නිරෝධායනයට ලක් කරන්නේ රෝගී වූ පිරිස්ද? Self Quarantine හා Self Isolation යන ක්‍රියාවලි දෙකම එකක්ද? (SBS සිංහල/ විමර්ශන)

Quarantine

Source: Getty Images

කොරෝනා වසංගතය ලොව පුරා මේ වන විටත් බරපතල ලෙස පැතිර යමින් තිබේ.

මෙම තත්ත්වයත් සමග නිරෝධායනය (Quarantine), ස්වයං නිරෝධායනය (Self Quarantine) සහ හුදකලා කිරීම (Self Isolation) වැනි වචන අපට නිරතුරුවම ප්‍රවෘත්ති හරහා අසන්නට ලැබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම සංසිද්ධීන් එකිනෙකට වෙනස් වන්නේ කෙසේද සහ ඒවායේ ක්‍රියා පිළිවෙත් මොනවාද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිසි වැටහීමක් නොමැති බව පෙනී යයි.

එනිසාම මෙම නිරෝධායන ක්‍රියාවලි සම්බන්ධව සමාජයේ විවිධ දුර්මත ද ඇතිවී තිබේ.

නිරෝධායනය (Quarantine), ස්වයං නිරෝධායනය (Self Quarantine) සහ හුදකලා කිරීම (Self Isolation) යන ක්‍රියාවලි පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Quarantine
Source: AAP

නිරෝධායනය (Quarantine) යනු කුමක්ද?

යම් කිසි රෝගයක් හා සම්බන්ධ බවට සැක කරන නමුත් එම රෝගය වැළදී නොමැති පුද්ගලයෙකු හෝ පිරිසක් සමාජයෙන් වෙන්කොට තැබීම නිරෝධායනය (Quarantine) ලෙස හැඳින්වේ.

බොහෝ විට මෙවැනි නිරෝධායනය කටයුතු සිදු කෙරෙනුයේ වයිරස්, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් හරහා පැතිරෙන වසංගත රෝගී තත්ත්ව පාලනය කිරීම සඳහාය.

මෙලෙස නිරෝධායනයට ලක්වන පිරිස් සම්මතයට අනුව අවමව දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
එමෙන්ම එම කාල සීමාව තුළදී නිරෝධායනයට ලක්වන පිරිස් හට තම රැකියා වලට, පාසල් වලට, විශ්ව විද්‍යාල වලට යාම තහනම් වන අතර බාහිර සමාජයත් සමග භෞතික ගණුදෙනු කිරීම තහනම් වේ.

ඔවුන් හට අවශ්‍ය ආහාර පාන, සනීපාරක්ෂක සේවා වැනි දෛනික අවශ්‍යතා අදාළ අංශ මගින් සපයනු ලබයි.

නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටින පුද්ගලයින් හට එම නිරෝධායන මධ්‍යස්ථානයේ මෙන්ම එම භූමියේ සැරිසැරිය හැකි නමුත් ඉන් පිටත සීමාවට යා නොහැකි බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය පැවසුවාය.
Quarantine
Source: Getty Images

නිරෝධායනයට ලක්වන පිරිස් රෝගීන් ද?

නිරෝධායනයට ලක්වන පිරිස් අදාළ වසංගත රෝගය වැළඳුනු අය කියා බොහෝ දෙනාගේ විශ්වාසයක් පවතී.

නමුත් එය එසේ නොවන බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

නිරෝධායනයට ලක්වන පිරිස් හට එම වසංගත රෝගය වැළදී නොමැති නමුත් එම රෝගය තිබේ යයි සැක කිරීම නිසා ඔවුන්ව දින 14 ක කාලයක් සමාජයෙන් වෙනකොට තබයි.

මන්ද කොරෝනා වැනි රෝගී තත්ත්වයක රෝග ලක්ෂණ මතුවීම සඳහා දින 14 ක පමණ කාලයක් යන නිසාවෙන් එලෙස දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරේ.
නිරෝධායනයට ලක් කෙරෙන විට ඖෂධ ලබා දීමක්ද සිදු නොකරන බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

නමුත් අදාළ පුද්ගලයින් දෛනිකව ගනු ලබන යම් ඖෂධ ඇත්නම් ඒවා සුපුරුදු පරිදි නිරෝධායන කාල සීමාව තුළ ගත යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
Quarantine
Source: AAP

ස්වයං නිරෝධායනය (Self Quarantine) සහ හුදකලා කිරීම (Self Isolation) යන දෙකම එකක්ද?

නිරෝධායනයට අමතරව ස්වයං නිරෝධායනය (Self Quarantine) සහ හුදකලා කිරීම (Self Isolation) යන වචනද මෙම කාලයේදී අපට නිරතුරුවම අසන්නට ලැබේ.

ස්වයං නිරෝධායනය (Self Quarantine) සහ හුදකලා කිරීම (Self Isolation) යන ක්‍රියාවලි ද්විත්වයම එකක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන නමුත් එම ක්‍රියාවලි දෙකෙහි වෙනසක් ඇති බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මාර්තු 16 සිට විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයක නිරත විය යුතු බවත් එය උල්ලංඝනය කරන පුද්ගලයින් හට දඩ මුදල් හා සිර දඬුවම් පනවන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය ඉරිදා (15/03) නිවේදනය කළේය.

ඒ අනුව යම් කිසි පුද්ගලයෙකු තම වාසස්ථානයේදීම දින 14 ක කාලයක් නිරෝධායනයකට ලක්වීම ස්වයං නිරෝධායනය ලෙස හැඳින්වෙන බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය  පැහැදිලි කළාය.

එය තමන්ගේ නිවසේ හෝ රැදී සිටින හෝටලයේ හෝ විය හැකිය.
අදාළ දින 14 ක කාලය තුළ ස්වයං නිරෝධායනයක නිරතවන පුද්ගලයෙකු බාහිර පුද්ගල සබඳතා නතර කළ යුතු අතර පොදු ස්ථාන වලට යාමෙන් අනිවාර්යෙන් වැළකිය යුතු වේ.

ඒ අනුව අදාළ පුද්ගලයින් හට රැකියා ස්ථානයට යාම, පාසලට යාම, විශ්ව විද්‍යාලයට යාම, ළමා සුරැකුම් මධ්‍යස්ථානයට යාම තහනම් වේ.

ඔවුන්ට තම නිවසේ සිටින අනික් පුද්ගලයින් සමග පමණක් ගණුදෙනු කළ හැකිය.

ස්වයං නිරෝධායනයක නිරතවන පුද්ගලයෙකු සමග සිටින පවුලේ උදවිය ස්වයං නිරෝධායනයක නිරත වීමට අවශ්‍ය නොවන නමුත් යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් එම පියවර අනුගමනය කළ යුතු වේ.

නිරෝධායනය කරනුයේ අදාළ රෝගය වැළදීමට ප්‍රථමව වන අතර එම රෝගය වැළදී ඇත්දැයි නිශ්චිතව තහවුරු වූ විට එම රෝගියාව වෙනමම වෙන් කොට තැබීම හුදකලා කිරීම (Isolation) ලෙස හැඳින්වෙන බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
Quarantine
COVID-19 confirmed case must be isolated to avoid infecting the healthy Source: Pixabay

නිරෝධායන කාල සීමාවෙන් පසුව නිරෝධායනයට ලක්වූ පුද්ගලයින්ට ඇති වගකීම

නිරෝධායන කාල සීමාව දින 14 ක් වුවද රෝගය අදාළ පුද්ගලයාට වැළදී නැති බව නිසැකවම නිශ්චිතවම කිව නොහැකි බව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මන්ද මේ දිනවල පැතිරෙන කොරෝනා වයිරසය සම්බන්ධව දින 14 කටත් පසුව රෝග ලක්ෂණ මතුවූ පුද්ගලයින් පිළිබඳ විවිධ රටවලින් අසන්නට ලැබුණු බව ඇය පෙන්වා දුන්නාය.

එනිසාම නිරෝධායනයට ලක්වූ පිරිස් රෝග ලක්ෂණ මතුවේ දැයි සෑම විටම සෝදිසියෙන් සිටිය යුතු බව ඇය සඳහන් කළාය.

යම් හෙයකින් එවැනි රෝග ලක්ෂණ දින 14 කට පසුව මතුවුවහොත් වහාම තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී වෛද්‍යවරයාව දැනුවත් කර ඔහුගේ උපදෙස් අනුව ඔහුව හමුවීමට යා යුතුය.

මන්ද සමාජයේ අනෙක් පිරිස් වෙත මෙම වසංගත රෝගය බෝ නොකිරීමට එම රෝගී පුද්ගලයින්ට විශාල සමාජ වගකීමක් ඇති බවද මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
Quarantine
Source: SBS Sinhala

Share
Published 19 March 2020 1:43pm
Updated 19 March 2020 2:15pm
By Madhura Seneviratne
Source: SBS Sinhala

Share this with family and friends