Exclusive

ඔස්ට්‍රේලියාවේ අනතුරු වලට ලක්වන වැඩිහිටියන්ට රොබෝ තාක්ෂණයෙන් උදව් වන ක්‍රමයක් සොයාගත් ශ්‍රී ලාංකිකයා SBS සිංහල සේවයට කියූ කතාව

Robotic vision for elderly fall recovery යන මාතෘකාව යටතේ සිය පශ්චාත් උපාධි පර්යේෂණය කෘතිම බුද්ධිය යොදා ගනිමින් සිදු කළ ආචාර්ය කළණ විතානගේ මේ වනවිට සිය ආයතනය හරහා Australia Defence වෙත සේවය ලබා දෙමින් කටයුතු කරයි. SBS සිංහල සේවය ඔහු සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.

Dr.Kalana Withanage with a mind controlling robot at an exhibition

Dr.Kalana Withanage with a mind controlling robot at an exhibition Source: Supplied-Kalana Withanage

කෘතිම බුද්ධිය යොදා ගනිමින් රොබෝ තාක්ෂණය ඔස්සේ සිය පශ්චාත් උපාධිය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී පර්යේෂණයේ තොරතුරු හෙළි කරමින් ආචාර්ය කලණ විතානගේ මහතා SBS සිංහල ගුවන් විදුලිය සමඟ කතාබහට එක් වූවා.


Highlights

  • පශ්චාත් උපාධි පර්යේෂණයේ ඇති වැදගත්කම සහ සුවිශේෂීතාවය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම
  • පර්යේෂණයේ ප්‍රතිදාන හා වෙනත් යෙදීම් ගැන අනාවරණයක්
  • පර්යේෂණය සිදු කරන විට මුහුණ දුන් අභියෝග හා ඒවා ජය ගත් ආකාරය
  • වෘත්තීය කුසලතා වෙනුවෙන් ලැබුණු සම්මාන සහ ඇගයීම්
  • රොබෝ තාක්ෂණය කෘතිම බුද්ධිය වැනි උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති නව ප්‍රවණතා ගැන පැහැදිලි කිරීමක්
 

ආචාර්ය කලණ විතානගේ මහතාගේ පර්යේෂණයේ මූලික දිශානතිය වී ඇත්තේ වැටීමකට ලක් වන වැඩිහිටියන්ට රොබෝ තාක්ෂණය යොදාගෙන උපකාර කරන්නේ කොයි ආකාරයෙන් ද යන්නයි. සිය පර්යේෂණයේ දිශානතිය පිළිබඳ වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරමින් ආචාර්ය කලණ විතානගේ පවසා සිටියේ මෙසේ රෝබෝවරයෙකු, වැටුණු වැඩිහිටියකුට භෞතික වශයෙන් උදවු කිරීමට පෙර, රොබෝ විසින් සිය කැමරා පද්ධතිය භාවිතයෙන් වැටුණු පුද්ගලයාගේ හැසිරීම් සහ ක්‍රියාකාරිත්වය නිසියාකාරව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන බවයි.

ඔහු සිය පශ්චාත් උපාධි පර්යේෂණය මෙහෙයවා ඇත්තේ, රොබෝගේ කැමරා භාවිතයෙන් වැටුණු පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සහ ඉරියව් හඳුනා ගන්නේ කෙසේද යන්න සහ එම පුද්ගලයාට ආරක්ෂාකාරීව නැවත නැගිටීම සඳහා කෘතිම බුද්ධිය යොදාගනිමින් උපකාර කරන්නේ කොයි ආකාරයකින් ද යන්න සොයා ගැනීමටයි.
Robotic assistance during a fall
Robotic assistance during a fall Source: Supplied-Kalana Withanage

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

පර්යේෂණයේ වැදගත්කම

ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වර්ධනය වන වැඩිහිටි ජනගහණය, බොහෝ විට සිය සැදෑ සමය ස්වාධීනව තම නිවෙස් වල හෝ වැඩිහිටි නිවාස වල ගත කරයි. පූර්ව පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ එම වැඩිහිටි ජනතාව නිරන්තරයෙන් වැටීම් වලට ලක්වන බවයි. සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ මෙවැනි අනතුරු 80,000 ක් පමණ සිදු වන අතර එයින් 1000ක් පමණ දෙනා මරණයට පත් වන බවත් , මෙසේ අනතුරට ලක්වන වැඩිහිටියන්ට රෝහල් ප්‍රතිකාර ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් පමණ වසරකට වැය වන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙවැනි වැඩිහිටි අනතුරු සහ මරණ වලින් සියයට හැටක් නැවත නැවතත් වැටීම නිසා සිදු වන බවත් පළමු අවස්ථාවේදීම ආරක්ෂාකාරීව නැගිටීමට ඉඩ සැලසිය හැකි නම්, මෙම අනතුරු වළක්වා ගත හැකි බවත් ඔහු පවසයි. මේ හේතුවෙන් , මෙම වැටුණු වැඩිහිටියන්ට ආරක්ෂිතව නැගිටීමට උපදෙස් දෙන රොබෝවරුන් ජීවිත ආරක්ෂකයන් වනු ඇති බව ආචාර්ය විතානගේ මහතා පෙන්වා දුන්නේ සිය පර්යේෂණයේ ඇති වැදගත්කම තහවුරු කරමින්

පර්යේෂණයේ සුවිශේෂීතාවය

ඔහුගේ මෙම පශ්චාත් උපාධි පර්යේෂණය ඇති සුවිශේෂීතාවය පැහැදිලි කරන මෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් ඇසූ පැනයට පිළිතුරු සපයමින් ආචාර්ය කළණ විතානගේ මහතා පවසා සිටියේ මෙවන් අදහසක්.
මෙම පර්යේෂණය සිදු කළ 2013-2018 කාල වකවානුවේදී, වැඩිහිටියන් වැටුණු විට හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය දියුණු වී තිබුණත්, වැටුණු පුද්ගලයෙකුට රොබෝ තාක්ෂණය යොදා ගනිමින් වැටුණු තැන සිට නැගිටීම දක්වා උපකාර කරන්නේ කෙසේද යන්න පර්යේෂණ සිදු කර තිබී නැහැ. ඒ අනුව ඔහු පවසන්නේ මෙම පර්යේෂණය ඒ හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ පර්යේෂණයක් වන බවයි.
තවදුරටත්, පර්යේෂණය සිදු කළ ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම පර්යේෂණය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වූ බවයි. ඒ අනුව, රොබෝ සහ කෘතිම බුද්ධිය සම්බන්ධ තාක්ෂණික කණ්ඩායමක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් භෞත චිකිත්සක කණ්ඩායමක් සහ biomachanics කණ්ඩායමක් ද මෙම පර්යේෂණයට දායකත්වය දී තිබේ.

මෙම පර්යේෂණයේ මුල් අදියරේදී, වැඩිහිටි වැටීම් පිළිබඳ ඉරියව් අධ්‍යයනය කිරීම සඳහා biomachanics විද්‍යාගාරයක් තුලදී, පර්යේෂණයට බඳවාගත් පුද්ගලයින් 15 දෙනෙකු සමායෝජිත වැටීමේ හා ආරක්ෂිතව නැගිටීමේ ක්‍රියාවලියට භාජනය කර විවිධ කැමරා උපාංග මගින් ඔවුන්ගේ ඉරියව් පටිගත කර තිබෙන අතර එමගින් ලබා ගත් දත්ත, පසුකාලීනව අධ්‍යයනය සඳහා යොදා ගෙන තිබේ.

එසේ රැස් කළ මෙම දත්ත කට්ටලය, මේ හා සමානව රැස් කළ පළමු දත්ත කට්ටලය වීමත් මෙම පර්යේෂණයේ සුවිශේෂීතාවයක් වේ.
An elderly research participant undertaking a recording session
An elderly research participant undertaking a recording session Source: Supplied-Kalana Withanage

පර්යේෂණයේ ප්‍රතිදාන හා වෙනත් යෙදීම්

මෙම පර්යේෂණයේ ප්‍රතිදාන (output) ආචාර්ය කලණ විතානගේ මහතා SBS සිංහල සේවයට පැහැදිලි කළේ මේ ආකාරයටයි.

මේ පර්යේෂණයේ output ප්‍රධාන වශයෙන් තුනක් තිබේ.
1. Navigation - වැඩිහිටියෙක් වැටුනු විට ඒ පුද්ගලයා වටා රොබෝ ආරක්ෂිතව ගමන් කළ යුත්තේ කෙසේද යන්න සොයා ගැනීම.
2. Algorithms - වැටුන පුද්ගලයාගේ ඉරියව් සහ ක්‍රියාකාරකම් රොබෝගේ කැමරා භාවිතයෙන් හඳුනා ගැනීමට අවශ්‍යවන algorithm සොයා ගැනීම.
3. Physiotherapy guidance- එසේ වැටුන පුද්ගලයෙකුට ආරක්ෂිතව නැගිටීමට පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන්නේ කෙසේද යන්න සොයා ගැනීම

ආචාර්ය කළණ විතානගේ මහතා විසින් සොයා ගත් මෙම තාක්ෂණය යොදා ගනිමින් මෙහි දිගුවක් ලෙස භෞතික වශයෙන් රොබෝ විසින් වැටුන පුද්ගලයෙකුට උදව් කරන්නේ කෙසේද යන්න සොයා ගැනීමට හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.
මූලික වශයෙන් මෙම පර්යේෂණයේ අරමුණ වූයේ වැටුණු වැඩිහිටියෙකුට ආරක්ෂාකාරීව නැගිටීමට උපකාරී කිරීම වුවත් මෙහිදී කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඇසුරෙන් දියුණු කරන ලද ක්‍රියාමාර්ග සහ ක්‍රමවේදයන් වෙනත් යෙදවීම් සඳහා යොමු කිරීමට අවස්ථාව ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි. එහිදී නාය යෑම්, සුනාමි වැනි හදිසි අවස්ථා සහ යුධමය තත්ත්ව වැනි ව්‍යයසන අවස්ථාවලදී මිනිසුන්ට රොබෝ තාක්ෂණය යොදා ගනිමින් උපකාර කළ හැකි පොදු භාවිතයක් ද මේ තුළ ඇති බවයි ඔහු පවසන්නේ.
අභියෝග හා ඒවා ජය ගත් ආකාරය

සිය පර්යේෂණය සිදු කරන විට මුහුණ දුන් අභියෝග පිළිබඳව SBS සිංහල සේවය විමසූ පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය කළණ විතානගේ මහතා පවසා සිටියේ තාක්ෂණික සහ තාක්ෂණික නොවන අභියෝග දෙවර්ගයට ම තමන්ට මුහුණදීමට සිදු වූ බවයි.

පර්යේෂණයේ අමතක නොවන සිදුවීමක් ද වන තාක්ෂණික නොවන අභියෝගයක් ගැන විස්තර කරමින් ඒ මහතා පවසා සිටියේ පර්යේෂණය මූලික අදියරේ දී දත්ත ලබා ගැනීමට වැඩිහිටි පුද්ගලයන් බඳවා ගැනීම තරමක් අසීරු කාරණයක් වූ බවයි.ඔස්ට්‍රේලියාවෙ පවතින නීතිවලට අනුව, ඒ සඳහා ethical clearance ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වූ බවත්, ඉන්පසුව වැඩිහිටියන් බඳවා ගැනීමේදී, බොහෝ දෙනා පර්යේෂණයට සහභාගී වීමට කැමැත්ත පළ කළ ද, විද්‍යාගාරයට පැමිණ උපකරණ පැළඳ ගනිමින් එම ක්‍රියාකාරකම්වල යෙදීමට කැමති වැඩිහිටියන් සොයා ගැනීම අසීරු වී තිබේ. මුලින් වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් මේ සඳහා බඳවා ගැනීමට තීරණය කළද, වයස් සීමාව අඩු කිරීමෙන් එම අභියෝගය ජය ගැනීමට හැකි වී තිබේ.
Participants action is being recognized by the robots camera
Participants action is being recognized by the robots camera Source: Supplied-Kalana Withanage


කෘතිම බුද්ධිය යොදා ගනිමින්, රොබෝ තාක්ෂණය ඔස්සේ වැටුණු වැඩිහිටියන් ආරක්ෂිතව නැගිටීමට උපකාර කරන්නේ කොයි ආකාරයෙන් ද යන්න සිදුකරන ලද මෙම පර්යේෂණයේ දී ඇති වූ තාක්ෂණික අභියෝගයක් නම්, වැටුණු පුද්ගලයෙකුගේ ඉරියව් හඳුනාගැනීම අපහසු වීමයි.

සිටගෙන සිටින පුද්ගලයෙකුගේ ඉරියව් හඳුනා ගැනීම සම්බන්ධ පර්යේෂණ ඒ වන විටත් දියුණු මට්ටමක තිබුණත්, පුද්ගලයෙකු වැටී සිටින විට ඉරියව් හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයක් විය.
වැටී සිටින පුද්ගලයකුගේ අවයව හඳුනා ගැනීම අපහසු වන අතර එයට හේතුව එක් අවයවයක් තවත් අවයවයකින් වැසී තිබීමයි. මෙහිදී තිබෙන algorithms පර්යේෂණයේ දී භාවිතා කිරීමට නුසුදුසු වූ අතර එහි සාර්ථකත්වය 30%ක් පමණ විය.

වසර කිහිපයක් පර්යේෂණ කටයුතු සිදු කිරීමේ දී මෙහි යම් යම් දියුණු වීම් සිදු කිරීමට හැකියාවක් ඔහුට ලැබී ඇති අතර සමකාලීනව දියුණු වූ deep learning අංශය හා සම්බන්ධ කිරීමෙන් වැටීමේ ඉරියව් හඳුනා ගැනීමට අවශ්‍ය හොඳ algorithm සෑදීමට හැකි වූ බවත්, කාලානුචිතව ඒ අවස්ථාවේදීම දියුණු වූ තාක්ෂණය සිය පර්යේෂණයට යොදාගැනීම මගින් එම අභියෝගය ද ජය ගැනීමට තමන්ට හැකි වූ බවත් ඔහු කියා සිටියේ ආඩම්බරයෙන්.

පවුල් පසුබිම හා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය යොදා ගනිමින් පර්යේෂණ සිදු කරන නව නිර්මාණකරණයට ලැදි විද්‍යාඥයාගේ පවුල් පසුබිම ගැන මීළඟට SBS සිංහල ගුවන්විදුලියේ අපි අවධානය යොමු කළා.
Dr.Withanage sharing the graduation moment with his daughter
Dr.Withanage sharing the graduation moment with his daughter Source: Supplied-Kalana Withanage fb page
සිය මව සහ පියා ශ්‍රී ලංකාවේ ජීවත් වන බවත්, මව පූර්ණකාලීනව ගෘහණියක් ව ඔවුන්ව රැක බලා ගත් අතර පියා මිනින්දෝරු වරයකු ලෙස සේවය කරනවා. බාල සොයුරා හෝටල් කළමනාකාර ක්ෂේත්‍රයේත්, බාල සොයුරිය භෞත චිකිත්සකවරියක් ලෙසත් ශ්‍රී ලංකාවේ සේවය කරන අතර ඔහු සම අධ්‍යාපනික හා සම වෘත්තීය ක්ෂේත්‍රයක නියැලන ආදරණීය බිරිඳත් ඔවුන්ගේ සුරතල් දියණියත් සමඟ මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචිව සිටිනවා.

අවුරුදු 7 පමණ සිටම නිරායාසයෙන්ම විවිධ තාක්ෂණික උපකරණ ගැන ආශාවෙන් පසුවී ඇති කලණ ඒවා වැඩ කරන ආකාරය සහ වැඩි දියුණු කරන ආකාරය ගැන උනන්දුවන් පසු වී තිබෙනවා. කුඩා කලදී සෙල්ලම් බඩු හා උපකරණ ගලවා ඒවායේ ඇතළත පිරික්සා ලැබූ අත්දැකීම් සහ අවස්ථා සිය උසස් තාක්ෂණික වෘත්තීය ජීවිතයට පිටුවහලක් වූ බවයි ඔහු පවසන්නේ.

කලණ පවසන අන්දමට ඔහුට ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය වන්නේ සිය පශ්චාත් උපාධිය හැදෑරීමටයි. ඒ වන විට ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වශයෙන් වසර 4ක අත්දැකීම් තිබුණ නිසා ස්ථිර පදිංචිය ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔහු පශ්චාත් උපාධිය සඳහා අයදුම් කර තිබෙනවා.

ආචාර්ය කලණ විතානගේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කාලයේ සිටම ඔහුගේ ක්ෂේත්‍රයේ ආරම්භක (start up) ආයතන මෙන්ම ක්ෂේත්‍රයේ හොඳින් ස්ථාපිත ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයකම සේවය කර තිබේ. 

වෘත්තීය කුසලතා වෙනුවෙන් ලැබුණු සම්මාන සහ ඇගයීම්

2002 වසරේදී 12 වසර පාසල් සිසුවෙකු වශයෙන් සිටියදී ශ්‍රී ලංකාවේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔලිම්පියාඩ් අවසන් වටයට තේරීමට කලණට හැකියාව ලැබුණි. සිය වෘත්තීය ජීවිතයේ ගමන් මග තීරණය කිරීමට එය පිටුවහලක් වූ බව ඔහු පවසන්නේ එහිදී ඔහුට පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග වැඩ කටයුතු කිරීමට හිමි වූ අවස්ථාව ගැන සඳහන් කරමින්.
Robot with its navigation map
Robot with its navigation map Source: Supplied-Kalana Withanage
2008 වසරේදී අවසන් වසරේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාතික ආයතන දෙකකින් සම්මාන දෙකක් දිනා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායම සමත්ව තිබෙනවා. Institute of Electrical and Electronics Engineers (IEEE ) මගින් හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහාත් Institute of Engineering Technology (IET) හොඳම අවසන් වසරේ ව්‍යාපෘතිය සඳහාත් මෙම සම්මාන හිමිව තිබේ.

මෙම සම්මාන දිනූ ව්‍යාපෘතිය නම්, smart home automation platform එකක් නිර්මාණය කිරීමයි. නිවසට ගෙන එන විවිධ සුහුරු (smart) උපකරණ ස්වයංක්‍රීයව සම්බන්ධ වී අපට අවශ්‍ය කටයුතු කර ගැනීමට user interface එකක් ස්වයංක්‍රීයව සාදන ක්‍රමවේදයක් මෙහිදී නිර්මාණය කළ බව කලණ වැඩිදුරටත් පැහැදිලි කළා.
මේ 2008 වසරේදි කරන පර්යේෂණයක් ශ්‍රී ලංකාවේදී. ඒ කාලෙදි ඇත්තටම එදිනෙදා වැඩ කටයුතුවලට අන්තර්ජාලය භාවිතයෙන් පරිගණක උපාංග අන්තර් ගත කිරීමේ Internet of things (IOT) තාක්ෂණය එතරම් ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. දැන් IOT වල තියෙන concept එක අපි 2008 වසරෙදි මෙහෙම ශ්‍රී ලංකාවේ දී අවසන් වසරෙ ව්‍යාපෘතියක් ලෙස කරලා අන්තර්ජාතික සම්මාන 2ක් දිනා ගැනීමටත් හැකියාව ලැබුණා.
2013 වසරේ University of South Australia වලින් University of SA postgraduate award එක කලණට හිමිවූ අතර ඒ මගින් ඔහුගේ පශ්චාත් උපාධිය සඳහා අවශ්‍ය කරන මූල්‍යමය දායකත්වය සපයන ලදී.
එමෙන්ම 2015 වසරේදී ඔහුගේ පශ්චාත් උපාධි සගයා වන Zhenglin Wang සමග සිදු කරන ලද, දුර සහ ඈත ඇති වස්තූන් එක විට නාභිගත කළ හැකි නව කැමරාවක් නිර්මාණය කිරීමේ Pincam නම් කුඩා ව්‍යාපෘතිය සඳහාද Australian Information Industry Association (AIIA) මගින් පශ්චාත් අධ්‍යයන ව්‍යාපෘතිය සඳහා වන සම්මානය හිමි ව තිබේ.
Robot and the demo set up at an external event
Robot and the demo set up at an external event Source: Supplied-Kalana Withanage
රොබෝ තාක්ෂණය කෘතිම බුද්ධිය වැනි උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති නව ප්‍රවණතා

ඔස්ට්‍රේලියාවේ සහ සියලුම දියුණු රටවල මේ වන විට රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය ඔවුන්ගේ සියලුම කර්මාන්ත සඳහා යොදා ගැනීම සිදු වෙනවා. රොබෝ තාක්ෂණය මීට වසර විස්සකට පමණ පෙර කරළියට පැමිණියත් එහිදී මූලික සිද්ධාන්තය වූයේ අවශ්‍ය පරිදි program කළ විට රොබෝ අපට අවශ්‍ය දේ ඉටුකර දීමයි.
නමුත් මේ වන විට කෘතිම බුද්ධිය, machine learning ක්ෂේත්‍රයේ පර්යේෂණ දියුණු වීමත් සමඟ දැන් මෙම රොබෝ program කිරීම අවශ්‍යම නොවන බවත් තමා සිතාමතා රොබෝට යම්කිසි දෙයක් සිදු කිරීමට හැකියාව ලැබී ඇති බවත් විතානගේ මහතා පැහැදිලි කළා.

මෙය සියලුම ක්ෂේත්‍ර වලට අදාල වන බවත් කෘෂිකර්මාන්තය, කර්මාන්ත,අධ්‍යාපනය, ප්‍රවාහනය යන සෑම ක්ෂේත්‍රයකම මෙම ස්වයංක්‍රියකරණය (automation ) ඉතා වේගයෙන් විශාල වශයෙන් සිදුවෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉදිරි වසර 5-10 තුළ එම ක්ෂේත්‍රවල දැනට පවතින රැකියා ඉල්ලුම අඩු වනු අපට දකින්නට ලැබෙනු ඇති බවත්, ඒ වගේම නව රැකියා අවස්ථා විශාල වශයෙන් ඇති වන බවත් ඔහු පැවසුවා. එහිදී රොබෝ තාක්ෂණය සංවර්ධන කිරීමට හැකියාව සහ දක්ෂතා ඇති පිරිසක්, මේවා නඩත්තු කිරීමේ හැකියාව ඇති පිරිසක් සහ ඒවා භාවිතා කිරීමේ හැකියාව ඇති පිරිසක් විශාල වශයෙන් අවශ්‍ය වේවි යනුවෙන් ඔහු පැවසුවේ උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඇති නව ප්‍රවණතා ගැන SBS ගුවන්විදුලි සේවය විමසූ පැනයට සිය අදහස් එක් කරමින්.
අපි කැමති වුණත් නැති වුණත් ඉදිරියේදී රොබෝ තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතයට විශාල වශයෙන් යොදා ගැනීමට සිදුවේවි.එහි ඇති ධනාත්මක දෙය නම්, භෞතික වශයෙන් අපි සිදුකරන දෙයක් ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයට කරන්නට ඉඩ දී අපට ඊට වඩා නිර්මාණශීලී දේවල් වලට යොමු විය හැකි වීමයි යනුවෙන් නව නිර්මාණකරණය ජීවිතයේ විනෝදාංශය කරගත් ආචාර්ය කළණ විතානගේ මහතා පවසා සිටියා.
සංක්‍රමණය වන ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට පණිවිඩයක්

සංක්‍රමණය වන ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට උසස් තාක්ෂණික වෘත්තීන්ට යොමුවීමට ඇති අවස්ථා ගැන පැහැදිලි කරමින්, ආචාර්ය විතානගේ මහතා කියා සිටියේ, තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු වෘත්තිකයන්ට කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය යන ක්ෂේත්‍ර වලට සම්බන්ධ දැඩි ඉල්ලුමක් දැනටත් පවතින බවයි. එම ඉල්ලුම තවදුරටත් වැඩි වනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

උසස් තාක්ෂණික වෘත්තිකයෙකු ලෙස සාර්ථක වීමට නම්, එම ක්ෂේත්‍රයේ කුසලතා දියුණු කර ගත යුතු බවත්, කණ්ඩායමක් සමග සාමුහිකව වැඩ කිරීමට ඇති හැකියාව එයට අවශ්‍ය සන්නිවේදන හැකියාව දියුණු කර ගත යුතු බවත් වසර ගණනක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් ඔහු සිය අත්දැකීම් බෙදා හදා ගනිමින් විස්තර කළා.

එමෙන් ඔස්ට්‍රේලියාවේදී ලංකාවට සාපේක්ෂව විශාල වෙළෙඳ පොළ අවස්ථාවක් අපට උදා වන බවත්, ඔබ දක්ෂ නම් ඔබට ඔබගේම නිෂ්පාදනයක්, ඔබගේම සේවාවක් සපයා ව්‍යවසායකයකු ලෙස වැඩ කිරීමට ද අවස්ථාව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් ඔස්ට්‍රේලියාව තුල ඕනෑ තරම් පවතින බවත් ඔහු පෙන්වා දුන්නා.
Kalana's hobby projects
Kalana's hobby projects Source: Supplied-Kalana Withanage
ඉදිරියේදී ද Embedded Software/Hardware, Computer vision, සහ Robotics තාක්‍ෂණ ක්ෂේත්‍ර වල පර්යේෂණ මඟින් නවෝත්පාදන විසඳුම් සෙවීමට ආචාර්ය කලණ විතානගේ මහතා දැඩි උනන්දුවකින් පසු වනවා.

ඔහු SBS සිංහල සේවයට සමු දුන්නේ Learn, share, innovate and Grow together යන සිය ජිවිතයේ ආදර්ශ පාඨය ද අප සමඟ බෙදා ගනිමින්.
ඉගෙන ගන්න, අන් අය සමග උගත් දෑ බෙදාගන්න , ඒ ඇසුරෙන් නව නිර්මාණ කරන්න, ඒ නව නිර්මාණ ඇසුරෙන් ඔබ සහ සියලු දෙනා නව යහපත් තැනකට රැගෙන යන්න.


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: 

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 






Share
Published 15 June 2022 6:36am
Updated 16 June 2022 11:08am
By Athini Amarasiri

Share this with family and friends