ඔස්ට්‍රේලියාව තුළ රැකියා කරන සියලුම ජාත්‍යන්තර සිසුන් හට Fair Work Ombudsman වෙතින් විශේෂ පණිවිඩයක්. (SBS සිංහල/වාර්තා)

පසුගිය මුල්‍ය වර්ෂය තුළදී රැකියා ස්ථාන වල සිදුවන අසාධාරණකම් හේතුවෙන් Fair Work Ombudsman මගින් අධිකරණයේ පැවරූ නඩු වලින් 49% ක්ම වීසා ලාභියෙකු සම්බන්ධ ඒවා වූ අතර එම නඩු වලින් තුනෙන් එකකටම ජාත්‍යන්තර සිසුවෙකු සම්බන්ධ වී ඇති බවද සඳහන්.

Fair Work Ombudsman

Fair Work Ombudsman Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ සේවය කිරීමේදී තම ශ්‍රමය සූරා කෑමකට ලක්වනවා නම් ඒ පිළිබඳ වහාම තමන්ව දැනුවත් කරන ලෙස පවසමින් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන සියලුම ජාත්‍යන්තර සිසුන් ඇතුළුව තරුණ ප්‍රජාවගෙන් Fair Work Ombudsman, Natalie James ඉල්ලා සිටියි.

මේ පිළිබඳ කරුණු ඇතුළත් සම්පූර්ණ පිටුවක දැන්වීමක් පසුගිය සිකුරාදා (22/09) ඔස්ට්‍රේලියාවේ නාගරික වශෙයන් ප්‍රධාන පුවත් පත් තුනක සහ ප්‍රාදේශීය වශයෙන් ප්‍රධාන පුවත් පත් තුනක Fair Work Ombudsman විසින් පළ කරන ලදී.

ඊට අමතරව සිකුරාදා දිනයේදී එම දැන්වීම චීන, ඉන්දියානු සහ වියට්නාම ඇතුළු විදේශ භාෂා 10 කින් පළ කළ බවද සඳහන්.

විශේෂයෙන්ම මෙම දැන්වීම ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන සියලුම ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කරගෙන පළ කළ බව Fair Work Ombudsman, Natalie James පවසයි.
ඔස්ට්‍රේලියාවේ රැකියා සම්බන්ධ නීතිය ඔවුන්ගෙන් බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබීමත් රැකියාවන් කිරීමේදී ඔවුන් හට වන අසාධාරණකම් පිළිබඳ පැමිණිලි කිරීමට ඔවුන් බියක් දැක්වීමත් මෙම කටයුත්ත සඳහා මූලිකම හේතුව වූ බව ඇය පවසයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික වීසා හිමියන්ගෙන් වැඩිම පිරිසක් වන්නේ ජාත්‍යන්තර සිසුන් බවත් 2017 ජූලි මාසය වන විට එම අගය 560,000 ඉක්මවා ඇති බවත් වාර්තා වේ.

පසුගිය මුල්‍ය වර්ෂය තුළදී රැකියා ස්ථාන වල සිදුවන අසාධාරණකම් හේතුවෙන් Fair Work Ombudsman මගින් අධිකරණයේ පැවරූ නඩු වලින් 49% ක්ම වීසා ලාභියෙකු සම්බන්ධ ඒවා වූ අතර එම නඩු වලින් තුනෙන් එකකටම ජාත්‍යන්තර සිසුවෙකු සම්බන්ධ වී ඇති බවද සඳහන්.
තමන්ගේ රැකියා අයිතීන් සහ නියමිත වැටුප් පිළිබඳ නිසියාකාරයෙන් දැනුවත් වන ලෙස Fair Work Ombudsman, Natalie James සියලුම ජාත්‍යන්තර සිසුන්ගෙන් ඉලා සිටින අතර තම රැකියා ස්ථානය පිළිබඳ යම් හෝ ගැටළුවක් ඇත්නම් එය නොපමාව පවසන ලෙසද ඇය ඉල්ලා සිටියි.
ඔස්ට්‍රේලියාව තුළ සේවය කරනු ලබන අනෙකුත් සෑම සේවකයෙකු හට ඇති අයිතීන් ම සේවය කිරීමේදී ජාත්‍යන්තර සිසුන් හටද ඇති බව ඇය අවධාරණය කරයි.

සේවා ස්ථානයේ තමන්ට සිදුවන අකටයුතුකම් හෝ අසාධාරණකම් පිළිබඳ පැමිණිලි නොකිරීමට ජාත්‍යන්තර සිසුන් බොහෝ විට අකමැත්තක් දක්වන්නේ එය තමන්ගේ වීසා වලට හෝ තමන්ගේ රැකියාවට බලපෑමක් ඇති වේදෝ යන බිය නිසා බවද Natalie James පෙන්වා දෙයි.

ඇතැම් සේවා යෝජකයින් ජාත්‍යන්තර සිසුන්ව මෙරටින් පිටුවහල් කිරීමට පැමිණිලි කරන බවට තර්ජනය කර ඔවුන් හට නියමිත පැය ගණනට වඩා දීර්ග පැය ගණනක් සේවය කිරීමට වැඩ සලසීම පිළිබඳ තමා දැනුවත් බවද ඇය පවසයි.

ඇතැම් විට එම සේවා යෝජකයින් ම ජාත්‍යන්තර සිසුන් හට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවන බවද ඇය පෙන්වා දෙයි.
තමන්ගේ වීසා කොන්දේසි යටතේ නියමිත අයුරින් ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන ජාත්‍යන්තර සිසුන් හට තම ආයතනයේ හෝ ආගමන කටයුතු පිළිබඳ දෙපර්තම්න්තුවේ සහය අවශ්‍ය ඕනෑම විටෙක ලබා දීමට සූදානම් බවත් යම් අසාධාරණයක් සිදු වන විට නොපැකිළිව එය පැමිණිලි කරන ලෙසත් Fair Work Ombudsman, Natalie James නැවත වරක් ජාත්‍යන්තර සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

සේවා ස්ථානවල තාවකාලික වීසා හිමියන් සම්බන්ධවසිදුවූ අසාධාරණකම් වලට එරෙහිව Fair Work Ombudsman මෑත කාලීනව මැදිහත්වූ අවස්ථා කිහිපයක්...

  • මෙල්බන් හි Meatball and Wine Bar, මෙල්බන් නගරයේ මෙන්ම Richmond සහ Collingwood  හි පිහිටි තම අවන්හල් වල සේවය කරන තම සේවකයින් 26 දෙනෙකු හට වැටුප් අඩුවෙන් ගෙවීම හේතුවෙන් 2017 වසරේ අගෝස්තු මාසයේ දී අධිකරණයේ නඩු පැවරීම.
  • නිව් කාසල් Pizza Hut හි සේවකයින් 24 දෙනෙකු හට ඩොලර් 20,000 ක් පමණ අඩුවෙන් ගෙවූ බවට 2017 වසරේ අගෝස්තු මාසයේ දී හෙළි දරව් වීම.
  • මෙල්බන් හි Crown Casino පරිශ්‍රයේ පැය 24 පුරාම ක්‍රියාත්මක අවන්හලක සේවකයින් 54 දෙනෙකු හට වැටුප් අඩුවෙන් ගෙවීම සම්බන්ධව 2017 ජූලි මස හෙළි කරගෙන නීතිමය පියවර ගැනීම. එම සේවකයින් 54 දෙනාගෙන් 25 දෙනෙකුම තාවකාලික වීසා හිමියන් බව සඳහන්.
  • සිඩ්නි පිරිසිදු කිරීමේ සමාගමක් (cleaning operator) තමන් යටතේ සේවය කරන ජාත්‍යන්තර සිසුන් දෙදෙනකු හට පූර්ව ගෙවීම් (back-pay) සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම මත 2026 නොවැම්බර් මසදී දඩ පැනවීම.
  • 2016 වසරේ නොවැම්බරයේදී බ්‍රිස්බන් හි 7-Eleven ශාඛාවක් තම විදෙස් ශ්‍රමිකයින් වන සූරා කෑමකට ලක් කිරීම හේතුවෙන් අධිකරණය හමුවට පැමිණවීම.

සහය පැතීමට...

යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 13 13 94  යන දුරකථන අංකයෙන් Fair Work Infoline ඇමතීමෙන් හෝ 13 14 50යන දුරකථන අංකයෙන් Fair Work Ombudsman හි භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව ඇමතීමෙන්  තම රැකියාව හෝ සේවා ස්ථානයේ ඇති යම් අසාධාරණකම් පිළිබඳ සහය පැතීමට ජාත්‍යන්තර සිසුන් හට හැකි බවද Fair Work Ombudsman පවසයි.

---------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------------------



Share
Published 26 September 2017 1:16am
Updated 12 August 2022 3:53pm
By Madhura Seneviratne, Natasha Christian
Source: SBS News


Share this with family and friends