අපරාධ හමුවේ සිඩ්නි නුවර අභිබවා මෙල්බන් නුවර ඉදරියට පැමිණ තිබෙන බව නවතම දත්ත පෙන්වා දෙයි. (SBS සිංහල/වාර්තා)

2016 වසරේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අපරාධ වලට ගොදුරුවූවන් ගේ සමීක්ෂණයට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ නීති විරෝධී ඇතුළුවීම් 52,700 ක් වාර්තා වී ඇති නමුත් එය 2010 වන විට පැවතියේ 44,400 ක මට්ටමේ බව පැවසේ.

Melbourne becomes more violent than Sydney.

Source: SBS

ආයුධ සන්නද්ධ කොල්ල කෑම් සහ නීති විරෝධී ඇතුළුවීම් යන අපරාධ හමුවේ සිඩ්නි නුවර අභිබවා මෙල්බන් නුවර ඉදරියට පැමිණ තිබෙන බව ඔස්ට්‍රේලියාවේ “The Age” පුවත් පත වාර්තා කරයි.

2016 වසරේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අපරාධ වලට ගොදුරුවූවන් ගේ සමීක්ෂණයට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ නීති විරෝධී ඇතුළුවීම් 52,700 ක් වාර්තා වී ඇති නමුත් එය 2010 වන විට පැවතියේ 44,400 ක මට්ටමේ බව පැවසේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම අගය 59,700 සිට 41,200 දක්වා පහත බැස තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආයුධ සන්නද්ධ කොල්ල කෑම් 1400 සිට 1900 දක්වා ඉහළ ගොස් ඇති නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම අගය 2150 සිට 1070 දක්වා පහත බැස ඇත.

නමුත් ඒ ඒ ප්‍රාන්තයේ ජනගහනයට සාපේක්ෂව ගත් කළ මෙම වෙනස්කම් තවත් තීව්‍ර වන බව පෙනේ.

2016 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජන සංඛ්‍යාව 100,000 කට නීති විරෝධී ඇතුළුවීම් වල ගොදුරු 869 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම අගය 533 කි.

2016 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජන සංඛ්‍යාව 100,000 කට ආයුධ සන්නද්ධ කොල්ල කෑම් වල ගොදුරු 26 සිට 32 දක්වා වර්ධනය වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම අගය 30 සිට 14 දක්වා පහත බැස ඇත.

මෙම දශකය ආරම්භවත්ම ආයුධ සන්නද්ධ කොල්ල කෑම් ඔස්ට්‍රේලියාව පුරා අඩු වීමක් දක්නට ලැබුණු නමුත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ එය 34% කින් ඉහළ නැග තිබේ.

ඔස්ට්‍රේලියාව පුරා නීති විරෝධී ඇතුළුවීම් 9% කින් අඩුවී ඇති අතරේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ එය 19% කින් වැඩිවී ඇත.

පසුගිය කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෝටර් රථ සොරා ගැනීම් 55% කින් ඉහළ ගොස් ඇති අතර එය අගයක් වශයෙන් ගත් කල 12,270 සිට 19,020 දක්වා වැඩිවීමකි.

මේ අතර ඔස්ට්‍රේලියාව පුරා මෝටර් රථ සොරා ගැනීම් 23% කින් ඉහළ නැග තිබේ.

ඔස්ට්‍රේලියාව පුරා ලිංගික අඩන්තේට්ටම් වල 22% ක ප්‍රතිශතයක් වැඩිවී ඇති අතර එය අගයක් වශයෙන් ගත් කළ 18,860 සිට 23,050 දක්වා වැඩි වීමකි.

වික්ටෝරියා ප්‍රාන්තයේ එම අගය 3630 සිට 5380 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 48% ක වැඩි වීමකි.

නමුත් අපරාධ පරීක්ෂණයේදී වික්ටෝරියා ප්‍රාන්තය සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම ඉදිරියෙන්ම සිටින අතර 42% ක අපරාධ වල සුල මුල සොයා එය දින 30 ක් ඇතුළත අවසන් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තයට හැකියාව ලැබී තිබේ.

නමුත් එම ප්‍රතිශතය සමස්ත ඔස්ට්‍රේලියාවේම ගත් කළ 29% කි.

Share
Published 6 July 2017 11:51pm
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends