Omicron හමුවේ 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පාසල් ඇරඹීම පිළිබඳ ගත් නවතම තීරණ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ Omicron වයිරසය පැතිරී යාම මධ්‍යයේ පාසල් නැවත විවෘත කළ යුතු ආකාරය සහ විවෘතව තැබිය යුතු ආකාරය පිළිබඳව ජාතික කැබිනට් මණ්ඩලයේ එකඟතාවක් ඇති නොවූ බව වාර්තා වේ.

Here are the latest return-to-school rules in Australia

Here are the latest return-to-school rules in Australia Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ නවතම තීරණ කිහිපයක් ගැනීමට ජාතික කැබිනට් මණ්ඩලය අද මධ්‍යහනයේ යළි රැස්විය.

එහිදී ඔස්ට්‍රේලියාවේ කොවිඩ් සමීප ආශ්‍රිතයින් පිළිබඳ නිර්වචනය, 2022 වසරේ පළමු වාරය සඳහා කොවිඩ් ආරක්ෂිතව පාසල් විවෘත කිරීම යන කරුණු එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කෙරිණි.


Highlights

  • කොවිඩ් ආසදිතයින් සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන දින 7 ක හුදකලා වීමේ කාලය නොවෙනස්ව එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.
  • 2022 වසර සඳහා පාසල් යළි විවෘත කිරීම පිළිබඳ නීති හා කොන්දේසි ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් ඉදිරි දින කිහිපය තුළ වෙන වෙනම නිවේදනය කරනු ඇත.
  • වයිරසයට ධනාත්මක වූ සිසුවෙකු සිටින පන්ති කාමරයක් තුළ සිටීමෙන් ඔබ සමීප ආශ්‍රිතයෙකු නොවන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.

කොවිඩ් සමීප ආශ්‍රිතයින්

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවාවල ශ්‍රම බලකායේ කොවිඩ් සමීප ආශ්‍රිතයින් සඳහා පනවා ඇති විධිවිධාන ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද (20/01) එකඟ විය.

සේවකයින් නැවත සේවයට වාර්තා කිරීම මෙන්ම රෝහල්වල සේවකයින්ට අමතර පීඩනයක් ගෙන නොදීම අතර සමතුලිතභාවය ආරක්ෂා කරගැනීමට මෙය ඉවහල් වන බව මධ්‍යම රජය පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අනුමත කර කොවිඩ් ආසදිතයින් සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන දින 7 ක හුදකලා වීමේ කාලය නොවෙනස්ව එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
Australian Prime Minister Scott Morrison
Australian Prime Minister Scott Morrison Source: AAP

2022 වසර සඳහා පාසල් විවෘත කිරීම

ඔස්ට්‍රේලියාවේ Omicron වයිරසය පැතිරී යාම මධ්‍යයේ පාසල් නැවත විවෘත කළ යුතු ආකාරය සහ විවෘතව තැබිය යුතු ආකාරය පිළිබඳව ජාතික කැබිනට් මණ්ඩලයේ එකඟතාවක් ඇති නොවූ බව වාර්තා වේ.

නමුත් පාසල් විවෘතව තැබීමට වග බලා ගත යුතු බවට ප්‍රාන්ත සහ ටෙරටරි නායකයින් එහිදී එකඟ වූ බව අගමැති Scott Morrison පැවසීය.

පසුගිය සතියේ ජාතික කැබිනට් මණ්ඩලය පාසල් ආශ්‍රිතව ප්‍රධාන මූලධර්ම මාලාවකට එකඟ වූ අතර, වයිරසය පැතිරී යාමේදී ඒවා විවෘතව තබා ගැනීමට ප්‍රමුඛතාවයක් ලබාදීම මගින් දෙමාපියන්ට නොකඩවා රැකියාවට යාමට හැකි බවට එකඟ විය.

නමුත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අද දිනයේ කිසිදු සම්මුතියකට පැමිණීමට ප්‍රාන්ත හා ටෙරටරි නායකයින් අසමත් විය.
ඒ අනුව 2022 වසර සඳහා පාසල් යළි විවෘත කිරීම පිළිබඳ නීති හා කොන්දේසි ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් ඉදිරි දින කිහිපය තුළ වෙන වෙනම නිවේදනය කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පැවසීය.

පාසල් විවෘතව නොපවතින්නේ නම් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායේ සේවයට වාර්තා නොකිරීම 10% සිට 15% දක්වා වැඩි වන බවත් එය ඔස්ට්‍රේලියානු ආර්ථිකයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර පාසල් ගුරුවරුන් හෝ සිසුන් නිතිපතා කොවිඩ් සඳහා පරීක්‍ෂා කිරීම නිර්දේශ කරන වෛද්‍ය උපදෙස් ජාතික කැබිනට් මණ්ඩලයට ලැබී නොමැති බවද අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

නමුත් ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි පාසල් විවෘතව තබා ගැනීමට උපකාරී වනු ඇතැයි විශ්වාස කරන්නේ නම් කොවිඩ් පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා මධ්‍යම රජයේ මුල්‍ය සහයෝගයද ලැබෙන බව ඔහු පැවසුවේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


පාසල්වල සමීප ආශ්‍රිතයින්

ළමුන් යළි පාසල් වෙත පැමිණෙන විට කොවිඩ් වයිරසයේ සම්ප්‍රේෂණය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.

එමෙන්ම වයිරසයට ධනාත්මක වූ සිසුවෙකු සිටින පන්ති කාමරයක් තුළ සිටීමෙන් ඔබ සමීප ආශ්‍රිතයෙකු නොවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව සමීප ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට පවතින නිර්වචනයම ළමයින්ට ද අදාළ වන බව  මහාචාර්ය Paul Kelly සඳහන් කළේය.

ඒ අනුව යම් සිසුවෙකුගේ නිවසේ යම් ආසාදිතයෙකු සිටී නම් එවිට අදාළ සිසුවා පාසලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය.

Share
Published 20 January 2022 4:16pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends