Exclusive

යටිකුරු කළ ආහාර රටාව උඩුකුරු කරන්නට ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්ට වෙනම ආහාර පිරමිඩයක්

ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සමරන NAIDOC සතිය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ විශේෂ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සම්පාදනය කෙරේ.

Australian Aboriginal woman giving her granddaughter a hug in the park

Australian Aboriginal woman giving her granddaughter a hug in the park Source: Getty Images/davidf


 

ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන් වන ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්ගේ ආහාර රටාව ගැනත් බ්‍රිතාන්‍ය සංක්‍රමණය හා ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු ස්වදේශිකයන්ගේ ආහාර රටාවේ සිදු වුණ වෙනස් කම් සහ ඒ තුළින් ඔවුන්ට මතු වූ සෞඛ්‍ය ගැටළු පිළිබමෙල්බර්න් සිට ජේෂ්ඨ කථිකාචාර්යවරයකු, පර්යේෂකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ ලියපදිංචි පෝෂණවේදියෙකු වන මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සමඟ සිදුකළ සමග සිදු කළ සාකච්ඡාවේ තොරතුරු මෙම ලිපියේ අන්තර්ගත වේ.


ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන්ගේ වර්තමාන ආහාර රටාව පිළිබඳව අප කළ විමසීමකදී මහාචාර්යවරයා පැවසුවේ, ඔවුන්ගේ වර්තමාන ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් නොවන බවයි.

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ වර්තමාන ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි ?

1.තම ආහාර අවශ්‍යතාවයෙන් 42% ක් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වලින් සපුරා ගැනීම
  ඔවුන් සිසිල් බීම වැනි සීනි අධික ආහාර
  බදින ලද අල පෙති/ chips වැනි තෙල් සහ පිටි අධික පැකට් කරන ලද ආහාර
  කේක් , මෆින් වැනි පිටි සහ සීනි අධික ආහාර වැඩි වශයෙන් ආහාරයට ගනී.

2.එළවළු ආහාරයට ගැනීම අඩු වීම
දෛනිකව එළවළු අවශ්‍ය ප්‍රමාණය ආහාරයට ගන්නේ
වැඩිහිටියන්ගෙන් 4% ක් සහ ළමයින්ගෙන් 7% ක් වැනි සුළු පිරිසක් පමණි.

3. ශක්ති ජනක ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම සහ එහිදී සම්පූර්ණ ධාන්‍ය ( whole grain) අවශ්‍ය තරම් ආහාරයට නොගැනීම.
නිර්දේශිත අගය 50% ක් වුවත් ස්වදේශිකයන්ගේ ආහාර රටාවේ සම්පූර්ණ ධාන්‍ය 25% ක් පමණක් ඇතුළත් වේ.

*මේ අතර දිනපතා අවශ්‍ය ප්‍රමාණයට පලතුරු ආහාරයට ගන්නා වැඩිහිටියන් 39% සහ ළමුන් 69% සිටී. එය ඔවුන්ගේ ආහාර රටාවේ ඇති එක් ධනාත්මක ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක.
Aboriginal Food in Western Australia outside Perth
Aboriginal Food in Western Australia outside Perth Source: Getty Images/Nicky Almasy

*ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන්ට තමන්ටම ආවේණික වූ bush tucker diet නම් ආහාර සංස්කෘතියක් තිබී ඇත. එම ආහාර රටාවේදී පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික ශාක ආහාර සහ සත්ව ආහාර බහුලව ඔවුන් විසින් භාවිතා කර තිබේ. මෙම ආහාර රටාව ඉතාම සෞඛ්‍ය සම්පන්න වූ අතර ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් ඉහළ මට්ටමක පැවතුණි. ඒ අනුව ඔවුන් වර්තමානයට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නට ඇතැයි තමා විශ්වාස කරන බව මහාචාර්යවරයා පවසයි.*

බටහිර ජනාවාස ඇතිවීමට පෙර අතීතයේදී ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ සීනි, කාබෝහයිඩ්‍රේට් අධික ආහාර , පිරිපහදු කරන ලද ධාන්‍ය ( refined grains), මත්පැන් වැනි අහිතකර දේ නොතිබූ බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම බ්‍රිතාන්‍ය සංක්‍රමණයත් සමග ඔවුන්ගේ ආහාර රටාවේ විශාල වෙනස්කම් සිදුවූ බව ද ඔහු පවසයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන්ගේ ආහාර රටාවේ සිදුවූ වෙනස්කම් වලින් ඔවුන්ගේ සෞඛ්‍යයට ඇතිවූ බලපෑම්



  1. අපේක්ෂිත ආයු කාලය අඩු වීම
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ජීවත් වන්නේ සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන්ට වඩා වසර දහයකට අඩු කාලයකි.

  2.ප්‍රජාවේ වැඩි පිරිසක් තරබාරු වීම.

 සාමාන්‍ය බර ඇති වැඩිහිටියන් 29%
 අධික බර හෝ තරබාරු බවින් පෙළෙන වැඩිහිටියන් 70-80%

3. බෝ නොවන රෝග අවධානම වැඩි වීම

කොලෙස්ටරෝල් වැඩි වීම
හෘදයාබාධ
දියවැඩියාව

 *ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ගේ ප්‍රධානම මිය යෑමේ සාධකය වන්නේ හෘදයාබාධ වලට ගොදුරු වීමයි*

ආහාර රටාව හා ශාරීරික ක්‍රියාකාරකම් රෝග ඇතිවීමට විශාල බලපෑමක් එල්ල කරයි. එයින් වැඩි වශයෙන් බලපාන්නේ වෙනස් වූ ආහාර රටාවයි. මෙම ජන කොට්ඨාසයේ චර්යාත්මක ගැටලු රැසක් තිබේ. ඒ අතර මත්පැන් වලට ඇබ්බැහි වීම, අධික ලෙස දුම්පානය කිරීම, අඩු ක්‍රියාශීලීත්වය දැක්විය හැකි වේ.
Australian Aboriginal woman giving her granddaughter a hug in the park
Australian Aboriginal woman giving her granddaughter a hug in the park Source: Getty Images/davidf

ඔස්ට්‍රෙලියාවේ ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන් සඳහා වෙනම ආහාර පිරමිඩයක්

ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන් සඳහා වන ආහාර මාර්ගෝපදේශය () අනෙත් ඕස්ට්‍රේලියානුවන්ට ඇති මාර්ගෝප්දේශයන්ට සමාන වන නමුත් එහි යම් යම් විශේෂිත කාරණා එහි හුවා දක්වා ඇත.

විශේෂිත නිර්දේශ

  • එළවළු කාණ්ඩයට රනිල කුලයේ, බෝංචි වැනි එළවළු වර්ග වැඩි වශයෙන් එකතු කර ගැනීම
  • සම්පූර්ණ ධාන්‍ය (wholegrain) සහ තන්තු අධික ඇට වර්ග එක් කර ගැනීම
  • මත් පැන් පානය ඉතාම අවම කිරීම හෝ භාවිතා නොකිරීම
  • වැඩිපුර ජලය පානය කිරීම
  • පැණි බීම පානය අවම කිරීම හෝ පානය නොකිරීම
  • දරුවන්ට මව්කිරි දීම දිරිමත් කිරීම
  • ජන කණ්ඩායම අතර ලැක්ටෝස් අසාත්මිකතාවය සුලබ නිසා යෝගට් වැනි සැකසූ කිරි ආහාර ගැනීම දිරිමත් කිරීම

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර පිරමිඩයට අනෙක් ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර පිරමිඩයෙන් වෙනස්  වන ආකාරය

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර පිසීමේ ක්‍රම වල වෙනස්කම් ඇත. ඔවුන් වඩාත් හුරු වී ඇත්තේ වෙළඳසැල් වලින් යම් කිසි දෙයක් මිලට ගෙන ආහාරයට ගැනීමටයි. ඒ නිසා ඔවුන්ගේම පෝෂ්‍යදායි ආහාර රටාව දිරිමත් කිරීමක් ද මෙහිදී සිදු කර තිබේ.

ඊට අමතරව, ආහාර මිලදී ගැනීමේදී වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග තෝරා ගැනීමට යොමු කිරීම මෙහිදී අරමුණු කර ගෙන ඇත.

ඒ අනුව, පරළු පාන් , පෝෂ්‍යදායි බිස්කට් වර්ග, ඔවුන්ගේ සම්ප්‍රදායික ආහාර රටාවේ එන විවිධ මස් වර්ග, එක් එක් ප්‍රදේශ වල සුලබව ඇති නැවුම් එළවළු සහ පලතුරු වර්ග වැඩි වශයෙන් යෝජනා කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී අවධානය යොමු කර ඇත්තේ ටින් කරන ලද සහ ඇසුරුම් කරන ලද කල් තබා ගන්න ආහාර වලට වඩා නැවුම් එළවලු පලතුරු ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලබා දීමයි.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ගවුම් එළවළු පලතුරු මස් මාළු භාවිතා කර ආහාර වේලක් පිළියෙල කර ගැනීමට ඇති ඉඩකඩ සහ පහසුකම් සීමාසහිත වේ. මේ ප්‍රජාවේ බොහෝ දෙනෙක්ට ආහාර ගබඩා කර තබා ගැනීමට ශීතකරණ පහසුකම් අඩු අතර ආහාර වෙළෙඳ සැල් වලට ඇති දුර ඉතා වැඩි වේ. ඔවුන් සැකසූ ආහාර මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹීමට හේතුව මෙයයි. ඒ නිසාම ස්වදේශිකයන්ගේ ආහාර පිරමිඩයට රූපමය ලෙස, ටින් කරන ලද හා සැකසූ අසුරන ලද ආහාර වැඩි වශයෙන් එක් කර තිබෙන්නේ වඩා සෞඛ්‍ය සම්පන්න සහ කල් තබා ගත හැකි ආහාර වර්ග පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව ලබාදීමටයි.



  • සාමාන්‍ය පාන් වෙනුවට පරළු පාන්
  • ටින් කරන ලද එළවළු සහ පලතුරු වර්ග
  • නැවුම් කිරි වෙනුවට කිරි පිටි
  • යෝගට්

පහසුවෙන් සපයා ගත හැකි, සැකසූ , කල් තබා ගත හැකි, පිසීමට අවශ්‍ය නොවන, පහසුවෙන් ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න විකල්ප ආහාර මෙසේ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ ආහාර පිරමිඩයට ඇතුළත් කර තිබේ.
Healthy eating pyramid
Healthy eating pyramid Source: Nutrition Australia


ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතික සංක්‍රමණිකයන් සහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතික සංක්‍රමණිකයන් සහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයන් යන කාණ්ඩ දෙකම එකම ආකාරයක රෝග තත්ත්වයන්ට මුහුණ දෙන අතර ඒ ගැන පැහැදිලි කිරීමට පර්යේෂකයන් යොදා ගන්නේ නම් විද්‍යාත්මක සංකල්පයයි. එහිදී කියවෙන්නේ යම් ජානයක් නිසා මෙම කාණ්ඩ වල සිරුරේ adipose පටකය ලෙස තෙල් තැන්පත් වීම ඉතා වේගයෙන් සිදු වන බවයි. එනිසාම මෙම කාණ්ඩ දෙකටම බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩි වේ.
ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index) ගණනය කිරීම යුරෝපීය ජාතිකයන්ට වඩා වෙනස් ආකාරයකින් සිදු කළ යුතු බව ද මේ වන විට පිළිගෙන ඇත.

දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ගේ ආහාර රටාවද ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ මෙන්ම එතරම් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් නොවේ.

දඩයම් කරමින් ආහාර එක්‍ රැස් කරමින් ජීවත් වූ ස්වදේශිකයන්ගේ ආහාර රටාව මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වූවා මෙන්ම දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ගේ ආහාර රටාවේද කාබෝහයිඩ්‍රේට් වැඩි වශයෙන් පරිභෝජනය කරනු දක්නට ලැබේ. ඔවුන්ගේද ශරීර ක්‍රියාකාරකම් වල අඩුවක් දක්නට ලැබේ.මේ නිසා අහිතකර රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉතා වැඩිවේ. වයස අවුරුදු 30-40 වන විටම දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ට දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග තත්ත්ව ඇති වන අතර බටහිර ජාතිකයන්ගේ එම වයස් සීමාව 50-60 දක්වා වේ.
Twelve cans of open vegetables sit next to one another in three rows. There are peas, carrots, beats, snow peas, corn, chick peas and Lima beans in the cans.
Healthy options for vegetables when there's no access to fresh vegetables Source: Getty Images/FotograficaBasica
දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ඇස්තමේන්තු සහ පුරෝකථන සිදු කරන විට මෙම වැඩි වන අවධානම ගැන සලකා බැලීමක් දැනටමත් සිදු කරනු ලැබේ. දැනටත් ගැටළුවක්ව පවතින දකුණු ආසියාතික සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය මෙන්ම නිසි අවධානයක් යොමු කිරීම අනාගතයේ මතු වීමට නියමිත ගැටළු වලට පිළියමක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා පවසයි.


 

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: 

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 







Share
Published 4 July 2022 9:05pm
By Athini Amarasiri

Share this with family and friends