ඔස්ට්‍රේලියාවේ අග නගර හයක නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට (SBS සිංහල/ වාර්තා)

නවතම දත්ත වලට අනුව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, කැන්බරා සහ හෝබාර්ට් යන අග නගරවල නිවාස මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

Australian Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අග නගර හයක නිවාස මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, කැන්බරා සහ හෝබාර්ට් යන අග නගරවල නිවාස මිල මෙසේ ඉහළ ගොස් ඇත.


Highlights

  • 2021 මාර්තු කාර්තුව අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළතම නිවාස මිල මධ්‍යන අගයක් පෙන්නුම් කර ඇත්තේ සිඩ්නි නුවරය.
  • පසුගිය වසරට සාපේක්ෂව බලන කල නිවාස මිලෙහි ඉහළම වර්ධනයක් පෙන්නුම් කරනුයේ කැන්බරා නුවර වන අතර එය ප්‍රතිශතයක් ලෙස 19.5% ක වර්ධනයකි.
  • ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයක තිබීමද නිවාස මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.

අග නගර හයක නිවාස මිල ඉහළට

කොරෝනා වසංගතයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අග නගර හයකම නිවාස මිල ප්‍රථම වරට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

නවතම දත්ත වලට අනුව එම අග නගර සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, කැන්බරා සහ හෝබාර්ට් බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

2021 මාර්තු කාර්තුව අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ඉහළතම නිවාස මිල මධ්‍යන අගයක් (median house price) පෙන්නුම් කර ඇත්තේ සිඩ්නි නුවරය.

එය ඩොලර් මිලියන 1.3 කි.

2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට සිඩ්නි නුවර නිවාස මිල මධ්‍යන අගය පැවතියේ ඩොලර් මිලියන 1.2 ක් ලෙසටය.

මෙල්බර්න් නුවර මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර 2021 මාර්තු කාර්තුව අවසන් වන විට මෙල්බර්න් නුවර නිවාස මිල මධ්‍යන අගය ඩොලර් ලක්ෂ 9.5 ක් පමණ වන බව සඳහන්.

2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට එය පැවතියේ ඩොලර් ලක්ෂ 9.3 ක් ලෙසය.

2021 මාර්තු කාර්තුව අවසන් වන විට නිවාස මිල මධ්‍යන අගය ඩොලර් ලක්ෂ 6.3 ක් පමණ වාර්තා කරමින් බ්‍රිස්බේන් නුවර මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත.

2020 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට බ්‍රිස්බේන් නුවර නිවාස මිල මධ්‍යන අගය පැවතියේ ඩොලර් ලක්ෂ 6.2 ක් ලෙසටය.
Australian Housing Market
What are the opportunities and benefits provided to home buyers in Australia by this Federal Budget? Source: AAP

2021 මාර්තු කාර්තුව අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ අග නගරවල නිවාස මිලෙහි මධ්‍යන අගය

  • සිඩ්නි -  $1,309,195
  • මෙල්බර්න් - $974,397
  • බ්‍රිස්බේන් - $632,999
  • ඇඩිලේඩ් - $599,706
  • කැන්බරා - $927,577
  • හෝබාර්ට් - $601,567
  • පර්ත් - $578,612
  • ඩාර්වින් - $554,295
පසුගිය වසරට සාපේක්ෂව බලන කල නිවාස මිලෙහි ඉහළම වර්ධනයක් පෙන්නුම් කරනුයේ කැන්බරා නුවර වන අතර එය ප්‍රතිශතයක් ලෙස 19.5% ක වර්ධනයකි.

පසුගිය වසරට සාපේක්ෂව හෝබාර්ට් නුවර නිවාස මිලෙහි වර්ධනය 15.9% ක් වන අතර සිඩ්නි නුවර නිවාස මිලෙහි වර්ධනය 12.6% කි.

පසුගිය වසරට සාපේක්ෂව බලන කල නිවාස මිලෙහි අඩුම වර්ධනයක් පෙන්නුම් කළ අග නගරය ලෙස බ්‍රිස්බේන් නුවර වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස 6.2% කි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිවාස මිල ඉහළ යාමට හේතු

2021 මාර්තු කාර්තුවෙන් අවසන් වූ කාලයේ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාමට හේතු කිහිපයක් Domain වෙබ් අඩවිය ඉදිරිපත් කරයි.

අදාළ කාලය තුළ අලෙවිය සඳහා අඩු නිවාස සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පවසයි.

අඩු නිවාස සංඛ්‍යාවක් නිවාස වෙළෙඳපොළට ඉදිරිපත් වූ විට ඒවා අතර වැඩි තරගයක් හටගනී. එනිසා නිවාස මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයක තිබීමද මෙලෙස නිවාස මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.

එමෙන්ම first-home buyer හෙවත් පළමු නිවාසය මිලදී ගන්නන් හට ලබාදෙන දීමනාව, මුද්දර ගාස්තු සහනය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොරෝනා සහන පැකේජයක් ලෙස ලබාදුන් HomeBuilder දීමනාව ද මේ සඳහා හේතුවී තිබේ.

Share
Published 29 April 2021 10:50am
By Madhura Seneviratne

Share this with family and friends