කොරෝනා නිසා මාර්තු 28 මධ්‍යම රාත්‍රියේ සිට ඔස්ට්‍රේලියාවට බලපාන නවතම නීතිය මෙන්න, නිරෝධායන කටයුතු වලට හමුදාවත් යොදවයි (SBS සිංහල/ වාර්තා)

Australian Prime Minister Scott Morrison holds up a Coronavirus Isolation Declaration Card as he speaks to the media at Parliament House.

Australian Prime Minister Scott Morrison holds up a Coronavirus Isolation Declaration Card as he speaks to the media at Parliament House. Source: AAP

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනා දින 14 ක නිරෝධායනයකට අනිවාර්යෙන් ලක්විය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (27/03) තීරණය කළේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික පීඩාවන්ට පත් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ නිවාස කුලිය සහ ව්‍යාපාරික ස්ථාන වල කුලිය ගෙවීමේ අපහසුතා පිළිබඳවද අද මධ්‍යහනයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව වාර්තා වේ.
Coronavirus
Source: Pixabay

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනා දින 14 ක නිරෝධායනයකට

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනා දින 14 ක නිරෝධායනයකට අනිවාර්යෙන් ලක්විය යුතු බව අද මධ්‍යහනයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව අගමැති Scott Morrison නිවේදනය කළේය.

විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් වෙත මීට පෙර නියෝග කර තිබුණේ තම නිවසෙහිම ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙසය.

නමුත් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම ඉහළ යමින් පැවතීම නිසා සහ ඇතැම් පුද්ගලයින් එම ස්වයං නිරෝධායනය නිසි පරිදි නොකරන බව වාර්තා වීම නිසා මෙම නව නීතිය හඳුන්වා දීමට කටයුතු කර ඇත.

මෙම නව නීතිය හෙට (28/03) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් හට බලපැවැත්වේ.

ඒ අනුව හෙට (28/03) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු පිරිස් තම නිවෙස් වල නොව හෝටල් හෝ වෙනත් ස්ථානයක සිට දින 14 ක කාලයක් නිරෝධායනයකට ලක්වීම අනිවාර්ය වේ.

මේ හරහා අදාළ පුද්ගලයින්ගේ නිවැසියන් සහ සමීපතමයින්ව මෙම වයිරසයෙන් ආරක්ෂා කරගැනීමට අදහස් කරයි.

ටස්මේනියානු, දකුණු ඔස්ට්‍රේලියානු හෝ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වල යම් අයෙකු විදෙස්ගතව සිට මෙල්බර්න් හරහා ඔස්ට්‍රේලියාවට පැමිණේ නම් එම පුද්ගලයින් මෙල්බර්න් හි දින 14 ක නිරෝධායනයකට ලක්වීමෙන් අනතුරුව තම ප්‍රාන්තය කරා යා හැකි බවද අගමැතිවරයා පැවසුවේය.
Coronavirus
Source: Twitter

නිරෝධායන කටයුතු වලට ආරක්ෂක අංශ වල සහයත්

ලොව බොහෝ රවටල දේශ සීමා වසා දැමීම ආරම්භ කර ඇති බැවින් විශාල ප්‍රමාණයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙන අයුරු පසුගිය දින කිහිපයේම දක්නට ලැබුණි.

ඊයේ (26/03) දිනයේ පමණක් විදෙස්ගතව සිටි ඔස්ට්‍රේලියනුවන් 7,000 ක් පමණ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වෙත ගොඩබට බව වාර්තා විය.

මේ හේතුවෙන් විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ ස්වයං නිරෝධායන කටයුතු මැනවින් සිදු කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරටරි බලධාරීන් සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහයද ලබා දීමට මධ්‍යම රජය කටයුතු කර ඇත.
Australian Defence Force Soldiers
File photo. Source: AAP

lock-down එකක් තවම නැහැ

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතයයේ දැනට පවතින තත්ත්වය අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමකට (lockdown) මධ්‍යම රජය සූදානම් නැති බවද අගමැති මොරිසන් මෙම විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එනිසා lockdown යන වදන භාවිතා කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ අතර ඔස්ට්‍රේලියානු ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් සපුරාලීමට සමස්ත ඔස්ට්‍රේලියාවේම shopping centres සහ සුපිරි වෙළෙඳසල් නොකඩවා විවෘත කිරීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය.

එනිසා සුපිරි වෙළෙඳසල් වලට ගොස් උන්මත්තකව භාණ්ඩ මිලට ගැනීමක් අවශ්‍ය නොවන බවද ඔහු ජනතාවට සිහිපත් කළේය.
Scott Morrison considers making National Cabinet permanent
Source: AAP

නිවාස කුලී සහ ව්‍යාපාරික ස්ථාන වල කුලී ගෙවීම සඳහා සහනයක්

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ රැකියා සහ ආදායම් මාර්ග අහිමිවූ පුද්ගලයින්ට තම නිවාස කුලිය සහ ව්‍යාපාරික ස්ථානයේ කුලිය ගෙවීමේදී සහන සැලසීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව අගාමති මොරිසන් පැවසීය.

කොරෝනා වසංගතය පවතින කාලයේදී තම කුලී නිවාස වල නිවාස කුලිය අඩු කරන කුලී නිවාස හිමියන්ට ආදායම් බදු කප්පාදුවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් විසඳුම් නුදුරේදීම ප්‍රකාශ කරන බව ද අගමැති මොරිසන් පැවසීය.

මේ අතර කොරෝනා අර්බුදය හමුවේ නිවාස කුලිය ගෙවීමට නොහැකිව කුලී නිවාස වලින් කුලී නිවැසියන්ව නෙරපා හැරීමට කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීසි ඉල්ලා සිටියි.

කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවාස කුලිය ගෙවීමට අපහසුතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට දින 120 ක සහන කාලයක් ලබා දීමට ටස්මේනියානු ප්‍රාන්තය මේ වන විටත් කටයුතු කර ඇත.
Coronavirus
Source: SBS Sinhala

Share
Published 27 March 2020 4:12pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends