Exclusive

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැක්වූ අදහස් අනුව උද්ධමනය හා ජීවන වියදම ගැන පත්වන නව ආණ්ඩුව සතු වගකීම්

ඔස්ට්‍රේලියාවේ විවාදයට තුඩු දී ඇති කරුණක් වන උද්ධමනය ඉහල යෑම සහ ඒ තුලින් මතුව ඇති ජීවන වියදම ඉහල යෑම පිළිබඳව මීළඟට පත්වන නව ආණ්ඩුව සතු වගකීම් කවරේද යන්න ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

Sri Lankan Australians views on new government responsibilities over inflation and cost of living

Sri Lankan Australians views on new government responsibilities over inflation and cost of living Source: Supplied

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය දශකයක් තුළ එහි ඉහළම අගය වන 5.1 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව එළවළු , පලතුරු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ යාමෙන් දැන් දැන් ජීවන වියදම ද ඉහළ යමින් පවතී. ලෝක වෙළෙඳ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟම, ඔස්ට්‍රේලියාව තුළත් වාර්තාගත ලෙස පෙට්‍රල් මිල ඉහළ යාම ජීවන වියදම වැඩි වීමට හේතු වී තිබේ.

උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට ද පසුගිය දිනවල කටයුතු කර තිබේ. මෙසේ පොලී අනුපාත ඉහළ යන විට, එය නිවාස වෙළඳ පොළට සෘජුවම බලපාන අතර යම්කිසි කෙනෙක්ට නව නිවසක් මිලදී ගැනීමට ඇති හැකියාව අඩු කිරීමට මෙය බලපානු ඇතැයි පැවසේ.

2023 මැද භාගය වන තුරු තවදුරටත් මෙම පොලී අනුපාත ඉහළ යාමේ ඉඩ කඩක් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පවසයි.
උද්ධමනය ඉහළ යාමත් සමග ජීවන වියදම වැඩිවීමට ජනතාව මුහුණ දෙමින් සිටින පසුබිමක, එළඹෙන ෆෙඩරල් මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට මේ සම්බන්ධව ඇති වගකීම් ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දරන අදහස් පිළිබඳව SBS සිංහල ගුවන්විදුලි සේවය සිදුකළ විමර්ශනයකි මේ.


Highlights

  • අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට තාවකාලික දීමනා සහ බදු සහන
  • කෘෂි නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීමේ වගකීම
  • රැකියාවට යාමට ඇති අවස්ථා, රැකියාව පවත්වා ගැනීමේ හැකියාව සහ නව රැකියා අවස්ථා වැඩි කිරීමෙන් ආර්ථික අවපාතනයක් ඇති නොවීමට වග බලා ගැනීම

ඕස්ට්‍රේලියාවෙන් විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල සිට අප සමග සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

මුලින්ම SBS සිංහල ගුවන්විදුලි සේවයට අදහස් දැක්වීමට එක් වූයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගණකාධිකාරවරයෙක් ලෙස සේවය කරන සුජීව සමරනායක මහතා.

රට තුළ උද්ධමනය ඉහළ යාමට හේතු ලෙස,

  • රුසියානු යුක්රේන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම
  • දිගින් දිගටම සිදු වූ ස්වභාවික ආපදාවලින් කෘෂිකාර්මික හා අනෙකුත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර වලට ඇති ඇතිවූ අහිතකර බලපෑම
  • කාලයක් පුරා ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තු ඉහළ යමින් පැවතීම
ලෙස අදහස් පල කළ සුජීව මහතා, මේ සම්බන්ධව පත්වන නව ආණ්ඩුවක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග ලෙස මෙවන් අදහසක් ඉදිරිපත් කළේය.

  • ලෝක තෙල් මිල ඉහළ යාම තව මාස ගණනාවක් සිදුවේ යැයි පුරෝකතනය කර ඇති නිසා දැනට තාවකාලිකව සිදු කර ඇති Fuel exercise බදු අඩු කිරීම තව මාස ගණනක් සඳහා දිගු කිරීම.
  • අඩු හා මධ්‍යම ආදායම් ලබන පිරිසට ජීවන වියදම් බදු සහනක් ලබා දීම.
  • ස්වාභාවික ආපදාවලින් අගතියට පත් කෘෂිකාර්මික හා අනෙකුත් අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර වල නියැලෙන අයට තාවකාලික සහනාධාර ක්‍රමයක් ඇති කොට ඉක්මනින් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ට ළඟා වීමට දිරිගැන්වීම හා එමගින් නිෂ්පාදන ඉහළ යාම තුළ මිල ගණන් පහළ දැමීමට සැලැස්වීම.
  • ඉහළ ගොස් ඇති ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තුවට පිළියමක් ලෙස, දැනට ආනයනය කරන භාණ්ඩ පිළිබඳව විමර්ශනයක් කර ඒවා අතරින් ආනයනිත මිලට වඩා අඩුවෙන් රට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ තිබේදැයි සොයා බැලීම හා ඒ අනුව දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීම.
Sujeewa Samaranayaka
Sujeewa Samaranayaka, Accountant from Queensland Source: Supplied by Sujeewa Samaranayaka
සුජීව මහතා ඉදිරිපත් කළ අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කාලයක් පුරා ආනයනය කරමින් පැවැත්වුණු භාණ්ඩ වල ආනයනික මිල අඩු ඇතැයි යන මතයේ සිටියත්, ඉහළ යන ප්‍රවාහන ගාස්තු නිසා ඒ තත්ත්වය එසේ නොවීමට ඉඩ කඩ ඇති බවයි.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සිට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වූ ලක්ෂිකා මොරැන්ඩගේ හෙදියක් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන පරපුර නියෝජනය කරන කෙනෙක්.

ඉංග්‍රීසි බසින් සිය අදහස් දක්වමින් ලක්ෂිකා අප වෙත කියා සිටියේ ඇය මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මූලික වියදම් සහය දැක්වීමක් අපේක්ෂා කරන බවයි. බඩු මිල වැඩි වන තුරු බලා නොසිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවාහනයට, වැඩි පිරිවැයක් ලබාදීම හෝ විකල්ප හඳුන්වා දීම සිදුකළ යුතු බව ඇය මෙහිදී පෙන්වා දෙයි.

උද්ධමනය හා ඉන් මතු වන ජීවන වියදම සම්බන්ධව නව ආණ්ඩුව සතු වගකීම් පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ලක්ෂිකා කියා සිටියේ අපේ ආදායමෙන් වැඩිම කොටසක් වැය කරමින් අතිවිශාල වශයෙන් ඉන්ධන මත යැපෙන බවයි. පාරිසරික ගැටළු වලට විසඳුමක් ලෙසටවත්, ඉන්ධන භාවිතය අවම කිරීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීම විසඳුමක් නොවන බව ඇය පවසයි.
ලක්ෂිකා වැඩිදුරටත් කියා සිටියේ, රට තුළ බොරතෙල් පිරිපහදුව වැඩි කිරීමට මෙන්ම Clean energy භාවිතා කරන, දැනට ඔස්ට්‍රේලියාවේ දී පහසුවෙන් කෙනෙකුට මිලදී ගත නොහැකි, පරිසර හිතකාමී ටෙස්ලා වැනි විද්‍යුත් මෝටර් රථ රට තුළම නිපදවීම සඳහා නව රජය අවධානය යොමු කළ යුතු බවයි. මෙයින් දීර්ඝ කාලීනව උද්ධමනය පහත දැමීමට හැකි වනු ඇතැයි ද ඇය පවසයි.
අමුද්‍රව්‍ය අපනයනය කිරීමට වඩා නිමි භාණ්ඩ අපනයනය කිරීම සඳහා අප අවධානය දිය යුතු බව ලක්ෂිකා කියා සිටී. ආණ්ඩුව විසින් ඒ සඳහා නව ආයතන ඉදිකිරීම සහ ඊට අවශ්‍ය දැනුම ලබා ගැනීම සිදුකළ යුතු බවද එමගින් මේ භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම පමණක් නොව මේ වන විට උපරිම ලෙස භාවිතා නොකෙරෙන ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යයන්ගේ දැනුම ද භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන බව ද ඇය වැඩිදුරටත් පවසයි.
Lakshika Morandage
Lakshika Morandage, Nurse from Western Australia Source: Supplied by Lakshika Morandage
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව අතිවිශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් පවතින බවත්, නව ආණ්ඩුව විසින් මෙවැනි නිෂ්පාදන ව්‍යාපෘති ඇති කළහොත් දැනට සිය දැනුමට සරිලන සුදුසු රැකියා අවස්ථා නැති ඕස්ට්‍රේලියානුවන්ට එම අවස්ථාව හිමිවන අතරම අපට අවශ්‍ය භාණ්ඩ රට තුළ ම නිපදවා ගැනීමෙන් උද්ධමනය අඩු කිරීමට උත්සහ කළ හැකි බව ලක්ෂිකා SBS සිංහල ගුවන් විදුලිය වෙත පවසා සිටී.

උද්ධමනයට ඔරොත්තු දීමට වැටුප් වැඩි කිරීමට වඩා ඔස්ට්‍රේලියාව සුහුරු ලෙස උද්ධමනය අඩු කිරීමට කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටී.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ,ව්‍යාපාර බුද්ධිය සහ දත්ත ගබඩා කිරීම යන ක්ෂේත්‍රයේ වසර 25 ක පලපුරුද්ද ඇති, ඔසාකා තිලකරත්න මහත්මිය SBS ගුවන් විදුලියේ සේවයට අදහස් දැක්වීමට මීළඟට සම්බන්ධ විය.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන මධ්‍යම බැංකුව විසින් දැනටමත් පොලී අනුපාත වැඩිකිරීම කටයුතු කර ඇති නමුත් එහි සහනය ජනතාවට ලැබීම තව කල් ගත වන බව ඔසාකා මහත්මිය පවසයි.
පත්වන නව ආණ්ඩුව විසින්, තාවකාලිකව උද්ධමනය නිසා වැඩිවූ ජීවන වියදමට සහනයක් ලෙස අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් වලට යම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ හැකි බවත්, වැඩිවන ගෙවල් කුලිය සඳහා යම් සහනයක් ලබා දිය හැකි බවත්, පාසල් යන දරුවන් සිටින පවුල්වලට යම් සහන දීමනාවක් ලබා දීමට කටයුතු කළ හැකි බවත් ඇය යෝජනා කරයි.
මධ්‍යම බැංකුවෙන් ගෙන ඇති පියවර වලට අනුව උද්ධමනය අඩු වන තුරු ඉදිරි වසර දෙක තුනක කාලයකට තාවකාලිකව මෙම සහන ලබා දීම අවශ්‍ය බව පැවසූ ඇය අඩු සහ මධ්‍යම ආදායම් සහිත පවුල් සඳහා බදු සහන දීමනාවක් ලබාදීම ද නව ආණ්ඩුවේ වගකීමක් බව පැවසීය.
Osaka Thilakarathna
Osaka Thilakarathna, IT professional in Business Intelligence and Data warehousing from NSW Source: Supplied by Osaka Thilakarathna
අවසන් වශයෙන් මේ පිළිබඳව අදහස් දැක්වීමට එක් වූ දශකයකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචි දත්ත විශ්ලේෂකයෙකු ලෙස සේවය කරන මෙල්බන් නුවර නුවන් රාමවික්‍රම මහතා පැවසූවේ ජනතාවට දැන් උද්ධමනය දැනෙන දෙයක් බවට පත්ව ඇති බවයි.

එහිදී ඔහු පැවසුවේ, ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව පොලී අනුපාතය 0.25 කින් වැඩි කිරීම මගින් නිවාස උකස් කර ප්‍රමාණය එනම් ණය මුදල අඩු කර පොලිය වැඩි කිරීම මගින් ජනතාවගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් උද්ධමනයට පිළිතුරක් සෙවීමට උත්සාහ කරන බවයි.
නමුත් මධ්‍යම බැංකුවේම පුරෝකථනයකටම අනුව ඉදිරි වසරේදී ඔස්ට්‍රේලියානු ජනතාවගේ වැටුප් 3%කින් වැඩි වීමට ඉඩ ඇති බැවින් ඔවුන් අපේක්ෂා කරන විසඳුම මින් නොලැබෙන බව පෙන්වා දෙයි.
උද්ධමනය අඩු කිරීමට මධ්‍යම බැංකුව උත්සහ කරන්නේ පොලී අනුපාතික වැඩි කිරීමෙන් නම් එයින් ආර්ථික අවපාතයකට යෑමට වැඩි ඉඩක් ඇති බව නුවන් පෙන්වා දෙන්නේ මේ සමග රැකියා අහිමි වීමටත් රැකියාවට යෑම අවස්ථා අහිමි වීමටත් වැඩි ඉඩකඩක් ඇති බව පවසමින්.
Nuwan Ramawickrama
Nuwan Ramawickrama, Data Analyst from Victoria Source: Supplied by Nuwan Ramawickrama
විශේෂයෙන් කාන්තා වෘත්තිකයන්ට දරු උපතක් සිදු වීමෙන් පසු රැකියාවට යෑමට ඇති අවස්ථාව අඩු වන අතර එහිදී ඔවුන් සලකා බලන්නේ ඔවුන්ගේ වැටුප සහ childcare සඳහා යන වියදම අතර වෙනස බව නුවන් පවසයි. එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරග වදින පක්ෂ විසින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඒ අනුව රැකියාවට යාමට ඇති අවස්ථාව වැඩි කිරීම, රැකියා පවත්වා පවත්වා ගැනීම සහ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව කටයුතු කළ යුතු බව ඔහු තව දුරටත් කියා සිටී.

දැනට ඔස්ට්‍රේලියාවේ පවතින අවුරුදු 50ක් ඇතුළත අඩුම විරැකියා අනුපාතය වන 4% තවදුරටත් අඩු කර ගැනීමෙන් මධ්‍යම බැංකුවේ පොලී අනුපාත වැඩි කිරීමත් සමඟ ආර්ථික අවපාතනයකට නොගොස් උද්ධමනය අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


උද්ධමනය හා ජීවන වියදම වැඩිවීම වැඩි සම්බන්ධයෙන් SBS සිංහල ගුවන්විදුලි සේවයට අදහස් පැවසූ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස විශ්වාස කරන්නේ,

  • බඩු මිල ඉහළ යාම පාලනයට කෘෂිකාර්මික නිෂ්පාදන වල පිරිවැය අවම කිරීමට කටයුතු කිරීම.
  • අමුද්‍රව්‍ය වෙනුවට නිමි භාණ්ඩ අපනයනය සඳහා යොමු වෙමින් නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම.
  • වැටුප් වැඩි කිරීම වෙනුවට උද්ධමනය අඩු කිරීමට කටයුතු කිරීම.
  • ඉන්ධන සඳහා යැපීම අවම කර clean energy වෙත යොමු වීම.
  • බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථාන වැඩි කිරීම.
  • අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට තාවකාලික දීමනා සහ බදු සහන ලබා දීම.
  • රැකියාවට යාමට ඇති අවස්ථා, රැකියාව පවත්වා ගැනීමේ හැකියාව සහ නව රැකියා අවස්ථා වැඩි කිරීම.
යන වගකීම් එළඹෙන ෆෙඩරල් මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුව සතුව ඇති බවයි.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

 

 

 

 


Share
Published 14 May 2022 4:19pm
By Athini Amarasiri

Share this with family and friends