ඕස්ට්‍රේලියාවේ කොරෝනා වාර්තා නොවීමට හේතුව රජයේ සෞඛ්‍ය අංශ හෙළිකරයි: අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 9 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ. SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට

Oxford-AstraZeneca

First Doses Of Oxford-AstraZeneca COVID-19 Coronavirus Vaccine Arrive In Australia. Source: Getty

Highlights
  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම දේශීය කොරෝනා ආසාදන වාර්තා නොමැති වීමට හේතුවක්,
  • මෙරට රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට අමතර ප්‍රතිපාදන,
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළට
  • අවුන්සාන් සුචී ගේ හිටපු ඕස්ට්‍රේලියානු උපදේශක නව චෝදනා වලට මුහුණ දෙයි
  • තම පුතාගේ සමේ පැහැය ගැන එංගලන්ත රජ පවුලේ අය විමසිලිමත් වුන බවට හැරී කුමරු හෙළිකරයි

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම දේශීය කොරෝනා ආසාදන වාර්තා නොමැති වීමට හේතුවක්

ඕස්ට්‍රේලියාවේ සිදුවන කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම, මෙරට දේශීය වශයෙන් කොරෝනා වයිරස් සම්ප්‍රේෂණයකින් තොරව පැවතීමට ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ වන විට ප්‍රජාවෙන්  කිසිඳු කොරෝනා ආසාදනක් නොමැතිව දින 50 ක් කාලයක් වාර්තා වී ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ එම කාලය දින 10කි.

කෙසේ වෙතත් විදෙස් වල සිට මෙරටට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් සඳහා ක්‍රියාත්මක ජාතික හෝටල් නිරෝධායන ක්‍රියාවලිය හරහා නව කොරෝනා අසාදිතයින් 9 දෙනෙකු හමුව තිබේ.

මේ අතර එන්නත් බෙදාහැරීමේ පළමු සතිය තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් ෆයිසර් එන්නත් මාත්‍රා 2,000 ක් සහ පළමු දෙසතිය තුළ එන්නත් 8300 ක් බෙදා හරි බව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය ඇමතිනි යීවෙට් ඩාර්ත් සඳහන් කොට සිටී. එසේම එන්නත්කරණය සඳහා පෙරට පැමිණෙන ලෙසට තමා ක්වීන්ස්ලන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටී.

කාන්තා හිංසනය මැඩපැවැත්වීමට රජය වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි

මෙරට කාන්තාවන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා මධ්‍යම රජය විසින් ඩොලර් මිලියන 18 ක වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. ඊයේ දිනයට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන මෙය ආරම්භ විය.

පාර්ලිමේන්තුවේ සහ මෙරට දේශපාලනයේ නියැලී සිටින කාන්තාවන් කෙරෙහි ඇති ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා රජයට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.

වසර 2019 දී ආරක්ෂක ඇමති ලින්ඩා රෙනෝල්ඩ්ස්ගේ කාර්යාලයේ  සේවකයකු විසින් තමාට ලිංගික අතවර කළ බවට හිටපු ලිබරල් පක්ෂ සේවිකාවක් වන බ්‍රිටනි හිගින්ස්  විසින් සිදුකල චෝදනාවත් සමඟ මේ පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුවිය

හිටපු විදේශ ඇමති ජුලී බිෂොප්  ABC මාධ්‍යට සම්බන්ද සාකච්චාවකදී පවසා සිටියේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මේ සම්බන්දව විශාල ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවයි.

රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට අමතර ප්‍රතිපාදන

මෙරට රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට තවත් ඩොලර් බිලියන 1.2 ක අමතර ප්‍රතිපාදන එක් කිරීමට අගමැති ස්කොට් මොරිසන් බලාපොරොත්තු වේ.

ඕස්ට්‍රේලියාවේ ආධුනිකත්ව ක්‍රමය යටතේ රජය විසින් වසර 2022 සැප්තැම්බර් මාසය දක්වා, මෙරට ආධුනිකයෙකුගේ වැටුපෙන් අඩක් , වසරකට ඩොලර් 28,000 ක උපරිමයකට යටත්ව ගෙවනු ලැබේ.

මෙම ඩොලර් බිලියන 1.2 ක අමතර ප්‍රතිපාදන වෙන් කිරීම තුලින් ඕස්ට්‍රේලියාවේ  ආධුනිකත්ව පුහුණු ලාභීන් 70,000 ක් ආවරණය කිරීමට හැකිවෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කිහිපයක් කෙටියෙන්

ඊයේ (8 March) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 06 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දර්ගා නගරයේ 51 හැවිරිදි කාන්තාවක්, අනුරාධපුරය ප්‍රදේශයේ  72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ 19 හැවිරිදි කාන්තාවක්,  සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වී තිබු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 334කි. ඒ අනුව සමස්ත කොරෝනා අසාදිත සංඛ්‍යාව 82,513 ක් දක්වා ඉහල ගොස් තිබේ.

---------------------------------------------------------------------------------------------

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ තවත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොණු කර ඇති නඩුව, මැයි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ  මහාධිකරණය නියෝග කොට තිබේ. සිදුවීමට අදාලව ව්‍යාජ සාක්ෂි සැකසීම සහ සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනුකොට ඇත.

පාටලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථය මේ වන විට මුදල් අමාත්‍යාංශය භාරයේ පවතින බවතද එය මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද, විනිසුරුවරයා විසින් ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝගයක් ද නිකුත් කොට ඇතැයි වාර්තා වේ.

----------------------------------------------------------------------------------------------

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ මහතා සිදුකළ බව කියන ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට ඔහු විසින් ඉකුත් දා ප්‍රකාශ කොට තිබිණ.

මෙම ප්‍රකාශය ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු විසින් මාර්තු මස 7 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අශොක් අබේසිංහ මන්ත්‍රීවරයාට දැනුම් දුන්නද ඔහු නොපැමිණි බව වාර්තා වේ. 

මේ හේතුවෙන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

තම පුතාගේ සමේ පැහැය ගැන එංගලන්ත රජ පවුලේ අය විමසිලිමත් වුනා

තම පුත්‍රයාගේ සමේ පැහැය කොතරම් තද පැහැයක් ගනීද යන්න පිලිබඳ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් දැඩි විමසිල්ලෙන් පසුවුණු බව හැරී  කුමරු අනාවරණය කරයි.

හැරී කුමරු සහ මෙඝන් කුමරිය ඇමරිකාවේ ඔප්රා වින්ෆ්රි සමඟ CBS  නාලිකාවේ පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.

තමන්ගෙන් මේ ගැන ප්‍රශ්න කල රජ පවුලට අයත් පුද්ගලයා නම් කිරීම දෙදෙනා විසින්ම ප්‍රතික්ෂේප කල නමුත් එම සංවාදය ඉතා අප්‍රසන්නකාරි අත්දැකීමක් වුනු බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කලහ.

තම පුත්‍රයා ඉපදීමට පෙර සිටම ඔහුගේ සමේ වර්ණය පිලිබඳ හැරී කුමරුගෙන් රජ පවුලේ සාමාජිකයින් ප්‍රශ්න කල බව පැවසු මේගන් කුමරිය, තම පුත්‍රයා වන 'ආචී' හට 'ආචී කුමරු' නාමය ලබා නොදීමට හේතුවද මෙයින් පැහැදිලි වන බව ප්‍රකාශ කොට සිටියාය.

CBS  නාලිකාව මඟින් විකාශය කෙරුන මෙම වැඩසටහනේදී 'හැරී කුමරු' වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ තමන් සහ මේගන් විවාහ වීමට පෙර සිටම ඔවුන් පිලිබඳ පුර්ව නිගමනයකට, බ්‍රිතාන්‍ය රජ පවුල පැමින සිටි බවයි.

අවුන්සාන් සුචී ගේ හිටපු ඕස්ට්‍රේලියානු උපදේශක නව චෝදනා වලට මුහුණ දෙයි

බලයෙන් පහකෙරුණු හිටපු මියන්මාර නායිකා ඖන්සාන් සුචී ගේ උපදේශකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රහසිගත මුල්‍ය ගනුදෙනු පිලිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවුනු බව මියන්මාර හමුදා නායක 'මින් අන්ග් ' පවසයි.

මියන්මාර රාජ්‍ය මාධ්‍ය වාර්තාකොට සිටියේ අවුන්සාන් සුචී  ගේ හිටපු ආර්ථික උපදේශක , ඕස්ට්‍රේලියානු ජාතික 'ෂෝන් ටර්නෙල්' රටින් පැනයාමට උත්සහ දරමින් සිටියදී මෙම රහස්‍ය මුල්‍ය වාර්තා සමඟ අත්අඩංගුවට පත්වුනු බවයි.

මේ අතර  'ෂෝන් ටර්නෙල්' වහාම නිදහස් කරන ලෙසට ඕස්ට්‍රේලියානු විදේශ මත්යවරිය වන Marisse  Payne මියන්මාර හමුදා රජයෙන් ඉල්ලා සිටී.

මිට සමගාමීව මියන්මාර රජය සමඟ පැවති හමුදා සහයෝගීතාව වහමා අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත. ඒ අනුව මියන්මාරයට සැපයෙන ආධාර රාජ්‍ය නොවන සංවිධාන හරහා ලබාදීමටද තීරණය කොට තිබේ.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර , තවත් 1500 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවේ පසුවෙයි.

** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි



Share
Published 9 March 2021 5:27pm
Updated 9 March 2021 5:48pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends