ලංකාව තුල දෙවැනි ප්‍රහාරයකට අනතුරු ඇඟවීම් සහ පෙර ප්‍රහාර වලට අදාළ පුද්ගලයින්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කෙරේ (SBS සිංහල/වාර්තා)

Sri Lanka attacks

Source: SBS

පාස්කු ඉරිදා (21/04) ශ්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයක පසුවෙයි.

නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට විවිධ අනතුරු ඇඟවීම් මේ වන විටත් මහජනතාවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

මේ වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාරාංශගත සටහනක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Sri Lanka attacks
Source: Facebook

ආරක්ෂක ලේකම් ඉල්ලා අස් වෙයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (25/04) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමබන්ධ වගකීම් විරහිතව ක්‍රියා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙපලට ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා දිනයේ දැනුම් දුන් බව රජයේ ආරංචිමාර්ග වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල ප්‍රහාර සිදුවන බවට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් මහා පරිමාණයේ සිදුවීමක් සිදුවනු ඇතැයි නොසිතූ බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය සඳුදා විදෙස් මාධ්‍ය වෙත පැවසුවේය.

බෝම්බ පිපිරීමට හසුවූ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය නිරීක්ෂණයට පැමිණි විට වීදේශීය මාධ්‍යවේදියෙකු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු එලෙස පැවසුවේය.
Sri Lanka attacks
Source: Daily News

බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කෙරේ.

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා සම්බන්ධ බවට සැලකෙන පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් සහ ඡායාරූප ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඊයේ (25/04) මාධ්‍යය වෙත නිකුත් කළේය.

ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා, අබ්දූල් කාදර් ෆාතිමා කාදියා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට දැනුම් දෙන ලෙසද පවසා තිබේ.

මේ අතර පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් නිකුත් කළ අබ්දූල් කාදර් ෆාතිමා කාදියා ගේ ඡායාරූපය වැරදි එකක් බව පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

අබ්දූල් කාදර් ෆාතිමා කාදියා ගේ ඡායාරූපය ලෙස ඔවුන් නිකුත් කර ඇත්තේ ඇමරිකාවෙි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මුස්ලිම් ක්‍රියාකාරිනියක වන අමාරා මජීඩිගේ ඡායාරූපය වේ.

මේ පිළිබඳ දැනගත් වහාම අමාරා මජීඩි ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මෙම ක්‍රියාවේ බරපතල බව පෙන්වා දෙමින් එය දැඩි ලෙස විවේචනය කර තිබේ.
Sri Lanka attacks
Source: Facebook

ආරක්ෂක තත්ත්වය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව

ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති අනාරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, සියලූ පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පාට පක්ෂ භේදයකින් තොරව සියළුදෙනා එක්වීමේ වැදගත්කම එහිදේ අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හමුවේ ගතයුතු  ක්‍රියාමාර්ග පිළිබද එහිදී දීර්ග වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට මේ වන විට ඇතිවී ඇති ගැටලුව විසඳාගැනීමට විශාල ජාත්‍යන්තර සහයක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරන බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

මෙම අර්බුදය විසඳීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ශක්තිය ඇති බවත් එය පසුගිය කාලයේ මනාව ඔප්පු කර ඇති බවත් එනිසා විදේශ ආරක්ෂක අත පෙවීම් මෙහිදී අවශ්‍ය නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ පැවසීය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්තාව  මෙය බව අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව බාර ආයතන ප්‍රතිව්‍යුහගත කර ජාතික ආරක්ෂාව සුදුසුකම් සහිත පුද්ගලයින්ට බාර දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ එහිදී පැවසුවේය.
Sri Lanka attacks
Source: Daily News

ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු බාරගන්නේ නැහැ.

පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු තමන් භාර ගැනීමට සූදානම් නොමැති බව ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පවසයි.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මේ අතර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් තම මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බවද ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකික මුස්ලිම්වරුන් අතීතයේ සිට මේ දක්වා කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු කර නොමැති බවත් ත්‍රස්ත ක්‍රියාවලට අනුබලදී නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.
Sri Lanka attacks
Source: Facebook

තවත් බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම්

මේ සති අන්තයේදී තවත් බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට ශ්‍රී ලංකා රජය අනතුරු අඟවා ඇති බවට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වාර්තා කරයි.

අද (26/04) පටන් ඉදිරි දින කිහිපය තුළදී ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ප්‍රහාර එල්ල වීමේ ඉඩක් ඇති බවට ශ්‍රී ලංකා රජය අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන, ප්‍රවාහන මර්මස්ථාන, වෙළෙඳපොළ, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන, හෝටල්, සමාජ ශාලා, අවන්හල්, ආගමික ස්ථාන, උද්‍යාන, විවිධ සංස්කෘතික සංදර්ශන, ගුවන් තොටුපොළ සහ අධ්‍යාපනික ස්ථාන වලට කිසිදු දැනුම්දීමකින් තොරව හෝ කෙටි දැනුම් දීමකින් අනතුරුව නැවතත් ප්‍රහාර එල්ල කිරීමේ අවදනාමක් ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවිය වාර්තා කාරයි.
Sri Lanka attacks
Source: Daily News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය

වත්මන් යහපාලන රජය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවලංගු කිරීමට දරන උත්සාහය නවතා නැවතත් ඒ පිළිබඳ සිතා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධව යහපාලන රජය අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවූ බව The Island පුවත්පතට ඔහු පැහැදිලි කරයි.

මෙම ප්‍රහාර ආරක්ෂක අංශ එල්ල කරමින් නොව මහජනතාව එල්ල කරමින් සිදුකළ ඒවා බවත් ඔහු පෙන්වා දෙයි.

වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවලංගු කිරීමට දරන උත්සාහය නවතා එය අදට ගැලපෙන අන්දමින් ශක්තිමත්ව සංශෝධනය කළ යුතු බව මහාචාර්ය ජී. එල්. පීරිස් අවධාරණය කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 April 2019 12:21pm
Updated 26 April 2019 12:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends