ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ට පිදෙන ඉහළම සම්මානයකින් පිදුම් ලැබූ දුලාරි SBS සිංහල සේවයට කියූ කතාව

පසු ගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් සදහා පිදෙන ජාතික විශිෂ්ටතා සම්මාන ( National Excellence in Teaching Awards Seed Award) පිරිනැමීමේදී එහි පෙර පාසල් ගුරුවරුන් සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූ වික්ටෝරියානු ප්‍රාන්තයේ දුලාරි ගෝනවල සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.

Dulari Gonawala, a Sri Lankan Australian recently won a prestigious National Excellence in Teaching Award (NEiTA)

Dulari Gonawala, a Sri Lankan Australian recently won a prestigious National Excellence in Teaching Award (NEiTA)

Key Points
  • දුලාරිට හිමි වන ජාතික ගුරු විශිෂ්ටතා සම්මානයේ විශේෂත්වය
  • ජාතික ගුරු විශිෂ්ටතා සම්මානයක් දුලාරිට හිමි වීමට දුලාරිගේ ඇති විශේෂත්වය
  • ඔස්ට්‍රේලියානු සංස්කෘතික උරුමයන් මත පදනම් වූ bush tucker උද්‍යානය
  • ජාතික මට්ටමේ සම්මානයක් හිමි කර ගැනීම දක්වා දුලාරිගේ ගමන් මග
  • දුලාරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ආකාරය හා ඇගේ පවුල් පසුබිම
  • වෘත්තීය තුළ උපරිම සාර්ථක වූ දුලාරි ප්‍රජාවට දෙන පණිවිඩය
දුලාරිට හිමි වන ජාතික ගුරු විශිෂ්ටතා සම්මානයේ විශේෂත්වය

National Excellence in Teaching Awards පදනම මගින් වසර 28ක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ගුරුවරුන්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ජාතික ගුරු විශිෂ්ටතා සම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරයි.මෙහිදී ගුරු වෘත්තිය තුළ කැපී පෙනෙන සුවිශේෂී දායකත්වයක් දක්වන ගුරුවරුන් , විදුහල්පතිවරුන් මෙන්ම ගුරු කණ්ඩායම් ද විවිධ කාණ්ඩ යටතේ ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් කරයි.

පසුගිය 2022 වසරේ සම්මාන වැඩසටහනේ ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් ගුරුවරුන් දෙදෙනෙකුට පමණක් හිමි වන ජාතික විශිෂ්ටතා සම්මානයකින් (Seed Award) පිදුම් ලබන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සිටින ශ්‍රී ලංකේය පසුබිමක් ඇති දුලාරි ගෝනවලය
ලොව විශිෂ්ටතම ගුණාත්මක අධ්‍යාපන ක්‍රම ඇති රටවල් අතරින් ඉහළින්ම සිටින රටක් වන ඔස්ට්‍රේලියාවේ ඉහළම වෘත්තීය නිපුණතා අවැසි ගුරු වෘත්තීය තුළ ලැබිය හැකි ඉහළම ඇගයීමක් හිමි වීම සුළුපටු කාරණයක් නොවේ.

ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂයෙන්ම child care ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ප්‍රජාවක් ලෙස අපට දුලාරිගේ මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ ඒ නිසාමයි.

Dulari with center director.jpeg
Dulari Gonawala with her center director who nominated her for the NEiTA Seed Award recognising her outstanding contribution in teaching

එමෙන්ම තවත් එක් දරුවන් රැකබලාගන්නියක් හෝ පෙර පාසල් ගුරුවරියක් නොවන්නට ඇය ඇගේ ගුරු ජීවිතය තුළ සිදු කළ කැපකිරීම් සහ දායකත්වයන් මෙසේ ප්‍රජාව මගින් නම් කෙරෙන ජාතික මට්ටමින් පිරි නැමෙන විශිෂ්ටතා සම්මානයකින් ඇගයෙන්නේ දුලාරිගේ ඇති විශේෂතා නිසාමයි.

ජාතික ගුරු විශිෂ්ටතා සම්මානයක් දුලාරිට හිමි වීමට දුලාරිගේ ඇති විශේෂත්වය

පෙර පාසල් දරුවෙක් ගෙම්බන් හැදෙන හැටි ඇසූ විට ඉස්ගෙඩියන් අල්ලා ගෙනවිත් ගෙම්බන් හැදෙන හැටි දරුවන්ට දෑසින්ම දැක ගන්න ඉඩ දී ඒ මගින් සතුන්ගේ ජීවන චක්‍රය ගැන උගන්වන්නට දුලාරි අවස්ථාව සලසා ගත්තාය.

ගෙම්බන්ට ආහාර ලෙස තණකොළ පෙත්තන් කෑමට දී , එමගින් සමස්ථ ආහාර දාමය ගැනම ඇය දරුවන්ට උගන්වන්නේ මේ තවම පෙර පාසල් දරුවන් යැයි සීමා නැතිව ඔවුන්ගේ ඉගෙනීමේ නිම් වළලු හැකි උපරිමයෙන් පුළුල් කිරීමේ අටියෙනි.

විදුලිය ගැන දැන ගන්නට කැමැත්තක් දැක්වූ දරුවන්ට විදුලි පරිපථ ගෙදරින් සාදා ගෙනවිත් පෙන්වා උගන්නන්නට තමාට ගත වන අමතර කාලය ගැන දුලාරි දෙවරක් නොසිතුවාය.

———————————————————————————————————

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට

· SBS සිංහල වෙබ් අඩවියෙන්

· SBS Audio APP එකෙන් (Free)

——————————————————————————————————-

තවත් විටෙක ඩයිනෝසරයන් ගැන දුලාරිගේ පන්ති කාමරයේ දරුවෙකු ඇසූ පැනයක් නතර වන්නේ කුඩා ඩයිනෝසර උද්‍යානයක් ඉදි කරමිනි. ඒ ව්‍යාපෘතිය තුළ ඇසූ තවත් පැනයක ප්‍රතිඵලයක් ලෙස ඇගේ සිසු දරුවන්ට ගිනිකඳු පිපිරීමේ විද්‍යාත්මක පරීක්ෂණය සිදු කිරීමට අවස්ථාව හිමි වේ.

පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ ස්වාධීන විමසුම් මත පදනම් වූ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය මනාව අවබෝධ කර ගත් ඇය මෙසේ විවිධ වූ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ව්‍යාපෘති (STEM projects) පෙර පාසල් පන්ති කාමර තුළ දරුවන්ගේ විමසුමින් සහ සැලසුමින් ක්‍රියාත්මක කළාය.

InkedSBS 1_LI.jpg
Dulari with her kinder stuidents exploring the bush tucker garden
එක් ව්‍යාපෘතියක් අවසන් කරන විට ඇය කල්පනා කරන්නේ දරුවන් සමඟ සිදු කරන මීළඟ ව්‍යාපෘතිය ඊටත් වඩා ඉහළ මට්ටමින් සිදු කරන්නේ කෙසේද යන්නයි.

දුලාරිට මෙම ජාතික ගුරු විශිෂ්ටතා සම්මානය හිමි වීමට ආසන්න හේතුව වන්නේත් කතන්දර පොතක් අසා සිටින පෙර පාසල් දරුවකු කුතුහලයෙන් විමසන පැනයකට , දුලාරි ලබා දෙන විශිෂ්ට වූ ප්‍රතිචාරයයි
ඔස්ට්‍රේලියාවේ ස්වදේශික සංස්කෘතිය පිළිබඳ කතාන්දර පොතක් දුලාරි සිය දරුවන්ට කියා දෙමින් සිටී.

" ටීචර් bush tucker garden කියන්නේ මොකද්ද? "

"මමත් හරියටම දන්නෙ නෑ පුතේ. හොඳයි අපි එකතු වෙලා ඒ ගැන වැඩිදුර තොරතුරු හොයල බලමු"

ඔස්ට්‍රේලියානු සංස්කෘතික උරුමයන් මත පදනම් වූ bush tucker උද්‍යානය

දුලාරි සිය පෙර පාසල් දරුවන් සමග අන්තර්ජාලය, පොත් පත් සහ විවිධ මූලාශ්‍ර ආශ්‍රයෙන් bush tucker උද්‍යාන ගැන කරුණු ගවේශනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආදි වාසී ඇබොරිජිනල්වරුන්ගේ bush tucker උද්‍යාන වල ඇති වැදගත්කම වහාම අවබෝධ කර ගත් දුලාරි සිය පෙර පාසල තුළ එවැනි උද්‍යානයක් ඇති කිරීමට මූලිකත්වය ගෙන තිබේ.

පළාතට ආවේණික ආහාර සහ බෙහෙත් පැළෑටි වලින් යුතු bush tucker උද්‍යානයක් සකස් කිරීමට දුලාරි සේවය කළ ආයතනයට මූල්‍ය ප්‍රතිපාදන නොතිබූ නමුත් ඉන් පසු බට නොවුණු ඇය එම උද්‍යානයේ සැලසුමේ සිට සෑම ක්‍රියාකාරකමක්ම ඉගෙනුම් අවස්ථාවක් බවට පත් කරමින් පෙර පාසල් දරුවන් සමග මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර තිබේ.

Bush tucker උද්‍යානයක් පිහිටුවීමේ ව්‍යාපෘතිය ගැන පළාත් පාලන කවුන්සිලය, පළාතේ පැළ තවාන් මධ්‍යස්ථාන මෙන්ම වෙළඳ ආයතන වලට ලිපි යොමු කළ දුලාරිට මෙම කටයුත්තට ඔවුන්ගේ නොමසුරු දායකත්වය මෙන්ම ඇයගේ ආයතනයේ අධ්‍යක්ෂවරිය ඇතුළු කණ්ඩායමේද දරුවන්ගේ දෙමව්පියන්ගේ සහයද ලැබී තිබේ.

InkedCapture_LI.jpg
STEM Projects for kinder by Dulari
බීජ වලින් පැළ ඇති වන ආකාරය , ඒවා ආහාර වලට, ඖෂධ වලට භාවිතා කරන ආකාරය ගැන දරුවන්ට අත්දැකිම් ඇසුරෙන්ම ඉගෙනීමට මෙම bush tucker උද්‍යානය මගින් මහඟු අවස්ථාවක් ලැබී තිබේ.

එමෙන්ම එහි ඇති රසබර බෙරි වර්ග මෙන්ම නිවිති වැනි පලා වර්ග පෙර පාසලේ දිවා ආහාර වේල් වලට එක් කර ගැනීමටද අතිරික්තය පෙර පාසලේ ප්‍රජාව අතර බෙදා ගැනීමට තරම් දුලාරිගේ මූලිකත්වයෙන් ප්‍රජාවට තිළිණ කල මෙම සුන්දර bush tucker උද්‍යානය පල දරා තිබේ.

ජාතික මට්ටමේ සම්මානයක් හිමි කර ගැනීම දක්වා දුලාරිගේ ගමන් මග

2014 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ ළමුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය, විද්‍යා ගණිත ගුරුවරියක් වූ දුලාරි සිය ගුරු ජීවිතයට අතපොත් තබා තබන්නේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයෙනි.

වයස අවුරුදු දෙකහමාරක පුතෙකු සහ මාස 10ක බිළිඳියක් සමග ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇය මෙරටට පැමිණි විගස රැකියාවක් කිරීමට අදහස් නොකළාය.

Certificate 3 in Early childhood education සහ Diploma in early childhood education යන පාඨමාලා සපුරමින් Childhood educator කෙනෙක් ලෙස ඇය රැකියාවක් ආරම්භ කරන්නේ පවුලේ ආර්ථිකයට සවියක් වීමට ඇවැසි නිසාවෙනි.

ජීව විද්‍යා උපාධියක් හා විද්‍යා පීඨ ගුරු ඩිප්ලෝමාවක් තිබූ දුලාරි සිය ගුරු වෘත්තීය සුදුසුකම් සහ හැකියාව අපතේ යා නොදී ඉදිරියටම යාමට තීරණය කළේ මේ අතරයි.

IMG_9439.jpeg
Dulari with her family

Victoria Institute of Teaching ආයතනය අමතා අවශ්‍ය සුදුසුකම් ගැන දැනුවත් වූ දුලාරි පූර්ණ කාලීන රැකියාවේ නියැලෙමින,් අර්ධ කාලීනව Postgraduate diploma in Early childhood education පාඨමාලාව, රැකියාව සහ දරුවන් සමග තිබූ එකම ක්‍රමය වූ online තාක්ෂණය ඔස්සේ සම්පූර්ණ කරමින් මීට වසර 4කට පෙර වික්ටෝරියානු ප්‍රාන්තයේ පෙර පාසල් ගුරුවරියක ලෙස ලියාපදිංචි වූවාය.

මෙම ජාතික ගුරු විශිෂ්ටතා සම්මානය ලැබීමත් සමඟ රැකියාවේ උසස් වීමක් ලැබූ දුලාරි දැන් ඇගේ ආයතනයේ ගුරු උපදේශිකාවක් ලෙස කටයුතු කරයි.

දුලාරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ආකාරය හා ඇගේ පවුල් පසුබිම

මාලඹේ හෝකන්දර උපන් දුලාරි සිය ප්‍රාථමික අධ්‍යාපනය නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් සම්පූර්ණ කර තිබේ.

කොළඹ විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය හැදෑරූ ඇය විවාහයෙන් පසු 2014 වසරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර ලංකාවේ දී වසර පහක් ගුරුවරියක ලෙස සේවය කර තිබේ.

ඇගේ ගමනට ආශිර්වාදයක් වූ අම්මා, අප්පච්චි සහ නැගණිය ආදරයෙන් සිහිපත් කළ දුලාරි ඇගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වයට ඇගේ අම්මා රැකුලක් වූ හැටි ආදරයෙන් සිහිපත් කළාය.

දරු දෙදෙනා සමග නොදන්නා රටක නමුත් නොඅඩුව සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්නට සෙවනැල්ලක් වන් ආදරණීය සැමියා කල්හාර ලබා දුන් සහයෝගයද ඇය ගෞරවයෙන් සිහිපත් කළාය.

වෘත්තීය තුළ උපරිම සාර්ථක වූ දුලාරි ප්‍රජාවට දෙන පණිවිඩය

ශ්‍රී ලාංකික පසුබිමක් ඇති ඔස්ට්‍රේලියානුවෙක් ලෙස, එමෙන්ම තමන්ගෙ වෘත්තීය තුළ උපරිම ලෙස සාර්ථක වුණ කාන්තාවක් ලෙසත් සංක්‍රමණික අපේ ප්‍රජාවට ඇය ලබා දෙන පණිවිඩය කුමක්දැයි විමසූ විට දුලාරි,

තමන් පිළිබඳ හොද විශ්වාසයක් තියා ගන්න.තමන් කරන දේ තමාට හැකි උපරිමය ඉටු කරන්න.
යනුවෙන් පැවසුවේය තමා පිළිබඳ උපරිම විශ්වාසය තබා කටයුතු කර එහි අග්‍ර ඵලය නෙලා ගත් ජයග්‍රාහිකාවක් ලෙසිනි.

උදාහරණයක් විදියට ඇගේ අත්දැකීම් විස්තර කල දුලාරි කියා සිටියේ ඇය ඇගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සදහා වූ ස්වේච්ඡා ශිෂ්‍ය සීමා වාසික කාලය මුදල් නොලැබීම ගැන නොසිතා උපරිම කැපවීමෙන් ඉටු කල බවයි. ඒ නිසාම ඇයට ඇය සේවය කල පළමු ආයතනයෙන්ම පළමු රැකියාව හිමි වී තිබේ.

ඇය ආ ගමන්මග මල් යහනාවක් නොවූ බව කියා සිටි දුලාරි රැකියාවේ මුල් අවධියේ බාලාංශ පන්තියේ ගීයක් වත් නොදැන උසුළු විසුළු වලට ලක් වූ විට දරා ගැනීමට සිදු වූ අවස්ථා තිබූ බවත් සිහිපත් කළාය.

Growth mind set , refletion වැනි ධනාත්මක සංකල්ප මගින් වෙනස් අලුත් නිර්මාණශීලී දෑ කළ හැකි වන බවත් විශේෂයෙන්ම කාන්තාවන්ට සිය පවුලේ කටයුතු සහ රැකියාව සමබරව තබා ගෙන තම අරමුණු කරා යා හැකි බව ඇය පෙන්වා දුන්නාය.

බිළිඳු දරුවන් දෙදෙනෙක් රැක බලා ගනිමින්, පූර්ණ කාලීන රැකියාවක් කරමින් වැඩිදුර අධ්‍යාපනය සපුරාලමින් තමාට වෘත්තීය ජීවිතය තුළ මෙසේ සාර්ථක වීමට හැකි වුණේ දුලාරි ඇය පිළිබඳ තදින්ම විශ්වාස කළ නිසා බව ඇය පැවසුවාය.

———————————————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share
Published 14 June 2023 8:36pm
Updated 15 June 2023 7:10am
By Athini Amarasiri
Source: SBS

Share this with family and friends