අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ ICC තහනම ඉවතට: මැයි 11දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 11 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

ICC ban on Avishka Gunawardena has been lifted_ SBS Sinhala radio on news on 11 May 2021

Awishka Gunawardana

Highlights
  • 2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අය වැය අද රාත්‍රියේදී ඉදිරිපත් කෙරේ. ළමා, වැඩිහිටි සහ ආබාධිත පුද්ගල රැකවරණ සේවා සඳහා වැඩි අවධානයක්
  • ඉන්දියාවට එරෙහි සංචාරක තහනමට එරෙහිව පනවා තිබු නඩුවේ ඇතැම් කරුණු වලට ෆෙඩරල් උසාවිය එකඟ නොවෙයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 40 වයස් ඛාණ්ඩයේ පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීම ඇරඹේ
  • ඔස්ට්‍රේලියාව පුරාම වාර්තාගත ලෙස කොවිඩ් එන්නත් ලබාදීමක් මේ සතියේදී
  • ශ්‍රී ලංකාවේ සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට පළාත් අතර සංචාරණ සීමා පැනවේ.
  • ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව භයානක ලෙස ඉහල යා හැකි බවට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්
  • අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ ICC තහනම ඉවතට

2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අය වැය අද රාත්‍රියේදී

2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අය වැය අද රාත්‍රියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර අයවැය දී ළමා, වැඩිහිටි සහ ආබාධිත පුද්ගල රැකවරණ සේවා සඳහා වැඩි මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

භාණ්ඩාගාරික ජොෂ් ෆරයිඩන්බර්ග් විසින් අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙවර එය COVID-19 වෙතින් ඕස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන අයවැයක් වනු ඇති බවට පුරෝකථනය කෙරේ.

එසේම මෙවර අයවැයෙන් ඉදිරි වසර 10 තුළ ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 10 ක ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා වන රැකියා උත්පාදනය සඳහා යොදා ගන්නා බව භාණ්ඩාගාරික ජොෂ් ෆරයිඩන්බර්ග් පවසයි. රජය පවසන්නේ විරැකියා අනුපාතය සියයට පහකට වඩා අඩු මට්ටමකට ගෙන ඒම එහි අරමුණ බවයි.

දේශගුණික විපර්යාස සඳහා අයවැයෙන් වැඩි ඉඩ ඉල්ලා අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ   

දේශගුණික විපර්යාස වලට එරෙහි ක්‍රියාකාරීන් විසින් අද අයවැය සඳහා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණෙන මෝටර් රථ ඇතුළු වීමේ අංගනය අවහිර කොට ගනිමින් උද්ඝෝෂණයේ යෙදීමට නියමිත බවද වාර්තා වේ. Extinction Rebellion group නම් වන සංවිධානයට අයත් මෙම ක්‍රියාකාරීන් පවසනුයේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා වන නිශ්චිත පියවර මෙවර ෆෙඩරල් අයවැයට ඇතුළත් කළ යුතු බවයි.

ඉන්දියාවට එරෙහි සංචාරක තහනමට එරෙහිව පනවා තිබු නඩුවේ ඇතැම් කරුණු වලට ෆෙඩරල් උසාවිය එකඟ නොවෙයි

ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි කරුවනට ඕස්ට්‍රේලියානු රජය විසින් පනවා ඇති තාවකාලික සංචාරක තහනමට අභියෝග කරමින් ගොනු කරනු ලැබූ නඩුව මඟින් ඉදිරිපත් කොට ඇති නීතිමය කාරනා වලින් කොටසක් ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි.

වසරකට වැඩි කාලයක් ඉන්දියාවේ බැංගලෝරයේ සිරවී සිටින 73 හැවිරිදි මෙල්බර්න් හි ගැරී නිව්මන් නැමැත්තා විසින් පසුගිය සතියේදී මධ්‍යම රජයේ සංචාරක තහනමට එරෙහිව නඩුවක් ගොනු කළේය.

ඔහුගේ නීතිඥයින් අධිකරණයට කියා සිටියේ පසුගිය දෙසතිය තුළ ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම වලක්වන ජෛව ආරක්ෂණ නියෝගය නිසා ආපසු සිය රට බලා යාමට ඇති ඕස්ට්‍රේලියානුවන් ගේ පොදු මහජන අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි.

නමුත් මේ සඳහා ප්‍රති තර්ක ඉදිරිපත් කල රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ, මෙම නීතිය සමස්ත රටම වෙනුවෙන් රැගත් ජාතික තීරණයක් බැවින්, එහි වැදගත්කම, එක් පුද්ගලයෙකු වෙනුවෙන් ඇති පොදු මහජන නීතියට යටත් නොවන බවයි.

මේ සඳහා ඉදිරිපත් කල හැකි අතිරේක ව්‍යවස්ථාමය කරුණු දෙකක් පිළිබඳව මේ වන විට චුදිත පාර්ශවයේ නීතිඥයින් විසින් කරුණු අධ්‍යනය කරමින් පවතින බව වාර්තා වේ.

මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 9,000 ක් පමණ මෙරටට ආපසු පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටී. මධ්‍යම රජය විසින් පනවනු ලැබූ මෙම සංචාරක තහනම මැයි මස 15 දා දක්වා ක්‍රියාත්මක වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 40 වයස් ඛාණ්ඩයේ පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීම ඇරඹේ

තව සති කිහිපයක් ඇතුළත වයස අවුරුදු 40 ත් 49 ත් අතර වයසේ පසුවන නිව් සවුත් වේල්ස් වැසියන්ට, සිඩ්නි නුවර ඉදිකෙරුණු නව කේන්ද්‍රස්ථානයක දී ෆයිසර් COVID-19 එන්නත ලබා ගත හැකි වේ.

1a සහ 1b කාණ්ඩවල පුද්ගලයින් සඳහා රජය විසින් මෙහෙයවනු ලබන Covid 19 එන්නත් කිරීමේ මධ්‍යස්ථානය ඊයේ (10 May) විවෘත විය. මෙමඟින් සතියකට එන්නත් 30,000 ක් ලබාදීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසා සිටී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පුද්ගලයින් හට ප්‍රාන්ත රජයේ වෙබ් අඩවිය වන nsw.gov.au වෙත පිවිස, එන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචි වන ලෙසට ඇය තම ප්‍රාන්ත වැසියනට දන්වා සිටී.

මේ අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව තුළ තවදුරටත් COVID-19 රෝගීන් වාර්තා වී නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශය කියා සිටි. කෙසේ වෙතත් පසුගිය සතියේ දී නැගෙනහිර සිඩ්නි හි පුද්ගලයෙකු හට ඇමරිකානු නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නොමැති බවද සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා සිටී.

ඔස්ට්‍රේලියාව පුරාම වාර්තාගත ලෙස කොවිඩ් එන්නත් ලබාදීමක් මේ සතියේදී 

මේ සතිය තුලදී වාර්තාගත COVID-19 එන්නත් සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාව පුරා ඇති මධ්‍යස්ථාන හරහා ජනතාවට ලබාදීමට හැකිවෙතැයි කොවිඩ් එන්නත්කරන වැඩසටහනේ සම්බන්ධීකාරක, කොමදෝරු එරික් යං විශ්වාසය පලකොට සිටී.

පසුගිය සතියේදී පමණක් පුද්ගලයින් 40,000 කට අධික පිරිසකට එන්නත් ලබාදීමට හැකිව තිබේ. මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහන ආරම්භ වුනු මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මිලියන 2.3 ක පුද්ගලයින් සංඛ්‍යාවකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇත.

මේ සතියේදී ඇණවුම් 5,000 ක් හරහා එන්නත් මාත්‍රා 9,00,000 ක් රට පුරා බෙදා හැරීමට නියමිතව ඇති බව කොවිඩ් එන්නත්කරන වැඩසටහනේ සම්බන්ධීකාරක, කොමදෝරු එරික් යං ප්‍රකාශ කොට සිටී.

ශ්‍රී ලංකාවේ සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට පළාත් අතර සංචාරණ සීමා පැනවේ. 

ශ්‍රී ලංකාවේ දැනට පවතින සීග්‍ර කොවිඩ් ආසාදන ව්‍යාප්තිය අවම කිරීමේ අභිලාශය පෙරදැරිව, සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 වසංගතය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක සියලු පාර්ශ්ව සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා මෙම පළාත් අතර සංචරණ තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.

ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීම, අසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම ආදිය සඳහා ද උපදෙස් ලබාදී තිබේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව භයානක ලෙස ඉහල යා හැකි බවට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් ආසාදන ව්‍යාප්තිය හමුවේ සැප්තැම්බර් මස 01 වනදා වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවනු ඇතැයි අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් පුරෝකථනය කොට තිබේ. මෙම ආයතනය කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයක නිරත ප්‍රමුඛ පෙලේ ආයතනයකි.

එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 200 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. 

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එවැනි තත්ත්වයක් රටතුළ ඇති නොවීමට පියවර ගන්නා බවයි.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයින් 1581 ක් වාර්තා වී තිබේ. එසේම කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.

අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ ICC තහනම ඉවතට  

අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ICC ය තීරණය කරයි

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය  තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර අවිෂ්කට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කාර්යකට සහභාගිවීමට නොහැකි ආකාරයට තාවකාලික තහනමක් ICC ය විසින් පනවනු ලැබිණ.

අබුඩාබිහිදී 2017 වසරේ පැවැති ටී10 තරගාවලියේදී තරග පාවාදුන්නේ යැයි අවිෂ්කට එල්ල වුනු චෝදනා හමුවේ ඔහුට මෙම තරඟ තහනම පැනවිණ. 

** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - මැයි මස 11 අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Share
Published 11 May 2021 6:57pm
Updated 11 May 2021 7:10pm
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends