ඔස්ට්‍රේලියා දිනයේ ආරම්භය සහ ඔස්ට්‍රේලියාවට නම ලැබුණු අයුරු පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

Australia Day

Source: Getty Images

මෙවරත් ජනවාරි 26 වන දින  "ඔස්ට්‍රේලියා දිනය" සැමරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්ම බොහෝ ඔස්ට්‍රේලියානුවාසීහු සූදානමින් පසුවෙති. වසර 1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට සේන්දුවී එලෙස ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටුවනු ලැබූ දිනය "ඔස්ට්‍රේලියා දිනය" ලෙස සැමරීම ඊට හේතුව වී ඇත.

නමුත් ජනවාරි 26 වන දා "ඔස්ට්‍රේලියා දිනය" සැමරීම, ඔස්ට්‍රේලියාව සුදු ජාතිකයින් අතින් ජනාවාස වීමට ප්‍රථම එහි වාසයකළ ස්වදේශිකයින් වන ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට සිතනුයේ ඔවුනට කරන නින්දාවක් ලෙසටයි. මේ නිසා මෙම දිනය ඔවුන් හඳුන්වනු ලබනුයේ "Invasion Day" හෙවත් තම දේශය 'ආක්‍රමණය කල දිනය' ලෙසටයි.


 SBS සිංහල Facebook පිටුව -


“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


එනිසාම "ඔස්ට්‍රේලියා දිනය" සැමරීමට ජනවාරි 26 වන දින හැර වෙනත් දිනයක් යොදාගන්නා ලෙස ඔවුන් මධ්‍යම රජයට බල කරන්නට පටන්ගෙන තිබේ.

Australia Day
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයින්

වර්තමාන ඔස්ට්‍රේලියානු මහද්වීපයේ ස්වදේශිකයින් වන්නේ ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් බව මේ වන විට ලිඛිත සහ වාචික සාක්ෂි වලින් ලෝකයම හඳුනාගෙන තිබේ.

ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාවට (National Australia Day Council) අනුව එම ස්වදේශික ජනතාව වසර 60,000 කටත් වඩා කාලයක සිට ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ වාසය කර ඇත.

මේ අතර 13 වන සියවසේදී යුරෝපා ජාතිකයින් ආසියාව සහ නැගෙනහිර දූපත් පිළිබඳ විස්තර සෙවීමට උනන්දු විය.

එහිදී ඔවුන්ගේ නාවුක කණ්ඩායම් එම ප්‍රදේශ කරා පිටත් කර යැවීමට ඔවුන් තීන්දු කළ අතර ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයින්ගේ ඉරණම වෙනත් අතකට පෙරළෙන්නේ ඉන් අනතුරුවය.
Australia Day
Source: SBS

බ්‍රිතාන්‍ය ආක්‍රමණය

වසර 1770 අගෝස්තු 22 වන දින කපිතාන් James Cook, ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බට අතර වර්තමානයේ Possession දූපත ලෙස හැඳින්වෙන ස්ථානයේ බ්‍රිතාන්‍ය ධජය එසවූ බව වාර්තා වේ.

වසර 1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට ගොඩ බට අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටුවනු ලැබූ දිනය ලෙස එදින හඳුන්වන්නට පටන් ගත්තේය.

මෙම ප්‍රථම නැව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිතාන් Arthur Philip වූ අතර ඔහු මෙම ජනපද පිහිටුවීම නිල වශයෙන් සනිටුහන් කිරීමට සිඩ්නි බොක්කේ  බ්‍රිතාන්‍ය ධජය එසවීය.

ඒ අනුව ජනවාරි 26 වන දිනය ඔස්ට්‍රේලියාවේ “First landing day” හෝ “Foundation day” ලෙස සිඩ්නි ගැසට් පත්‍රය විසින් 1804  දී පටන් නිල වශයෙන් හඳුන්වන්නට පටන්ගත් බව ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාව පවසයි.
Australia Day
Source: State Library Victoria

ඔස්ට්‍රේලියාවට නම ලැබුණු හැටි

බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔස්ට්‍රේලියානු මහද්වීපයට සේන්දු වීමට පෙර ඕලන්ද ජාතිකයින් මෙම මහාද්වීපය හැඳින්වුයේ New Holland ලෙසිනි.

නමුත් මෙහි පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයෙකු වූ Mathew Flinders විසින් 1804 දී මෙම දේශයට "ඔස්ට්‍රේලියාව" යනුවෙන් නම් කරනු ලැබීය.

එය ලතින් වදනකින් බිදී පැමිණියක්  බවත් එහි තේරුම "දකුණු මහා භූමිය" යන්න බවත් වාර්තා වේ.

කෙසේ හෝ වසර 1817 පටන් මෙම භූමියේ නාමය නිල වශයෙන් "ඔස්ට්‍රේලියාව" යනුවෙන් හඳුන්වන්නට තීරණය කළේය.
Australia Day
Source: Wikipedia

ඔස්ට්‍රේලියා දිනය නම් කළ හැටි

වසර 1818 දී මෙහි එවකට සිටි Macquarie ආණ්ඩුකාරවරයා විසින් ජනවාරි 26 වන දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කළේය.

වසර 1888 දී බ්‍රිතාන්‍යයේ පළමු නැව් කණ්ඩායම, ඔස්ට්‍රේලියාවට පැමිණි 100 වන සංවත්සරය සමරන්නට විය.

එම සැමරුම් එතෙක් කලක් පැවතියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් වුවද 1888 සැමරුමට ටස්මේනියාව, වික්ටෝරියාව, ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තයද සහභාගී වූ බව වාර්තා වේ.

ඉන් අනතුරුව එම සැමරුම “Foundation day” නමින් ජාතික සැමරුමක් බවට පත් විය.

පසුව වසර 1994 දී “Australia Day” හෙවත් “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම නිල වශයෙන් ස්ථාපිත කළ බව ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාව පවසයි.
Australia Day
Source: AAP

ආක්‍රමණික දිනය

ජනවාරි 26 වන දිනට යෙදී තිබෙන “ඔස්ට්‍රේලියා දිනය” නිමිත්තෙන් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ විවිධ මත ගොඩනැගෙමින් පවතියි.

1788 වසරේ ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් කපිතාන් Arthur Phillip ගේ නායකත්වයන් එකල Jackson තොටුපොළට හෙවත් වර්තමානයේ සිඩ්නි වරායට සේන්දු වීම නිමිතිකොටගෙන වසරේ සෑම ජනවාරි 26 වන දිනම “ඔස්ට්‍රේලියා දිනය” සැමරේ.

ඉතිහාසයට අනුව බ්‍රිතාන්‍ය ජනපද, ඔස්ට්‍රේලියාවේ ආරම්භ වුයේ එතැන් පටන්ය.

නමුත් එතැන් පටන් ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ගේ වසර 60,000 ක් පුරා මෙබිම ගත කළ නිදහස් ජීවිතයට තිත තැබෙන්නට වූ බව ඉතිහාසය පවසයි.

එනිසාම, ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ජනවාරි 26 වන දින “Invasion Day” හෙවත් “ආක්‍රමණික දිනය” ලෙස හඳුන්වයි.

ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් විසින් සෑම වසරකම ජනවාරි 26 වන දින තමන්ගේ ස්වදේශික ස්වෛරී භාවය ලොවට විදහා පෑමට සහ බ්‍රිතාන්‍ය ජනපදකරණය, ජනවාරි 26 වන දින සැමරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පාගමන් සංවිධානය කරයි.
Australia Day
Aboriginals communities stage a protest on Australia Day Source: AAP

ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීම

ජනවාරි 26 වන දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට මෙල්බන් නුවර නගර සභා දෙකක් 2017 වසරේ අගෝස්තු මාසයේදී ඒකමතිකව සම්මත කරගත්තේය.

මෙලෙස  "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දින නොසැමරිය යුතු බවට සම්මත කරගෙන ඇත්තේ මෙල්බන් හි Darebin සහ Yarra නගර සභාය.

එමන්මනා ඔවුන් එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවද නොපැවැත්වීමට ඒකමතිකව තීන්දු කළේය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ නිල උත්සව ජනවාරි 26 වන දිනට යෙදෙන ඔස්ට්‍රේලියා දිනය දාම සිදුකරන ලෙස මධ්‍යම රජය විසින් සිදු කරන බල කිරීම විහිළු සහගත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය  සහ නගර සභා නියෝජනය කරන කණ්ඩායම් පවසයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ පිළිබඳ නීති සංග්‍රහයන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සංශෝධනය කරමින් පසුවන අතර සෑම නගර සභාවක්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ නිල උත්සව ජනවාරි 26 වන දින පැවැත්විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බල කරමින් සිටියි.
Australia Day
Australia's PM - Scott Morrisson Source: AAP


-----------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා - පෙ.ව 11 සිට 12 දක්වා

  • සජීවීව සහ පසුව online අහන්න
  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-----------------------------------------------------------------------------------------------


Share
Published 26 January 2022 12:25pm
Updated 26 January 2022 1:02pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends