Medicare rebate freeze පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු රජයෙන් ඉල්ලයි. (SBS සිංහල/ වාර්තා)

RACGP එළිදැක්වූ නවතම වාර්තාවට අනුව රෝගීන් 10,000ක් යොදාගනිමින් සිදු කළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙන් එක් රෝගියකුට $49ක මුදලක් තම පසුම්බියෙන් ගෙවීමට සිදු වන බවයි.

Medicare

Source: AAP

දැනට පවතින Medicare rebate freeze නොහොත් Medicare ප්‍රතිදාන නියම අගය මඳක් ඉහළ දැමීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු අගමැති මැල්කම් ටර්න්බුල් ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේ නොමැතිවුවහොත් ලබන වසරේ සිට වෛද්‍යවරුන්ගෙන් 70%ක් පමණ සිය ගාස්තු ඉහළ නංවනු ඇතැයි අනතුරු අඟවා තිබේ.

මෙම Medicare rebate freeze හේතුවෙන් පසුගිය ජූලි මාසයේ සිට bulk-billing අනුපාතය 10%කටත් වඩා ප්‍රතිශතයකින් වේගයෙන් පහත බැසීමක් සිදුවන බව වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලය නොහොත් Royal Australian College of General Practitioners (RACGP) පෙන්වා දෙයි.

RACGP එළිදැක්වූ නවතම වාර්තාවට අනුව රෝගීන් 10,000ක් යොදාගනිමින් සිදු කළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙන් එක් රෝගියකුට $49ක මුදලක් තම පසුම්බියෙන් ගෙවීමට සිදු වන බවයි.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ගාස්තු වලට අදාළව පමණක් මෙම Medicare rebate freeze ඉහළ දැමීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටියි. එය රජයට වසරකට ඩොලර් මිලියන 150ක් පමණ පිරිවැයක් වුවද වෛද්‍යවරු බැහැ දැකීමේදී රෝගීන් හට ගෙවීමට සිදුවන අධික මුදලෙන් රෝගීන්ව බේරාගැනීමට උපකාරී වන බව ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විටත් RACGP විසින් මෙම කරුණ සෞඛ්‍ය ඇමතිනී Sussan Ley හට ඉදිරිපත් කර ඇති අතර ඇය මෙම මාසයේදී ඒ පිළිබඳ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මීට අමතරව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison සමගද සාකච්ඡා කිරීමට RACGP අපේක්ෂා කරයි.

“අපි මේ කරුණ පිළිබඳ සෞඛ්‍ය ඇමතිනී Sussan Ley හට ඉදිරිපත් කළ විට ඇය මේ සම්බන්ධව ගණනය කිරීමක් කළා. ඇයගේ ගණනය කිරීම සහ අපගේ ගණනය කිරීම එක හා සමාන බව ඇයට අවබෝධ වුණා.” RACGP හි සභාපති Bastian Seidel පැවසීය. මෙම පිරිවැය මෙහි බලපෑම සමග සසඳන විට එතරම් විශාල නොවන බවද ඔහු පැවසීය.

Medicare ප්‍රතිපාදන සඳහා කිසියම් තීරණයක් ගතහොත් එය අය වැයෙහි අන්තර්ගතවී ඇති ආකාරයට ගනු ලබන බව  සෞඛ්‍ය ඇමතිනී Sussan Ley පැවසීය.

Bulk-billing අනුපාතිකය පහත වැටෙනු ඇතැයි යන කරුණ ඇය ප්‍රතික්ෂේප කරන අතර 2015/16 කාලයේදී  වෛද්‍යවරුන් සඳහා bulk-billing අනුපාතිකය 85.1%ක් දක්වා පැමිණ ඇති බව ඇය පෙන්වා දුන්නාය.

RACGP හි වාර්ෂික සමුළුව ඇමතීමට හා රජය සහ වෛද්‍යවරුන් අතර ඇති පළුදුකම් නැති කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිනී Sussan Ley පසුගිය බ්‍රහස්පතින්දා පර්ත් නුවරට ගොස් සිටියාය.

මේ අතර RACGP විසින් නව වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කර ඇති අතර එය මෙම Medicare rebate freeze වලට විරුද්ධව නිර්මාණය වුවක් බව වාර්තා වේ. එමගින් ජනතාවට ඔවුන් දැනුම් දෙන්නේ වෛද්‍යවරයෙකු හමුවීමට පැමිණීමේදී ජනතාවට පෙරට වඩා මුදලක් දැන් වැය වන බවයි.

පසුගිය ජූලි 02 වන දින සිටද RACGP විසින් මේ සම්බන්ධ නවතම දැන්වීමක් රූපවාහිනියේ පළ කළ අතර රජයෙන් ඒ පිළිබඳ නිසි ප්‍රතිචාරයක් ලැබේ යැයි සිතා මැතිවරණයෙන් පසුව සති කිහිපයක් ඔවුන්  එම දැන්වීම නවතා තබන්නට කටයුතු කළේය. නමුත් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හෙත්වුඑන් නැවතත් එම දැන්වීම පළ කරන්නට ඔවුන් කටයුතු කළේය.

ඉදිරි මාස 12 ඇතුලත bulk-billing අනුපාතිකය වේගයෙන් කඩා වැටීමට නියමිත බව RACGP යළිත් අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය bulk-billing අනුපාතිකය පිළිබඳ ඉදිරිපත් කළ දත්තයන් වැරදි බවත් ඒ මගින් නොමග යැවීමක් සිදුවන බවත් ඔවුන් පවසයි.

RACGP හි සාමාජිකයන් 33,000ක පිරිසෙන් 2/3ක්ම ඉදිරි වසරේදී mixed billing ක්‍රමය අනුගමනය කිරීමට අවධානය යොමු කර ඇති බව සඳහන්. ඒ අනුව විශ්‍රාමික පුද්ගලයන් ඇතුළුව ආර්ථික අපහසුකම් ඇති අය උදෙසා bulk-billing ක්‍රියාත්මක කරන අතර වැඩි වියදම් දැරීමට හැකි උදවිය සඳහා රජයේ අනුමත ගාස්තුව අය කෙරෙනු ඇත. 


Share
Published 2 October 2016 9:32pm
Updated 2 October 2016 9:34pm
By Madhura Seneviratne
Source: AAP, SBS News


Share this with family and friends