AstraZeneca එන්නතේ ආරක්ෂිතභාවය පිළිබඳ විදෙස් රටවල ගැටලු පැවතියද ඔස්ට්‍රේලියාවේ එය නොකඩවා ලබාදීමට තීරණය කරයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව AstraZeneca එන්නත ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති අතර එය ඔස්ට්‍රේලියාව තුළම නිපදවීමද ආරම්භ කර ඇත.

Australian Chief Medical Officer Paul Kelly addresses the media during a press conference in Canberra on 13 January, 2021.

Australian Chief Medical Officer Paul Kelly. Source: AAP

AstraZeneca කොරෝනා එන්නතේ ආරක්ෂිතභාවය පිළිබඳ තමන්ට විශ්වාස බව ඔස්ට්‍රේලියානු දේශපාලකයින් සහ සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

යුරෝපීය රටවල් කිහිපයක් එහි ඇති ආරක්ෂිත හේතූන් මත AstraZeneca කොරෝනා එන්නත ඔවුන්ගේ ජනතාවට ලබා දීම නතර කර ඇති වකවානුවක ඔස්ට්‍රේලියානු දේශපාලකයින් සහ සෞඛ්‍ය විශේෂඥයෝ මෙලෙස පවසා ඇත.


Highlights

  • AstraZeneca එන්නතෙන් රුධිරය කැටි ගැසීම ඇතුළු බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බවට රටවල් කිහිපයක්ම පැමිණිලි කර තිබේ.
  • ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය මේ වන විට AstraZeneca එන්නත ලබාදීම නතර කර ඇත.
  • යුරෝපා රටවල් AstraZeneca එන්නත ආරක්ෂිත නොවන බව වාර්තා කළද එය ආරක්ෂිත යැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

AstraZeneca කොරෝනා එන්නතේ ආරක්ෂිතභාවය පිළිබඳ ගැටළු

AstraZeneca කොරෝනා එන්නතෙන් බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බවට රටවල් කිහිපයක් පසුගිය සති කිහිපයේම වාර්තා කර ඇත.

රුධිරය කැටි ගැසීම ද එම අතුරු ආබාධ අතර ඇති බවට එම රටවල් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් තම රට වැසියන්ට AstraZeneca කොරෝනා එන්නත ලබාදීම නතර කරන බවට ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පසුගිය සඳුදා (15/03) නිවේදනය කළේය.

AstraZeneca එන්නත ආරක්ෂිත බව ඔස්ට්‍රේලියාවට විශ්වාසයි

යුරෝපා රටවල් AstraZeneca එන්නත ආරක්ෂිත නොවන බව වාර්තා කළ නමුත් AstraZeneca එන්නත ආරක්ෂිත යැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහචාර්ය Paul Kelly පැවසීය.

එමෙන්ම AstraZeneca එන්නතේ අතුරු ආබාධයක් ලෙස රුධිරය කැටි ගැසීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් AstraZeneca එන්නතේ අතුරු ආබාධ ඇතිවීමේ තත්ත්වය සමීපව අධීක්‍ෂණය කරමින් සිටින බවත් ඔස්ට්‍රේලියාව තුළ මෙම එන්නත ලබා දීම නවතා දැමීමට අවශ්‍ය නැති බවත් ඔහු මාධ්‍ය වෙත පැවසුවේය.

ඔස්ට්‍රේලියාව AstraZeneca එන්නත ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති අතර එය ඔස්ට්‍රේලියාව තුළම නිපදවීමද ආරම්භ කර ඇත.

AstraZeneca එන්නතේ මාත්‍රා මිලියන 50 ක් නිපදවීමට ඔස්ට්‍රේලියාව ඉලක්ක කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


රුධිරය කැටි ගැසීම ඔස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන දෙයක්

රුධිරය කැටි ගැසීම ඔස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන දෙයක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහචාර්ය Paul Kelly පැවසීය.

සෑම වසරකම රුධිරය කැටි ගැසීමට මුහුණ දෙන රෝගීන් 17,000 ක් පමණ වාර්තා වන බවත් එබැවින් කොරෝනා එන්නත ලබාදීමේ කාලයේදී පවා එය අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

"AstraZeneca කොරෝනා එන්නත සහ රුධිරය කැටි ගැසීම් අතර නිශ්චිත සම්බන්ධයක් ඇති බව මට පෙනෙන්නේ නැහැ." යනුවෙන් ද මහචාර්ය Paul Kelly පැවසීය.

ඔස්ට්‍රේලියාවේ AstraZeneca  එන්නත ලබාදීමත් සමඟ එන්නත ලබාගත් අයගේ රුධිරය කැටි ගැසීම් වැඩි වීමක් හෝ එවැනි හේතුවක් හා බලපෑමක් ඇති බවට ඇඟවීමක් නොමැති බවට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය හෙවත් [Therapeautic Goods Administration (TGA)] අද (16/03) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


කෙසේවෙතත්, යුරෝපීය ඖෂධ ඒජන්සිය සහ ඖෂධ නියාමන අධිකාරීන්ගේ ජාත්‍යන්තර සන්ධානය හරහා ජාත්‍යන්තරයේ වෙනත් රටවල් සමග නිරන්තරයෙන්ම සන්නිවේදනය කරමින් මේ පිළිබඳ සොයාබලන බව ද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය අදාළ ප්‍රකාශයේ දක්වා ඇත.

සියලු දෙනාගේ ආරක්ෂාව අපගේ පළමු ප්‍රමුඛතාව බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සහ යුරෝපීය බලධාරීන් සමඟ කටයුතු කරමින් AstraZeneca  එන්නත පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව මේ සතිය අගදී අපේක්ෂා කරන බව ද අදාළ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වේ.

එක්සත් රාජධානියේ සහ යුරෝපයේ මේ වන විට මිලියන 17 ක් පමණ පිරිසකට AstraZeneca  එන්නත ලබාදී තිබේ.

එම පිරිසෙන් රුධිරය කැටි ගැසීම් වාර්තා වූ සංඛ්‍යාව සිය ගණනකට වඩා අඩුය.

AstraZeneca එන්නත පිළිබඳ ඔස්ට්‍රේලියානු දේශපාලකයින්ගේ මත

යුරෝපයේ හෝ ඔස්ට්‍රේලියාවේ AstraZeneca එන්නත හා රුධිරය කැටි ගැසීමේ සහසම්බන්ධය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

AstraZeneca එන්නත රුධිරය කැටි ගැසීමට හේතු වූ බවට තහවුරු කිරීමට තවම සාක්ෂි නොමැති අතර එය ආරක්ෂිත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frygenberg ද අවධාරනය කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාව AstraZeneca එන්නත සම්බන්ධයෙන් ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය අනුගමනය කළ යුතු බව නැෂනල්ස් පක්ෂයේ සෙනට් සභික Matt Canavan පැවසීය.

"මෙම එන්නත පිළිබඳ මුළු යුරෝපයම දෙගිඩියාවකට පත්වන විට අපට ඉදිරියට යා හැක්කේ කෙසේදැයි මම නොදනිමි." යනුවෙන් ද ඔහු පැවසීය.


පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


මෙම එන්නත් සම්බන්ධයෙන් සෙනට් සභික Matt Canavan ගෙන් තමන් සෞඛ්‍ය උපදෙස් ලබානොගන්නා බව කම්කරු පක්ෂයේ මන්ත්‍රිනී Tanya Plibersek මාධ්‍යවේදීන්ට පැවසුවාය.

"මිනිසුන් මේ දේවල් පිළිබඳ නිදහසේ කතා කිරීම අතිශයින්ම වගකීම් විරහිතයි." යනුවෙන් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

AstraZeneca එන්නත සම්බන්ධයෙන් ඇතිවී ඇති මෙම තත්ත්වය පිළිබඳ කලබල නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ විද්‍යාඥවරියක් වන Souyma Swaminathan පවසා තිබේ.

Share
Published 16 March 2021 7:13pm
Updated 12 August 2022 3:11pm
By Emma Brancatisano, Madhura Seneviratne


Share this with family and friends