ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵලය ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳපොළට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)

property market

Source: AAP

පසුගිය මැයි 18 වන දින පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව බොහෝ දෙනෙකු දැඩි අවධානයෙන් සිටියි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

විශේෂයෙන්ම ලිබරල් සන්ධාන රජය නැවත වරක් බලයට පත්වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ ක්ෂේත්‍රය කුමන අන්දමේ වෙනස්කම් වලට භාජනය ඇතැයිද බොහෝ දෙනා තුළ ප්‍රශ්න මතුවෙමින් පවතී.
property market
Source: Getty Images

නිවාස හා දේපළ මිල ගණන්

ඔස්ට්‍රේලියාවේ පවතින ආර්ථික තත්ත්වය මෙන්ම පළමු නිවාසය මිලට ගන්නන් හට මධ්‍යම රජයෙන් ලබාදීමට පොරොන්දුවූ විශේෂ සහනය සමග ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල ගණන් කැපී පෙනෙන ලෙස පහත නොවැටෙනු ඇති බව Commonwealth බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Gareth Aird, ඔස්ට්‍රේලියාවේ ප්‍රකට නිවාස හා දේපළ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවියට පවසා තිබේ.

මේ අතර මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළ උපරිමව 25% කින් පමණ පහළ බසිනු ඇති බවට අනාවැකි පළ කළ හැකි බව AMP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පවසයි.

මේ වන විටත් එය 20% මට්ටමට ආසන්නයේ පවතියි.

නමුත් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළ පිළිබඳව සුබවාදී චිත්‍රයක් ගොඩනැගෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන් negative gearing සහ capital gains tax පිළිබඳ තිබූ සැකය සහ බිය සමාජයෙන් තුරන් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ඔහු පැහැදිලි කළේය.
property market
Source: AAP

නිවාස හා දේපල වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපල වෙළෙඳපොල පිළිබඳ ලිබරල් සන්ධානයේ ප්‍රතිපත්ති සමග බලන කළ පළමු නිවාස මිලට ගන්නන් සහ ආයෝජකයින් නිවාස හා දේපල වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය වෙත සාධනීයව සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්වාස කළ හැකි බව Domain ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පැවසීය.

කම්කරු පක්ෂය බලයට පත්වුවානම් ඔවුන්ගේ negative gearing සංශෝධනයට පෙර ආයෝජකයින් නිවාස හා දේපළ මිලට ගැනීමට වැඩි වශයෙන් පෙළඹීම නිසා 2019 දී නිවාස හා දේපල වෙළෙඳපොල ක්‍රියාකාරී වුවද 2020 දී එය නැවතත් දුර්වල වීමට ඉඩක් පැවතුනු බවද ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් ක්‍රමවේදයට අනුව දැනට නිවසක් හිමි ධනවතුනට negative gearing හරහා සහයක් ලැබුනත්, නිවාස වෙළද පොලට එක්‌ වීමට වෙර දරන අයට එය අවාසිදායක බව කම්කරු පක්ෂයේ මතය විය.

ඒ අනුව කම්කරු රජයක් බලයට පත් වුව හොත් වසර 2020 ජනවාරි 1 වැනිදා සිට නව ආයෝජන දේපොළ වලට negative gearing සහන ලබා නොදෙන බවට ඔවුන් තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරයේ පැහැදිලිව සඳහන් කළේය.

නමුත් negative gearing ඉවත් කල හොත් නිවාස කුලී මිල ඉහල ගොස් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව මැතිවරණයට පෙර සිටම ලිබරල් සන්ධානය පැවසීය.

මෙම බදු සහනය නොමැතිව ආයෝජකයන් විසින් කුලියට දීම සඳහා නිවාස මිලදී නොගන්නා බැවින් නිවාස කුලී මිල ඉහල යන බවද ඔවුන් පැවසීය.
property market
Source: Pixabay

First-home buyers

ලිබරල් සන්ධානය විසින් මැතිවරණයට පෙර First-home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට ලබා දුන් පොරොන්දුව නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

තරුණ ඔස්ට්‍රේලියානුවාසීන්ට නිවාසයක් මිලට ගැනීමේදී ආර්ථික පහසුකම් සැලසීම ලිබරල් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය.

ඒ අනුව ලිබරල් රජයක් නැවත බලයට පත්වුවහොත් පළමු නිවාසය මිලට ගන්නන් හට නිවාස ණයක් ලබාගැනීමේදී මූලික තැන්පතුව ලෙස මුදල් ගෙවිය යුත්තේ අදාළ නිවසේ වටිනාකමින් 5% ක් පමණක් වෙයි.

ඔස්ට්‍රේලියාවේ වතමන් නිවාස ණය ක්‍රමයේ ඇති දැඩි නීති සහ මුල්‍ය ක්‍රමයන් මධ්‍යයේ මෙය පළමු නිවාසය මිලට ගන්නන් හට විශාල සහනයක් බව අගමැති මොරිසන් මැතිවරණයට පෙර පැවසීය.

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙද පොළ ඇතුළු ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙද පොළ 2018 වසරට පෙර ඉතා ශීග්‍ර නැග්මකට ලක්වුණු අතර ඒ හේතුවෙන් තම පළමු නිවාසය මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට සුබාදායී වාතාවරණයක් උදාවුයේ නැත.

එනිසාම ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙද පොළේ first home buyers නියෝජනය ඉතා පහළ මට්ටමක පැවතිණි.
property market
Source: SBS Sinhala

Share
Published 30 May 2019 10:33am
By Madhura Seneviratne

Share this with family and friends