ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම තමන් හට නිවෙසක් මිලට ගැනීමට යාමේදී අදාළ ණය මුදල් ලබා ගැනීම සඳහා වන අයදුම්පත් පිරවීමේදී අසත්‍ය තොරතුරු සපයන බව හෙළිවී තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවෙසක් මිලට ගැනීම උදෙසා ණය ලබා ගැනීමේදී අදාළ අයදුම්පතට නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදෙන්නේ 67% ක් පමණවූ ප්‍රතිශතයක් බවත් 32% ක ප්‍රතිශතයක් ව්‍යාජ තොරතුරු සපයන බවත් මෙම UBS සමීක්ෂණය හරහා අනාවරණය වී ඇත.
ඉතිරි 1% ක ප්‍රතිශතය තමන්ගේ අයදුම්පත නිවැරදි හෝ වැරදි දැයි පැවසීම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය මාස 12`තුළ මුල්‍ය ආයතන වලින් නිවාස ණය ලබාගත් පුද්ගලයින් 907 දෙනෙකු මෙම සමීක්ෂණය සඳහා දායක කරගෙන තිබුණි.
තමන් සැබෑවටම උපයන ආදායමට වඩා වැඩි ආදායමක් අයදුම්පතෙහි සටහන් කිරීම, අදාළ දේපලෙහි වටිනාකම සැබෑ තරමට වඩා ඉහළ බව පෙන්වීම සහ ජීවන වියදම් ඉතා අඩු මට්ටමකින් පෙන්වීම වැනි කරුණු බොහෝ අයදුම්කරුවන් නිවාස ණය ලබාගැනීමේදී සටහන් තබන අසත්‍ය තොරතුරු අතර ප්රමුඛත්වයක් ගන්නා බව හෙළිවී ඇත.
ඒ අනුව ඩොලර් බිලියන 500 ක පමණ වටිනාකමකින් යුත් මෙවැනි ආකාරයේ "ව්‍යාජ ණය" ඔස්ට්‍රේලියාවේ බැංකු පොත්වල සටහන්ව ඇති බව UBS සමීක්ෂණය පෙන්වා දෙයි.
නිවැසියන්ගේ ණය මට්ටම, ඉහළ යන නිවාස මිල ගණන් සහ මන්දගාමී වැටුප් වැඩිවීම මනාව ඔස්ට්‍රේලියාව තුළ දක්නට ලැබෙන බවත් බැංකු අපේක්ෂා කරන මට්ටමට වඩා ණය ලබාගන්නා අයදුම්කරුවන් මුල්‍යමය වශයෙන් සාර්ථක මට්ටමක නොසිටින බවත් UBS තම සමීක්ෂණ වාර්තාවෙන් පවසයි.
සෘජුව හෝ අතරමැදියෙකු මාර්ගයෙන් ANZ බැංකුව හරහා නිවාස ණය ලබාගත් උදවියගෙන් තමන්ගේ අයදුම්පත සම්පූර්ණ වශයෙන් නිවැරදි හා සත්‍ය බව පවසා ඇත්තේ 55% ක් පමණි.
මේ අතර නිවාස ණයක් ලබා ගැනීමේදී ණය ලබා ගන්නන්ගේ වාර්ෂික බදු සැකැස්ම හෙවත් ATO tax return ලබා ගැනීමෙන් ඔවුන්ගේ ආදායම් තත්ත්වය පිළිබඳ නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාගත හැකි බවද UBS සමීක්ෂණ වාර්තාව පැහැදිලි කරයි.