Exclusive

ඔස්ට්‍රේලියාවේ සිංහල කතා කරන වැඩිම පිරිස මෙල්බර්න් කලාපයේ, නවතම විස්තර මෙන්න (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිස 85,869 ක් සිටින බව 2021 සංගණන දත්ත හෙළි කරයි.

How Sinhala speaking people spread in Australia

Source: Getty Images/Mariano Sayno

2021 වසරේ ඔස්ට්‍රේලියාව තුළ සිදු කළ නවතම ජන හා නිවාස සංගණනයට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන සංඛ්‍යාව 85,869 ක් ලෙස වාර්තා වේ.

එම පිරිස ඔස්ට්‍රේලියාව පුරා විසිරී ඇති ආකාරය සහ ඔවුන් පිළිබඳ මූලික චිත්‍රය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • 2021 සංගණන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස 85,869 කි.
  • එයින් වැඩිම පිරිසක් වාසය කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම අගය 49,501 කි.
  • සිංහල භාෂාව කතා කරන පුද්ගලයින්ගේ වැඩිම පදිංචිය ඇත්තේ මෙල්බර්න් කලාපයේ Clyde North නැමති උප නගරයේය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල කතා කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින්

ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිස 85,869 ක් සිටින බව 2021 සංගණන දත්ත හෙළි කරයි.

2016 වසරේදී එම සංඛ්‍යාව 64,612 ක් ලෙස වාර්තා විය.

එමෙන්ම 2021 සංගණන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 71,156 කි.

එමෙන්ම සිංහල භාෂාව කතා කරන 12,793 ක් ඔස්ට්‍රේලියාවේ උපත ලබා තිබේ.

ඊට අමතරව 297 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද 251 ක් නවසීලන්තයේ ද 219 ක් එංගලන්තයේ ද උපත ලබා ඇත.

වැඩිපුරම සිංහල කතා කරන ප්‍රාන්තය

මෙවර සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිසෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එම පිරිස 49,501 කි.

2016 වසරේදී එම ප්‍රමාණය 37,423 කි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස ප්‍රාන්ත හා ටෙරිටරි අනුව පහත පරිදි වේ.

  • වික්ටෝරියා ප්‍රාන්තය - 49,501
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 13,570
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 7,957
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 6,340
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 4,227
  • Australian Capital Territory - 2,178
  • ටස්මේනියා ප්‍රාන්තය - 1,114
  • Northern Territory – 989
මේ අතර ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන පුද්ගලයින්ගෙන් 54,603 ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් බවත් වාර්තා වේ.

එමෙන්ම සිංහල භාෂාව කතා කරන 31.032 ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන බවත් නවතම සංගණන දත්ත වාර්තා කරයි.

සිංහල භාෂාව කතා කරන පුද්ගලයින්ගේ වැඩිම පදිංචිය

2021 වසරේ සංගණනයට අනුව සිංහල භාෂාව කතා කරන වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පදිංචිවී සිටින්නේ මෙල්බර්න් කලාපයේ Clyde North නැමති උප නගරයේ බව වාර්තා වේ.

එම ප්‍රමාණය 2,512 කි.

ඉන් අනතුරුව එම ලැයිස්තුවේ දෙවැනි තැන Craigieburn උප නගරයට හිමිවී ඇති අතර එහි සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 1.980 ක් පදිංචි බව සඳහන්.
Berwick උප නගරෙය් සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 1,888 ක් පදිංචි වී සිටින අතර එය මෙම ලැයිස්තුවේ 3 වන ස්ථානයට පත්ව ඇත.

21021 වසරේ සංගණනයට අනුව සිංහල භාෂාව කතා කරන වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පදිංචිවී සිටින පළමු උප නගර 10 ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

බෞද්ධයින් ඉහළ යයි

ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් බහුතරයකගේම ආගම බුද්ධාගම වන අතර එම සංඛ්‍යාව 64,839 කි.

එය ප්‍රතිශතයක් ලෙස 75.5% ක් වන අතර 2016 වසරේ සංගණනය සමග සසඳන කල එය 1% ක වර්ධනයකි.
ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් කතෝලිකයින් 13,380 ක් වෙසෙන අතර එය 15.6% ක ප්‍රතිශතයකි.

නමුත් 2016 වසරේ සංගණනය සමග සසඳන කල එය 0.8% ක පහළ යාමක් බව සඳහන්.

අධ්‍යාපන මට්ටම සහ නිවාස හිමිකාරීත්වය

2021 වසරේ සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන 12,503 දෙනෙකු විශ්ව විද්‍යාල, TAFE ඇතුළු තෘතීය අධ්‍යාපන මට්ටමේ සිටින බව වාර්තා වේ.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 14.6% ක් වන අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශතය වන 7% ට වඩා බොහෝ සෙයින් වැඩිය.
මේ අතර නිවාස ණයක් සහිතව නිවසක් හිමි ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 15,725 ක් සිටින අතර එය ප්‍රතිශතයක් ලෙස 52% කි.

ඔස්ට්‍රේලියාවේ එම ප්‍රතිශතය 35% කි.

එමෙන්ම නිවාස කුලියට ගෙන ජීවත්වන සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 11,328 ක් සිටින අතර එය 37.4% කි.

නිවාස ණයක් නොමැතිව සම්පුර්ණයෙන්ම නිවසක හිමිකාරීත්වය ඇති සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් සංඛ්‍යාව 2,739 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 9.1% කි.



Share
Published 7 July 2022 1:07pm
Updated 7 July 2022 1:10pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends