අන්තර්ජාතික සිසුන් මුහුණ දුන් ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල කීර්තිය තර්ජනයට ලක්වෙයි (SBS සිංහල/වාර්තා)

A gathering at Latrobe University to pay tribute to international student Aiia Maasarwe who was studying there before she was murdered

A gathering at Latrobe University to pay tribute to international student Aiia Maasarwe who was studying there before she was murdered Source: AAP

අන්තර්ජාතික සිසුන් තමන්ගේ අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාව තෝරා ගැනීමට ප්‍රධානතම හේතුවක් වන්නේ සුරක්‍ෂිත සංචාරක රටක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටීමයි.


නමුත් මෑතකදී මෙල්බර්න්හි අන්තර්ජාතික සිසුන් ඉලක්ක කර ගෙන සිදුවෙන කොල්ලකෑම් සහ පහරදීම් නිසා ඔස්ට්‍රේලියාවේ සුරක්‍ෂිතභාවය පිලිබඳ වූ කීර්තිය තර්ජනයට ලක් වී තිබෙයි. එසේම ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් අන්තර්ජාතික සිසුන් අදායම් මාර්ග ලෙස පමණක් විශ්වවිද්‍යාල දැකීම හුවා දැක්වීම නිසා මෙම තත්වය උග්‍ර වී තිබෙයි.


SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (Free download)


අන්තර්ජාතික සිසුන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයෙහි වටිනා සම්පතක් බව නොරහසකි. 2017 - 2018 මූල්‍ය වර්ෂය තුලදී අන්තර්ජාතික සිසුන් 500,000 කට අධික ප්‍රමාණයක් ඩොලර් බිලියන 32ක් ආර්ථිකය තුලට ගෙනා බව සඳහන්.
අන්තර්ජාතික සිසුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ක්ෂේස්ත්‍රය ඔස්ට්‍රේලියාවේ තුන්වෙනි විශාලතම අපනයන අදායම් මාර්ගය ද වෙයි.
Universities Australia සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී  Anne-Marie Lansdown පවසනුයේ අන්තර්ජාතික සිසුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ක්ෂේස්ත්‍රය පිලිබඳ ඔස්ට්‍රේලියානුවන් ආඩම්බර විය යුතු වගේම එය ආරක්ෂා කිරීමටද  තරයේ ක්‍රියා කල යුතු බවයි.

මෙල්බර්න්හි ප්‍රහාර වාර්තා වූ සැනින්ම එයට ප්‍රතිචාර දක්වමින්, අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය හා විශ්ව විද්‍යාල එක්ව ක්‍රියා කරනා බව අධ්‍යාපන ඇමති Dan Tehan පැවසූවේය.

අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව සඳහා ඇති නීතිමය රාමු

අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව සඳහා විවිධ නීති රාමු තිබෙන අතර ඉන් වැදගත් තැනක් 2018 වසරේදී නිකුත් වූ National Code of Practice for Providers of Education and Training to Overseas Students ආචාරධර්ම පද්ධතිය හිමි කරගෙන තිබෙයි. මේ යටතේ අන්තර්ජාතික සිසුන් හට අධ්‍යාපනය ලබාදෙන සියළුම ආයතන තමන් අධ්‍යාපනය ලබන පරිශ්‍රයේහි මෙන්ම ඔස්ට්‍රේලියාව තුලදී ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධ තොරතුරු ලබාදීම අනිවාර්ය වී ඇත.
එසේම මෙම ආචාරධර්ම පද්ධතිය යටතේ සිසුන් සඳහා උපකාරක සේවා ලබාදීමට කාර්ය මණ්ඩලයක් මෙන්ම විවිධ සේවා තිබිය යුතු බවද සඳහන්. සිසුන් මුහුණ දෙන ලිංගික, ශාරීරික සහ වාචික හිංසන වැනි බරපතල සිද්ධීන් සඳහා ප්‍රතිචාර දක්වන සේවා මෙන්ම මානසික සෞඛ්‍ය සේවා එම සේවා සඳහා උදාහරණයන් වෙයි.
විශ්වවිද්‍යාල මඟින් විශ්වවිද්‍යාල භූමිය තුල සිසුන්ගේ ආරක්ෂාව පිණිස CCTV කැමරා, හදිසි දුරකථන ස්ථාන මෙන්ම සක්‍රීය ආරක්ෂක මුර සංචාර සංවිධානය කර තිබුනද අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව විශ්වවිද්‍යාල භූමියෙන් පිටතදී තර කිරීම අභියෝගයක් වී තිබෙයි.

Getty Images
Source: Getty Images

විශ්වවිද්‍යාල භූමියෙන් පිටතදී සිසුන් මුහුණ දෙන ආරක්ෂක ගැටලු

බොහොමයක් සිසුන් අන් අයගේ ගොඳුරු බවට පත්වූ බව වාර්තාකර තිබෙනුයේ පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීමේදීයි. දේශීය මෙන්ම අන්තර්ජාතික සිසුන්ගේ සහභාගීත්වය ඇතිව කල මෙල්බර්න් හි අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනුයේ 80% පමන කාන්තා සිසුන් අනවශ්‍ය ලිංගික ඉරියව්, අදහස්, ක්‍රියා හෝ හිංසනයන්ට පසුගිය වසර 3 තුලදී භාජනය වී ඇති බවයි. එසේම 50% කට වැඩි පිරිමි සිසුන්ද හිංසනයන්ට භාජනය වූ බව වාර්තා වෙයි.

මෙයට ප්‍රතිචාර ලෙස කාන්තා සිසුන් විසින් තමන් යන එන පොදු ප්‍රවාහන මාර්ගය වෙනස් කිරීම සේම නිතරම අවධානයෙන් පසුවීම ආදී ක්‍රියා පිලිවෙත් අනුගමනය කර ඇත.
අධ්‍යනය මේ සම්බන්ධයෙන් හෙළිකල සිතට ගත යුතු කරුණක් වනුයේ හිංසනයන්ට භාජනයවූ සිසුන්ගෙන් 5.7% ක් පමණක් තමන්ගේ අත්දැකීම් පිළිබඳව බලධාරීන්ට වාර්තා කිරීමයි.
රාත්‍රී කාලයේදී තනිව ගමන් කිරීමේ අවදානම පෙන්වන කණගාටුදායී උදාහරණයකි 21 හැවිරිදි Aiia Maasarwe ගේ ලිංගික දූෂණය සහ ඝාතනය. ඇය මෙම සිද්ධියට මුහුණ පෑවේ ට්‍රෑම් රථයෙන් නික්මව Bundoora හි La Trobe විශ්වවිද්‍යාල අසල පිහිටි තම නිවස කරා යාමේදීයි.
Police search for attacker who struck on same night as murder of Aiia Maasarwe
Attacker of Aiia Maasarwe Source: AAP
එසේම දේශීය සිසුන් හා සැසදීමේදී අන්තර්ජාතික සිසුන් තමන් මුහුණ දුන් අනාරක්‍ෂිත තත්වයන් වර්තා කිරීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බව ද වෙනත් අධ්‍යනයකින් අනාවරණය වී ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියා අවස්ථාවාදී විය හැකි අතර රාත්‍රියේදී ගමන් කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිතය වැනි පාරිසරික සාධකද සිසුන් මුහුණ දෙන අවදානම ඉහළ නංවයි.

සිසුන් මුහුණ දෙන අවදානම අවම කිරීමට විශ්වවිද්‍යාල වලට කළ හැකි දෑ

ආරක්ෂාව හා සම්බන්ධ තොරතුරු ලබාදීමට Orientation වැඩසටහන් හොඳ අවස්තාවක් ලබාදෙයි. මෙය පොලීසිය සහ වෙනත් සේවා සපයන්නන් විසින් නිර්මාණය කල වීඩියෝ දර්ශන සහ තොරතුරු ඉදිරිපත් කිරීමට මෙන්ම අන්තර්ජාලය හරහා ඕනෑම වේලාවක ප්‍රවේශ විය හැකි සම්පත් හඳුන්වාදීමට යොදා ගත හැකියි.

ජාතික හදිසි ඇමතුම් අංකය වන 000, නිවසින් පිටතට යාමේදී මුදල් ගෙදර තබා යෑම හා විශාල ප්‍රමාණයක් රැගෙන නොයෑම වැනි පුද්ගලික ආරක්ෂක උපදෙස් ද සිසුන්ට ප්‍රයෝජනවත් වෙයි. මේ හේතුවෙන් බොහෝ විශ්වවිද්‍යාල මඟින් හදිසි සහ ආරක්ෂක තොරතුරු ඇතුලත් සම්පත් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීමට mobile apps නිර්මාණය කර තිබෙයි.
නමුත් වසරකට Orientation වැඩසටහන් දෙකක් හෝ තුනක් පමණක් සිදුවීම හා එම වැඩසටහන්හි අනෙකුත් තොරතුරු ගොන්නක් සමඟ සීමිත කාලයක් තුලදී පුද්ගලික ආරක්ෂක උපදෙස් ලබාදීම හේතුවෙන් එය පමණක් සිසුන්ගේ අභිවෘද්ධියට ප්‍රමාණවත් නොවෙයි.
සිතා මතා රාත්‍රීයෙදී ගමන් කිරීම අවම කරවන කාලසටහන් නිර්මාණය කිරීම, බස් හා දුම්රිය වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සමඟ සෘජුව කටයුතු කිරීම සහ පොලිසිය සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගැනීම තුළින් විශ්වවිද්‍යාල වලට සුලභ මහජන ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳිය හැකි වෙයි.

මෙම උපාය මාර්ගයන් විශ්වවිද්‍යාල මගින් තම කාර්ය මණ්ඩලය සහ සිසුන් සඳහා සෞඛ්‍ය, ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන "සෞඛ්‍ය සම්පන්න විශ්ව විද්‍යාල" නිර්මාණය කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයේ කොටසකි.

සිසුන් හට සුරක්‍ෂිතව සිටිය හැකි පරිසරයක් තැනීමේ බලාපොරොත්තු ඇතිව Griffith විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරන It’s On All of Us වැඩසටහන මගින් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට ස්වයං ආරක්ෂක පන්ති ලබා දෙයි. මෙහිදී අවධානය යොමු වී ඇත්තේ ආත්ම ආරක්ෂාව පමණක් නොව, කෙනෙකු අවදානමට ලක්විය හැකි අවස්ථා හඳුනාගැනීම සහ තමන්ට සිදුවිය හැකි හිංසනයන් අවම කර ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ග කුමක්ද යන්න තේරුම් කර දීමයි.
University Orientation Day
University Orientation Day Source: ABC Australia
බොහොමයක් විශ්වවිද්‍යාල තුල MATES (Mentoring and Transition Equals Success) හෙවත් දැනට විශ්වවිද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුන් හා නවක සිසුන් සම්බන්ධ කරන උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. විශ්වවිද්‍යාල මගින් මෙම වැඩසටහන්හි උපදේශකන් වෙත නිසි සම්පත්, පුහුණුක් හා සහයෝගය ලබාදීම තුළින් අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට පහසුවෙන් හැකිය.

ඔස්ට්‍රේලියානූ විශ්වවිද්‍යාල මඟින් ලිංගික අතවර සහ ලිංගික හිරිහැර පිළිබඳව සිසුන් කල්තියාම දැනුවත් කිරීමට Respect. Now. Always. වැඩසටහන ද භාවිතා කරයි.

ඉහත වැඩසටහන් යටතේ අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ පුළුල් වැඩසටහන් ඇති බව පෙනෙයි. එම නිසා දැනට අවශ්‍ය වනුයේ පොලිසිය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ගොඩනගාගත් සාක්ෂි මත පදනම් වූ වැඩසටහනක් බව විශේෂඥ මතයයි.

මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නම් ජාත්‍යන්තර ශිෂ්‍ය කාර්යාලවල ඒ සඳහාම වෙන්වූ කාර්ය මණ්ඩලයක් හා සම්පත් අවශ්‍ය වෙයි.

දැනට අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනයට ලක් කල යුතුයි.

වසර මැද සිසුන් බඳවා ගැනීම දැන් සිදු වෙන අතර ජාත්‍යන්තර සිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමට මෙය කාලෝචිත අවස්ථාවකි.

The Best Places in Australia to Visit in July.
Source: SBS Sinhala

Share
Published 12 July 2019 9:22am
Updated 12 July 2019 9:36am
By Gamidu Agampodi

Share this with family and friends