ඇමරිකානු ආරක්ෂක කණ්ඩායම් දිගුකාලීනව ලංකාවේ රැඳී සිටීම කිසිසේත්ම සිදුනොවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය කියයි

Alaina-B.-Teplitz

Alaina-B.-Teplitz - American Ambassador in Sri Lanka

පාස්කු ඉරිදා සිදු වූ භයානක ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපදය සිය උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් (Alaina Teplitz ) මහත්මිය ප්‍රකාශ කරයි.

මෙවැනි කෲර ක්‍රියා කාරකම් අනාගතයේදී සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ආරක්ෂක සහ සන්නිවේදන ක්‍රියා පටිපාටියන් පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරන බවත් ඒ සඳහා එක්සත් ජනපදය මුහුණ දුන් විපත් වලින් ලබාගත් අත්දැකීම් බෙහෙවින් උපකාර වනු ඇතැයි ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම් මත පමණක් එක්සත් ජනපද විශේෂඥයින් දැනටමත් ශ්‍රී ලංකා නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් එහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපද ආරක්ෂක කණ්ඩායම් දිගුකාලීනව මෙරටෙහි රැඳී සිටීම කිසිසේත්ම සිදුනොවන බවද ඇය කියා සිටියාය.

මෙවැනි අවස්ථාවක ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව ශ්‍රී ලංකා රජය අවබෝධ කර ගෙන ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් බවත් සෑම පුද්ගලයෙකුගේම සහ ජන කණ්ඩායම්වල මානව අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් ඔවුනොවුන් සාමකාමීව එක්ව ජීවත් වීමට ඇති අවස්ථාව ලබාදීම වැදගත් යැයි ද ඇය අවධාරණය කරයි.

මෙම බිහිසුණු ප්‍රහාරය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් මිස සමස්ත ජන කොටස ගේ ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රහාරය හෙළා දැකීම සඳහා සියලු පසුබිම් සහිත ආගම් වල ශ්‍රී ලාංකිකයන් එකට එක්වී සිටී. ත්‍රස්තවාදයට දිය හැකි වඩාත්ම බලවත් පිළිතුර වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එකමුතුකම යි.

ශ්‍රී ලංකාවේ පවතින විශ්මිත විවිධත්වයට සෑම විටම අප ගරු කළ යුතු අතර රටේ සංවර්ධනයට අවශ්‍ය එකමුතු සංස්කෘතිය වඩාත් ශක්තිමත් කළ යුතු යැයි ද ඇමෙරිකානු තානාපති මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

SBS Sinhala correspondent - Nadeeka Bandara reports...


Share
Published 29 April 2019 2:28pm
Updated 29 April 2019 2:35pm
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends