සෞදියෙන් පැනවිත් සමාජ මාධ්‍ය හරහා ලෝක අවධානය දිනාගත් තරුණියට ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලැබෙන ලකුණු.

Rahaf Mohammed Al-Qunun.

Source: SBS

සරණාගතභාවය අපේක්ෂාවෙන් සෞදි අරාබියේ සිට ඔස්ට්‍රේලියාවට ගුවනින් පැමිණෙමින් සිටියදී තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේදී සැකපිට රඳවාගත් සෞදි තරුණිය හට සරණාගත වීසා ලබා දීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුවී තිබේ.

ඇගේ තත්ත්වය සහ ඇගේ අතීත අත්දැකීම් පිළිබඳ සළකා බලා එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය විසින් ඇයව නීත්‍යානුකූල සරණාගතභාවය ලබා ගත හැකි පුද්ගලයෙකු ලෙස නම් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය අවධානය මෙසේ යොමු කර ඇත.
Rahaf Mohammed Alqunun
Source: SBS

සෞදියෙන් බැංකොක් නුවරට

18 හැවිරිදි මෙම තරුණිය Rahaf Mohammed Alqunun නම් වන අතර අයගේ මව් රට සෞදි අරාබියාව වේ.

ඇගේ දෙමාපියන් සංචාරයක නිරතව සිටින විට ඇය මෙසේ සරණාගතභාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවට ගුවනින් ගමන් අරඹා තිබේ.

එහිදී ඇය කෙසේ හෝ සෞදි අරාබියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සංචාරක වීසා ලබා ගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගමනේදී ඇයට බැංකොක් ගුවන් තොටුපොළ හරහා පැමිණීමට සිදුව තිබේ.

දෙමාපියන්ට හොර රහසේ තනිව පැමිණි ඇය ඉකුත් ජනවාරි 05 වන දින බැංකොක් ගුවන් තොටුපොළ වෙත ළඟාවූ අතර එහිදී ඇය පිළිබඳ සැක සිතී තායිලන්ත ආගමන අංශ ඇයගෙන් ප්‍රශ්න කර තිබේ.

පසුව ඇය තමාගේ ගමනේ සියලු විස්තර ඔවුන් හට හෙළිකරන්නට විය.

දැඩි ඉස්ලාම් මූලධර්මාවාදී පසුබිමක් සහිත තමාගේ පවුල තුළ තරුණියක් ලෙස තමන්ට දැඩි පීඩනයක් යටතේ ජීවත්වීමට සිදුව ඇති බවත් එම පීඩනය දරාගත නොහැකිව තමන් මෙම ගමන ඒමට තීරණය කළ බවත් Alqunun තායි බලධාරීන්ට පවසා තිබේ.

තමන් ඉස්ලාම් ආගම අතහැර ඇති නිසා තමන් නැවතත් සෞදියට ගියහොත් තම ජීවිතය පිළිබඳ විශ්වාසයක් තැබීමට පවා නොහැකි වන බවද ඇය එහිදී පැවසුවාය.
Rahaf Mohammed Al-Qunun.
Source: SBS

බැංකොක් නුවරින් නෙරපීමට පියවර

කෙසේහෝ ඇය තවමත් විවාහ නොවූ තරුණියක් සහ දෙමාපිය භාරයේ පසුවන තරුණියක් හේතුවෙන් නැවතත් ඇයව සිය පවුල වෙත යැවීමට තායි බලධාරීන් කටයුතු කර තිබේ.

මේ කටයුතු සිදුවන අතරවාරයේ ඇයව හෝටලයක නැවත්වීමට තායි බලධාරීන් කටයුතු කළේය.

මේ අතර බැංකොක් ගුවන්තොටුපොළේ දී තමාට අත්වූ ඉරණම සහ ඔවුන්ගේ තීරණය පිළිබඳ Alqunun සිය සමාජ ජාල ගිණුම හරහා ලෝකයට ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව ජාත්‍යන්තර පුවත් වෙත ඇයගේ මෙම සිදුවීම ප්‍රධාන පුවතක් බවට පත්වීමෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය ඇයගේ තත්ත්වය පිළිබඳ වහා සලකා බලන්නට විය.

මේ අතර ඇගේ පියා වන ජනරාල් Surachate බැංකොක් නුවරට පැමිණ තිබේ.

ඔහු සෞදි අරාබියාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කරන බවට තොරතුරු වාර්තා වේ.

ඔහු තම දියණියව රැගෙන යාමට කැමැත්ත පළ කර ඇති අතර තමාගේ පවුල තුළ ඇතැම් අවස්ථාවන් හිදී ඇයව නොසලකා හැරුණු බව ඔහු එහිදී පිළිගෙන තිබේ.

Surachate ගේ පවුලේ Alqunun ඇතුළුව ළමුන් 10 දෙනෙකු සිටින බවද සඳහන්.

නමුත් Alqunun ගේ පප්‍රකාශ සහ එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලයේ මැදිහත්වීම නිසා මේ වන විට ඇය නීත්‍යානුකූලව පිළිගත් ජාත්‍යන්තර සරණාගතයෙකු ලෙස හැඳින්වේ.

එම නිසා ඇයව සෞදි අරාබියාවට පිටත්කර හැරීම සිදු නොකිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය මැදිහත් වී තිබේ.
Rahaf Mohammed Al-Qunun.
Home Affairs Minister Peter Dutton talks to reporters. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලබා දීම

Rahaf Mohammed Alqunun හට මානුෂීය පදනම යටතේ ඔස්ට්‍රේලියානු සරණාගත වීසා ලබාදීමට ඔස්ට්‍රේලියාව අවධානය යොමු කරන බව ස්වදේශ කටයතු අමාත්‍ය Peter Dutton පැවසීය.

නමුත් මෙය අති විශේෂ සිදුවීමක් ලෙස නොසලකා සාමන්‍ය සරණාගත සිද්ධීන් පිළිබඳ සලකා බලන විලස මේ සඳහා අවධානය යොමු කරන බව ද ඔහු පවසා ඇත.


Share
Published 10 January 2019 1:36pm
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends