ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනය සහ වෙනස්කොට සැලකීම අවසන් කරන ලෙස ඉලල්මින් ලක්ෂයකට අධික කාන්තාවෝ පාරට බසිති (SBS සිංහල/ වාර්තා)

දශක ගණනාවක් පුරාවට කාන්තාවන් මුහුණ දී ඇති වෙනස්කොට සැලකීම් වලට පිළියම් යෙදීමට අපොහොසත් වීම ප්‍රජාව තුළ කලකිරීමට හේතු වී ඇතැයි කාන්තා කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Tanya Plibersek පැවසුවාය.

Thousands gather at the March4Justice demonstration in Melbourne on Monday.

Thousands gather at the March4Justice demonstration in Melbourne on Monday. Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ කාන්තාවට සිදුකරන හිංසනය සහ අසමානතාවය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින් අද (15/03) දිනයේ ඔස්ට්‍රේලියාව පුරාම විරෝධතා රැළි පැවැත්වුණි.

March4Justice නමින් හැඳින්වුණු මෙම විරෝධතා ව්‍යාපාර සඳහා ලක්ෂයකට අධික කාන්තාවන් එක්ව සිටි බව SBS පුවත් වාර්තා කරයි.


Highlights

  • වත්මන් ඔස්ට්‍රේලියානු දේශපාලකයින් කිහිපදෙනෙකුටම ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවීමත් සමග මෙම විරෝධතාව සංවිධානය කෙරුණි.
  • කැන්බරා, සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර වලදී මෙම March4Justice විරෝධතා රැළි අද දිනයේ පැවැත්විණි.
  • ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල සිදුවන ලිංගික අපයෝජන සහ ස්ත්‍රී - පුරුෂ භාවය නිසා වෙනස්කොට සැලකීම් වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ නව පනත් කෙටුම්පතක් ස්වාධීන මන්ත්‍රිනී Zali Steggall අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

March4Justice විරෝධතා ව්‍යාපාරය

කැන්බරා පාර්ලිමේන්තුව පිටත, සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර වලදී මෙම March4Justice විරෝධතා රැළි අද දිනයේ පැවැත්විණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව අද දිනයේ යළි රැස්වූ නිසාවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලකයින්ට නැගෙන ස්ත්‍රී දූෂණ චෝදනා වලට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම March4Justice විරෝධතා ව්‍යාපාරය සංවිධානය කෙරුණි.

කැන්බරා පාර්ලිමේන්තුව පිටත රැස් වූ විරෝධතාකරුවන් ගේ නියෝජිත කණ්ඩායමක් පුද්ගලිකව හමුවීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison  අපේක්ෂා කළද විරෝධතාකරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

March4Justice නමින් හැඳින්වෙන මෙම විරෝධතා ව්‍යාපාරයට ලිංගික අතවරවලින් දිවි ගලවා ගත් පුද්ගලයින් සහ ඔවුන්ගේ සගයන්, ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව අගය කරන පිරිස් සහ කාන්තාවට එරෙහි හිංසනය පිටුදකින පිරිස් ද එක්වී සිටියෝය.
A protesters holds a placard during the Women's March 4 Justice in Canberra on Monday.
A protesters holds a placard during the Women's March 4 Justice in Canberra on Monday. Source: AAP

වචන වලට වඩා ක්‍රියාවන් අවශ්‍යයි

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල සිදුවන ලිංගික අපයෝජන සහ ස්ත්‍රී - පුරුෂ භාවය නිසා වෙනස්කොට සැලකීම් වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ නව පනත් කෙටුම්පතක් ස්වාධීන මන්ත්‍රිනී Zali Steggall අද (15/03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

එය දේශපාලකයින් විසින් සිදු කරනු ලබන ලිංගික අපයෝජන සහ වෙනස්කොට සැලකීමේ අවස්ථා ද ඇතුළුව සෑම තත්ත්වයක් තුළම ලිංගික හිංසනයන් නීති විරෝධී බවට පත් කරයි.

මේ අතර ලිබරල් පක්ෂයේ වර්තමාන සහ හිටපු කාන්තා කාර්ය මණ්ඩල සේවකයින් විසින් සිදුකරන ලද ලිංගික හිංසන සහ අපයෝජන පිළිබඳ චෝදනා වලට විපක්ෂ නායක Anthony Albanese ප්‍රතිචාර දක්වා තිබේ.

තම කාර්ය මණ්ඩලයේ පිරිමි සගයින්ට එරෙහිව තම චෝදනාවලට විසඳුම් ලබා නොදුනහොත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සූදානම් බව අදාළ කාන්තා කාර්ය මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

මේ පිළිබඳ හෙළිදරව් කිරීම් ඔස්ට්‍රේලියාවේ දේශපාලන ජනමාධ්‍යවේදිනියක් වන Samantha Maiden විසින් සිදු කර තිබුණි.

"අප සතුව ඇත්තේ චෝදනා පමණි, Samantha Maiden විසින් වාර්තා කර ඇති බවට මා දුටු ලියකියවිලිවල කිසිදු නමක් ඉදිරිපත් කර නොමැත. නමුත් මෙය හෙළිකිරීමට ඉදිරියට එන ලෙස මම මිනිසුන්ව දිරිමත් කරමි." යනුවෙන් විපක්ෂ නායක Anthony Albanese පැවසීය.

මේ අතර දශක ගණනාවක් පුරාවට කාන්තාවන් මුහුණ දී ඇති වෙනස්කොට සැලකීම් වලට පිළියම් යෙදීමට අපොහොසත් වීම ප්‍රජාව තුළ කලකිරීමට හේතු වී ඇතැයි කාන්තා කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Tanya Plibersek පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ද විරෝධතා පාගමනට

අගමැති Scott Morrison මෙම විරෝධතා පා ගමනට සහභාගී වීම ප්‍රතික්ෂේප කර විරෝධතාකරුවන්ව පුද්ගලිකව හමුවීමට සැලසුම් කළ නමුත් ලිබරල් සන්ධාන රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් March4Justice විරෝධතා පාගමනට එකතුවී සිටියෝය.

මේ අතර විපක්ෂ නායක Anthony Albanese ප්‍රමුඛ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද ග්‍රීන්ස් පක්ෂයේ සහ ස්වාධීන  මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද මෙම විරෝධතා ව්‍යාපාර වලට එක්වූ බව වාර්තා විය.

Brittany Higgins කැන්බරා පාර්ලිමේන්තු පරිශ්‍රයේ විරෝධතාවට එක්වෙයි

ලිබරල් පක්ෂයේ හිටපු කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන Brittany Higgins අද මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා සහභාගී වීමට කැන්බරා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියාය.

පාර්ලිමේන්තු කාර්යාල පරිශ්‍රයේදී තමන්ට ලිංගික අතවරයක් වූ බවට Brittany Higgins චෝදනා කිරීමත් සමග පසුගියදා දේශපාලකයින් ඇතුළු කැන්බරා පරිශ්‍රයේ සිටින නිලධාරීන් හට දැඩි දෝෂාරෝපණ එල්ල වන්නට විය.

සමාජයේ සහ සේවා ස්ථානයේ කාන්තාව ආරක්ෂා කරන පද්ධතිය බිඳ වැටී ඇති බවත් එය වහා සකස් කර කාන්තාවගේ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවත් විරෝධතාවේදී අමතමින්  Brittany Higgins පැවසුවාය.

Share
Published 15 March 2021 5:43pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends