ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනා ජනපති මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි (SBS සිංහල/වාර්තා)

මේ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි සිද්ධියකට කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවද එහි සඳහන්.

Sri Lanka's President Maithripala Sirisena

Sri Lanka's President Maithripala Sirisena

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක් වන Snowy Mountain Engineering සමාගම ශ්‍රී ලංකාව සමග සිදු කළා යැයි පැවසෙන අල්ලස් ගනු දෙනුවක් පිළිබඳ තොරතුරු මෙම සතිය මැද භාගයේදී ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නට පටන් ගෙන තිබුණි. වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ එම පක්ෂයට යම් පරිත්‍යාග මුදලක්  සඳහා කළ ඉල්ලීමක් මේ සඳහා මුල්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව එම වාර්තා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි සිද්ධියකට  කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවද එහි සඳහන්.

තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධවීමක් සිදු වී හෝ සිදු කර නැතැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ පිළිබඳ අගෝස්තු 25 වන දින පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඒ මහතා පැවසුවේ අදාළ සිද්ධිය ගැන නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි.

වසර ගණනකට පෙර වූ සිද්ධියක් මෙතරම් කලක් ඇවෑමෙන් යළි මතුව ඒම ද සැකයක් ඇතැයි අබේවර්ධන මහතා පෙන්වාදුන්නේය.


Share
Published 26 August 2016 10:50pm
Updated 26 August 2016 10:53pm
By Madhura Seneviratne


Share this with family and friends