ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකාවට පදක්කම් 6ක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමි කරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙවර ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

2018 Commonwelath Games Sri Lankan medal winners - Boxing

Source: SBS Sinhala

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 5ක් ඇතුළුව සමස්ථ පදක්කම් 6ක් සමගින්  ක්‍රීඩා උළෙල නිමාවට පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව සමස්ථ  පදක්කම් සටහනේ ශ්‍රී ලංකාවට 31 වැනි ස්ථානය හිමි වුවත්, ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසය තුල මෙතෙක් සහභාගී වූ සාර්ථකම තරගාවලිය ලෙස මෙය හැදින්විය හැකියි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනු වැඩිම පදක්කම් සංඛ්‍යාව


මීට පෙර ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී, ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙන්නේ 1950 නවසීලන්තයේ ඕක්ලන්ඩ් හීදී  පැවති  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී වන අතර, එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සමගින් පදක්කම් 4ක් හිමි කරගන්නට සමත් විය.  එහිදී ඩන්කන් වයිට් යාර  440 කඩුලු  පැන  දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දුන් අතර, බොක්සිං Flyweight ඉසව්වෙන් K එඩ්වින් සහ Bantamweight ඉසව්වෙන් ඇල්බර්ට් පෙරේරාද ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමි කරදෙන්නට සමත් විය. මීට  අමතරව Welterweight බර පංතිය  යටතේ තරග වැදුණු ඇලෙක්ස් ඔබේසේකර එහිදී ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් වූ අතර, එම  ක්‍රීඩා උළෙල මෙතෙක් ශ්‍රී ලංකාව වැඩි පදක්කම් සංඛ්‍යාවක් හිමි කරගත්  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක්ව තිබිණි. එම වාර්තාව බිද දමමින් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව වැඩි පදක්කම් සංඛ්‍යාව හිමි කරගත් ක්‍රීඩා උළෙල මෙය බවට පත් කරන්නට මෙවර ගෝල්ඩ් කෝස්ට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තාවක් දිනු පළමු බොක්සිං පදක්කම


මෙවර ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවති  21 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා 45-48 Kg බර පංතිය  යටතේ තරග වැදුණු අනුෂා  කොඩිතුවක්කු ලෝකඩ පදක්කම හිමි කරගන්නට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය තුල කාන්තාවක් බොක්සිං  ක්‍රීඩාවේදී පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ  හිමි කරගත් පළමු පදක්කමයි. අනුෂා  අවසන් පුර්ව  තරගයේදී පස්වතාවක් ලෝක ශුරතාවය හිමි කරගත් සුපිරි ඉන්දීය බොක්සිං  ක්‍රීඩිකා මේරි කොම් සමගින් තරගවැදුණු අතර, එහිදී පරාජයට පත් වීම නිසාවෙන් ඇයට  ලෝකඩ පදක්කමෙන් සෑහීමට  පත් වන්නට සිදු විය.

වසර 68කට පසුව ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කම්


අනුෂාගේ පදක්කමට අමතරව තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට බොක්සිං  ක්‍රීඩාවෙන් හිමි වූ අතර, තිවංක රණසිංහ පිරිමි 46-49KG බර පංතිය  යටතේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කරදෙන්නට සමත් වූ අතර, ඉෂාන් බණ්ඩාර 52KG බර පංතිය  යටතේ තවත් ලෝකඩ පදක්කමක් හිමි කරදෙන්නට සමත් විය. ශ්‍රී ලංකාවට මෙලෙස බොක්සිං  ක්‍රීඩාවේදී පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල පදක්කම් හිමි වුයේ වසර 68කට පසුව වීමද සුවිශේෂී සිදු වීමක්.



බර ඉසිලීමෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක්.

Sri Lanka comm games medal winners
Source: Ceylon Sports

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලදී  ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ලෝකඩ පදක්කම් දෙකක් සහ එක්  රිදී පදක්කමක් හිමි කරදෙන්නට සමත්විය . පිරිමි කිලෝ ග්‍රෑම්  56 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරදෙන්නට චතුරංග ලක්මාල් සමත් වූ අතර, කාන්තා  කිලෝ ග්‍රෑම්  48 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට හංසනී ගෝමස් ක්‍රීඩිකාව සමත් විය. අනතුරුව පිරිමි කිලෝ ග්‍රෑම්  69 බර පංතිය  යටතේ තරග බිමට පිවිසි ඉන්දික දිසානායක හට එම ඉසව්වේ රිදී   පදක්කම හිමි විය.

2006 වස‍රේ මෙල්බර්න් නුවරදී පැවති  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමි කරගත්, ශ්‍රී ලංකාවේ ඉහල පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන ගීතාල් විදානගේ පිරිමි කිලෝ ග්‍රෑම්  77 බර පංතිය  යටතේ තරග වැදුණු අතර එහිදී ඔහුට හිමි වුයේ පස් වැනි ස්ථානයයි.

මීට  අමතරව තිලංක විරාජ හට කිලෝග්‍රෑම් 62 බර පංතිය යට‍තේ සිව්වැනි ස්ථානය හිමි වූ අතර කිලෝග්‍රෑම් 53 කාන්තා  බර පංතිය  යටතේ තරග වැදුණු චමරි වර්නකුලසුරියටද සිව්වැනි ස්ථානයෙන් සෑහීමට  පත් වන්නට සිදු විය.


පිරිමි 4 x 100m සහාය දිවීමේ කණ්ඩායමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්


ශ්‍රී ලංකා පිරිමි 4 x 100m සහාය  දිවීමේ කණ්ඩායම අවසන් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් අවසන් තරගය නිමාවට පත් කරන්නට සමත් විය. ඔවුන්ට අවසන් තරගයේදී 6 වැනි ස්ථානය හිමි වූ අතර තත්පර 39.08 කින් තරගය නිමාවට පත් කරමින් ඔවුන් එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීම කැපී පෙණෙන  කාරණයක්  බවට පත් විය.

හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළේය.

තත්පර 38.1කින් එම ඉසව්ව නිමාවට පත් කල එංගලන්ත සහාය දිවීමේ කණ්ඩායමට, එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවටත් ලෝකඩ පදක්කම ජැමෙයිකා කණඩායමටත් හිමි විය.

රිද්මයානුකුල ජිම්නාස්ටික් - Anna Marie Ondaatje ට 6 වැනි තැන


රිද්මයානුකුල ජිම්නාස්ටික් Club අවසන් තරගය සදහා සුදුසු කම් ලැබූ Anna Marie   Ondaatje අවසන් තරග ප්‍රතිපල අනුව 6 වැනි ස්ථානය හිමි කරගන්නට සමත් විය. කැනඩාවේ උපත ලැබ  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ  Anna ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිද්මයානුකුල ජිම්නාස්ටික් ඉසව්වෙන් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පලමු කාන්තාව ලෙසත් ඉතිහාසයට එක්  විය.

මැරතන් ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්නට 11 වැනි ස්ථානය


ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා  මැරතන් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ හිරුණි  විජේරත්න 11වැනි ස්ථානය හිමි කරගනිමින් එම ඉසව්ව නිමාවට පත් කරන්නට අද (අප්‍රේල් 15)  සමත් විය. 

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව්වන් 15ක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80ක් සහභාගී විය.




Share
Published 15 April 2018 11:25am
Updated 15 April 2018 12:39pm
By Sanjaya Dissanayake


Share this with family and friends