ගෙදර අය දුප්පත් කමෙන් රැක ගන්නේ ඔසී ඉදන් සල්ලි යවන නිසයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සිට සිය නිවෙස් වලට යවන මුදල් නිසා සිය පවුල් දරිද්‍රතාවයෙන් ආරක්ෂා කර ගත හැකි වන බව ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින්ගෙන් අඩක් පවසයි. විදෙස් රට වලට මුදල් යැවීමේ සේවා සපයන Western Union ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගෙන් සියයට 67ක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට තීරණය කළ ප්‍රධාන සාධකය ලෙස ඔස්ට්‍රේලියාවේ සිට ඔවුන්ගේ නිවෙස් වලට මුදල් යැවීමට හැකි වීම බව පෙන්වා දී තිබේ.

Two workers at a restaurant kitchen.

According to the report, 90 per cent of migrants had sent money to family back home in the past 12 months. Source: AAP / Dan Peled

Key Points
  • ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් තම වාර්ෂික ආදායමෙන් සියයට 11ක් විදෙස් මුදල් ලෙස සිය පවුල් වෙත යවන බව නව පර්යේෂණයකින් සොයාගෙන තිබේ.
  • තම මිතුරන්ට හෝ පවුලේ අයට මුදල් යැවීමට හැකිවීම ඔවුන්ට මුදල් ඉපයීමට අරමුණක් ලබා දෙන බව සෑම සංක්‍රමණිකයන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු පවසා ඇත.
  • උද්ධමනය හේතුවෙන්, සිය පවුල් වලට නොකඩවා විදෙස් මුදල් යැවීම සඳහා ඔවුන්ට අමතර පැය ගණනක් වැඩ කිරීමට සිදු වූ බව සංක්‍රමණිකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් පවසා තිබේ.
තම මිතුරන්ට හෝ පවුලේ අයට නිතිපතා විදෙස් මුදල් යැවීම සිදු නොකළොත් ඔවුන් දරිද්‍රතාවයට පත් වනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින්ගෙන් අඩකට වඩා (සියයට 51ක්) විශ්වාස කරයි.

Western Union ආයතනය විසින් නිකුත් කරන ලද The Value of Remittance වාර්තාව මගින් විදෙස් මුදල් ගනුදෙනු වල ඇති සැබෑ වටිනාකම පෙන්වා දේ.

තමන්ට මුදල් යැවීමට නොහැකි වුවහොත්, තම පවුලේ අයට හෝ මිතුරන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වනු ඇති බව සංක්‍රමණිකයන්ගෙන් 57 %ක් විශ්වාස කරන අතර 56%ක් සිය සමීපතමයන්ට හොඳ ගුණාත්මක තත්ත්වයේ ආහාර ලබා ගැනීමට නොහැකි වනු ඇති බව පවසා තිබේ.

තමන් විසින් මුදල් යැවීම සිදු නොකළහොත් තම පවුල වල සාමාජිකයන්ට පාසල් යාමට හෝ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට නොහැකි වනු ඇති බවට සංක්‍රමණිකයන්ගෙන් 53% ක් විශ්වාස කරයි. එමෙන්ම සංක්‍රමණිකයන්ගෙන් 51% ක් ඔවුන්ගේ පවුල් වලට නිවාස කුලිය හෝ නිවාස උකස්කරය ගෙවීමට නොහැකි වනු ඇති බව ප්‍රකාශ කොට තිබේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් 1,500ක් යොදා සිදු කරන ලද මෙම සමීක්ෂණයෙන්, විදෙස් මුදල් ප්‍රේෂණය මගින් ලොව පුරා සිටින පවුල්වලට ඇති කරන ධනාත්මක බලපෑම පෙන්වා දේ.
ඔවුන් යවන මුදල් හේතුවෙන් තම පවුලේ ජීවන තත්ත්වය විශාල ලෙස වැඩිදියුණු වී ඇති බව සංක්‍රමණිකයින්ගෙන් 79%ක් විශ්වාස කරන අතර තම පවුලේ අයට සහ මිතුරන්ට ජීවිතයේ වඩාත් හොඳ අවස්ථා ලැබී ඇති බව ඔවුන්ගෙන් 77%ක් විශ්වාස කරයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන්ගේ පවුල් විසින් ඔවුන් එවන මුදල් භාවිතා කරන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන්, සංක්‍රමණිකයන් ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් 11%ක් විදෙස් මුදල් ලෙස යවන බව සොයා ගෙන තිබේ. මෙසේ මුදල් යැවීමේ මූලික හේතු අතර ඔවුන්ගේ පවුලේ ආහාර වියදම්, සෞඛ්‍ය සේවා වියදම් සහ නවාතැන් සඳහා වියදම් ඇතුළත් වේ.

සංක්‍රමණිකයින්ගෙන් 92%ක් පසුගිය මාස 12 ඇතුළත ඔවුන්ගේ මව්රටවල සිටින සිය පවුල් වෙත මුදල් යවා ඇත. ඔස්ට්‍රේලියාවේ සිට සිය පවුලට මුදල් යැවීමට හැකි වීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ගත් තීරණයට ප්‍රධාන සාධකයක් වූ බවද සංක්‍රමණිකයන්ගෙන් 67%ක් ප්‍රකාශ කොට තිබේ.
A table listing the most common uses of remmittance amongst families of migrants: groceries, healthcare, accommodation, education and debts.
Source: SBS

මව් රටේ සිටින සිය පවුල් වලට මුදල් යැවීම දැන් සංක්‍රමණිකයන්ට පීඩාවක් වී තිබේ.

උද්ධමනය ඉහළ යාමත් සමඟ බොහෝ සංක්‍රමණිකයන් තම පවුල්වලට සහ මිතුරන්ට මුදල් යැවීම පීඩනයක් වී ඇති බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

නොකඩවා සිය පවුල් වෙත මුදල් යැවීම සඳහා අමතර පැය ගණනක් වැඩ කිරීමට හෝ වෙනත් රැකියාවක් ආරම්භ කිරීමට සිදු වූ බව සංක්‍රමණිකයින්ගෙන් අඩකට වඩා එනම් 56%ක් මෙම අධ්‍යනයේදී ප්‍රකාශ කොට තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පවුල් වෙත යවන විදෙස් මුදල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇති බව ඔවුන්ගෙන් 62%ක් පවසා ඇත.

සංක්‍රමණිකයන්ගෙන් අඩකට වඩා එනම් 52% ක් ඉදිරි මාස 12 තුළ තම රැකියාව අහිමි වීමට ඇති හැකියාව ගැන සැලකිලිමත් වන බව මෙම සමීක්ෂණයේදී වාර්තා කර ඇති අතර ඔවුන්ගේ මව් රට වල සිටින පවුල්වලට ද එය බලපාන බව පෙන්වා දී තිබේ.

මෙම ආර්ථික පීඩනය ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන්ගේ මානසික යහපැවැත්ම කෙරෙහි ද දැඩි පීඩනයක් එල්ල කොට තිබේ.

සිය පවුලට හෝ මිතුරන්ට සහයෝගය දැක්වීමේ වගකීම ඇතැම් විට දරාගත නොහැකි තරම් වැඩි වන බව සංක්‍රමණිකයන්ගෙන් 69%ක් මෙම අධ්‍යයනයේදී හෙළි කොට තිබේ. එමෙන්ම ඔවුන්ට නොකඩවා මුදල් යැවීම තහවුරු කිරීමට ඔවුන් තම ජීවිතය තුළ කැපකිරීම් කරන බව තවත් 69%ක් ප්‍රකාෂ කොට ඇත.

තම පුද්ගලික සබඳතා ගොඩනගා ගැනීමට වඩා රැකියාවට ප්‍රමුඛත්වය දෙන බැවින් තමන්ට බොහෝ විට තනිකමක් දැනෙන බව තවත් 58%ක් වන සංක්‍රමණිකයන් විසින් මෙහිදී වාර්තා කර තිබේ.

එසේ තිබියදීත්, තම මිතුරන්ට හෝ පවුලේ අයට මුදල් යැවීමට හැකිවීම ඔවුන්ගේ ජීවිතයට අරමුණක් ඇති කරන බව සංක්‍රමණිකයන්ගෙන් 81%ක් විසින් පිළිගෙන ඇත.

ඔස්ට්‍රේලියාවට නොපැමිණියේ නම් තම මිතුරන්ට හෝ පවුලේ අයට මූල්‍යමය වශයෙන් උපකාර කිරීමට ඔවුන්ට නොහැකි වන්නට ඉඩ තිබූ බව සංක්‍රමණිකයන්ගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් එනම් 73%ක් මෙහිදී පවසා දී තිබේ.
A list of the top 10 countries migrants living in Australia send money to.
Source: SBS News Source: SBS
2023 මාර්තු මාසයේදී Western Union ආයතනය වෙනුවෙන් 3Gem නම් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරන ලදී. එමගින් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, කැනඩාව, සහ නවසීලන්තය වෙත නිතිපතා මුදල් යවන ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයන් 1,500ක් මෙම සමීක්ෂණයට යොදා ගෙන තිබේ.

Share
Published 13 July 2023 8:33am
By Athini Amarasiri, SBS News
Source: AAP


Share this with family and friends