍රාන්ත වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


මෙම සහයත් සමග වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සිදුකරනු ලබන කොරෝනා පරීක්ෂාවන් වේගවත් සහ කාර්යක්ෂම අන්දමින් සිදු කිරීමටත් ඒවායේ ප්‍රතිඵල නිවරදිව වේගවත්ව ලබා ගැනීමටත් හැකියාව ලැබෙන බව වාර්තා වේ.
The Australian Defence Force called to assist Victoria with coronavirus surge
Source: AAP

කොරෝනා වයිරසය යළි හිස එසවීම

පසුගිය දින 8 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 143 දෙනෙකු වාර්තා වී ඇත.

නමුත් එම කාලය තුළ සෙසු සියලුම ප්‍රාන්ත වලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වුයේ 20 කි.

මේ වන විට මෙල්බර්න් කලාපයේ සංචාරය කිරීමට අනතුරු ඇඟවීම් සිදුකළ කොරෝනා මර්මස්ථාන 6 ක් නම් කර තිබේ.

Darebin, Moreland, Brimbank, Hume, Cardinia සහ Casey යන නගර සභා සීමා හය එම කොරෝනා මර්මස්ථාන 6 වේ.

මේ අතර මෙල්බර්න් නගරය ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයට සංචාරය කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි සිය වැසියන්ට අනතුරු අඟවා තිබේ.

ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කථා කරන සැලකිය යුතු ජනගහනයක් එම නගර සභා සීමා හයේම වාසය කරන බව වාර්තා වේ.

කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු භාෂා 55 කට පරිවර්තනය කර තිබෙන නමුත් ඉංග්‍රීසි හැර වෙනත් භාෂා පසුබිමක් සහිත මෙම පුද්ගලයින් වෙත ළඟාවීම සඳහා රජයට මහත් වෙහෙසක් දැරිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 25 June 2020 10:37am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends