ශ්‍රී ලංකාවේ පළාත් සභා තුනක මැතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් මහ ඇමතිවරුන්ට පෙරේදා (27/03) දැනුම් දී තිබේ.
2012 වසරේ ඡන්දය පැවති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය මේ වසරේදී අවසන් වන බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණදිය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඔහු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අමාත්‍යවරුන්ට පෙරේදා ජනාධිපතිවරයා විශේෂ කැදවීමක් කර තිබුණි.
එළඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත තරුණ සමුළුව සහ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා ද සහාය ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.