මම කම්පනයට හා පිළිකුලට පත්වුනා- පාර්ලිමේන්තුවේ ලිංගික වීඩියෝ පට හෙළාදකිමින් අගමැති කියයි: මාර්තු 18 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 23 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

PM Scott Morrison

PM Scott Morrison is at media press conference Source: SBS News

Highlights
  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට තවමත් වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයෙන් පීඩා.
  • කැන්බරා පාර්ලිමේන්තුවෙන් නැවතත් ලිංගික විෂමාචාර ක්‍රියාවක්. අදාල පුද්ගලයා වහාම තනතුරෙන් පහකළ බව අගමැති පවසයි.
  • ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයෙන් නිව් සවුත් වේල්සයේ ගංවතුර තර්ජනයට ලක්වුණු අයට සහන
  • මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට ආසියාවේ කිසිදු රටක් අත්සන් කර නොමැති බව අමාත්‍ය GL පීරිස් කියයි.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට තවමත් වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයෙන් පීඩා

අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිව් සවුත්වේල්ස් හදිසි සේවා අංශය විසින් සිඩ්නි හි වයඹ දෙසින් වන ජනතාව පදිංචි ස්ථාන වලින් ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත

මේ වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත හදිසි සේවය විසින් බටහිර සිඩ්නි හි 3,000 ක් සහ මැද උතුරු වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශ වලින් 15,000 ක් පමණ දෙනා සිය නිවෙස්වලින් ඉවත් කර ඇත.

1988 සහ 1990 වසර වලදී ඇතිවුනු ගංවතුර සිදුවීම් වලට සමාන විශාල ගංවතුරක් හෝක්ස්බරි ගඟ උතුරා යාම නිසා සිදුවන බව වාර්තාවේ. කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ අද දවසේද සැලකිය යුතු අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරය ආශ්‍රිතව වෙසෙන පදිංචිකරුවන් පවසන්නේ එහි බලපෑම විනාශකාරී බවයි.

ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයෙන් නිව් සවුත් වේල්සයේ ගංවතුර තර්ජනයට ලක්වුණු අයට සහන

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ කවුන්සිලය විසින්, නිව් සවුත් වේල්සයේ ගංවතුර තර්ජනයට ලක්වුණු ඇතැම් ප්‍රදේශ තදබල ලෙස ආපදාවට ලක්වුනු ව්‍යසනකාරී ප්‍රදේශ ලෙසට නම් කරයි.

එම ප්‍රදේශ වල ආපදාවට ලක්වූ රක්ෂණ ඔප්පු හිමියන්ගේ හිමිකම් සඳහා රක්ෂණ සමාගම් විසින් ප්‍රමුඛතාවය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලය පවසයි. එසේම තදබල ලෙස හානියට පත් දේපල සහිත රක්ෂණාවරණ හිමියන්ට හදිසි ආධාර ලබා දෙනු ඇත.

එසේම තම රක්ෂනාවරණයේ තොරතුරු පිළිබඳව අවිනිශ්චිතව සිටින රක්ෂණ ඔප්පු හිමියන්ට උපකාර කිරීම සඳහා, හදිසි ආපදා දුරකථන අංකයක් ද ක්‍රියාත්මක කර ඇත.

IAG රක්ෂණ සමාගම පවසන්නේ මේ වන විටත් තම රක්ෂණ ඔප්පු හිමි පරිභාගිකයින් 2,100 ක ගෙන් රක්ෂණ හිමිකම් ලබාගැනීම උදෙසා අයදුම් කොට ඇති බවයි. එසේම සන්කෝර්ප් රක්ෂණාවරණය සඳහන් කොට සිටිනුයේ තම ආයතනයෙන් රක්ෂණ හනිපුරන මුදල් ලබාගැනීම සඳහා 1,300 ක් පමණ වන වන විමසීම් දැනටමත් ලැබී ඇති බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රන්තයටත් ගංවතුර තර්ජන

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ද හදිසි ගංවතුර හා නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ. ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝල්ඩ් කෝස්ට් හි සිදුවුනු විශාල නායයෑමකින් පසු වීදි දෙකක ජනතාව ඉවත් කිරීමට කටයුතු කොට තිබේ.

ධාරානිපාත වර්ෂාපතනය නිසා හදිසි ගංවතුර හා ජලයෙන් යට වූ මාර්ග හේතුවෙන් බ්‍රිස්බේන් අගනගරයේ ඇතැම් කලාප, ලෝගන් සහ ගෝල්ඩ් කෝස්ට් හි සමහර ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව ඇතැයි ද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ආගමික කටයුතු කාමරයේ ලිංගික කටයුතු, ගණිකාවනුත් ඇවිත්

ලිංගික විෂමාචාර ක්‍රියා සම්බන්දයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු සේවකයා හඳුනාගත් බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවයෙන් නෙරපා හැරිය  බවත් අගමැති ස්කොට් මොරිසන් අද (මාර්තු 23) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කොට සිටියේය.

ඕස්ට්‍රේලියාවේ වත්මන් පාලක ලිබරල් සන්ධානයේ ඇතැම් උපදේශකවරු, කාන්තා මන්ත්‍රීවරුන්ගේ මේසය මත ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන අයුරු හැඟවෙන චායාරූප සහ වීඩියෝ පට Facebook  සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කොට ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වන channel 10 හි ප්‍රවෘත්ති අංශය ප්‍රකාශ කොට සිටියේ මෙම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනු වීඩියෝ දර්ශන සහ චායාරූප  තම මාධ්‍ය ආයතනය සන්තකයේ තිබෙන බවයි.

තවද, මුලාශ්‍රය හෙළිනොකළ මාර්ග වලට අනුව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උපදේශකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආගමික කටයුතු සඳහා වෙනකොට ඇති කාමරය ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇති අතර, ඇතැම් අවස්ථාවලදී ගණිකාවන් ද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන විත් තිබේ.

මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු සේවකයින් ඇතුළු කාර්ය මණ්ඩලයට දැඩි අපකීර්තියක් ගෙනදෙන බව පැවසූ අගමැති ස්කොට් මොරිසන් මේ සම්බන්දයෙන් තොරතුරු දන්නා පුද්ගලයින් වහාම එම තොරතුරු වාර්තා කරන ලෙසද ඉල්ලා සිටියේය. මොරිසන් මහතා කියා සිටියේ මෙම වාර්තා මගින් පාර්ලිමේන්තු මන්දිරය තුළ පාර්ලිමේන්තු සංස්කෘතිය පිළිබඳව දැවැන්ත ගැටළුවක් පවතින බව හෙළිවන බැවින් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.

මේ සම්බන්දයෙන් විමර්ශනය කිරීමට සෙනෙට් සභා කමිටුවක් ද පත්කොට ඇත. එම සෙනෙට් කමිටු විභාගයට සහභාගී වුනු වත්මන් මුදල් අමාත්‍ය සයිමන් බර්මින්හැම් මහතා පවසා සිටියේ මෙම චෝදනා අසා තමා දැඩි කලකිරීමට පත්වුණු බවයි. මෙවැනි ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද ඔහු පැවසීය.

දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කිහිපයක් කෙටියෙන් .....

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා ඇතුළත් කරමින් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ප්‍රංශය, බෙල්ජියම, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව ඇතුළු රටවල් 6ක් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ. මෙම යෝජනාව පරාජය කිරීමට නම් ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් 47ක් අතුරින් සාමාජික 24ක ඡන්දය දිනාගත යුතුය.

මේ අතර බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ ඊයේ (මාර්තු 22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කොට සිටියේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට ආසියාවේ කිසිදු රටක් අත්සන් කර නොමැති බවයි.


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් ඊයේ දිනයේදී (මාර්තු 22) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී වදාළහ. අපවත්වන විටදී උන්වහන්සේගේ වයස අවුරුදු 88 ක්. 1933 ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත්ව තිබේ.


දේහය මේවනවිට ගල්කිස්සේ පිහිටි ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය 25 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. 


ඊයේ දිනයේදී (මාර්තු 22) කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ තහවුරු කොට සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 274ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ ව විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිත සංඛ්‍යාව 90, 514 කි.

*** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද - මාර්තු මස 23 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

Share
Published 23 March 2021 8:17pm
Updated 23 March 2021 8:19pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends