2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - පාකිස්තානු තරගය අහෝසි කිරීමේ ඉන්දියානු ඉල්ලීම ICC ය ප්‍රතික්ෂේප කරයි.

ICC World Cup 2019 fixtures to stay unchanged after the request to call off India – Pakistan match.

Source: Facebook

කුමන හේතුවක් නිසා හෝ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැලසුම් කරන ලද තරග කාල සටහන වෙනස් නොකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස ජුනි 16 වන දින පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අහෝසි කරන ලෙසත් ඉන්දියාවට, පාකිස්තානය සමග තරග නොවදින ලෙසටත් හිටපු ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩක හර්බජාන් සිං ප්‍රකාශ කිරීමත් සමග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Dave Richardson මේ බව ප්‍රකාශ කළේය.

එළඹෙන මැයි මස 30 වන දායින් ආරම්භ වන  2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි 14 වනදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය සෙබළුන් 40 ක් පාකිස්තානු ජාතික ත්‍රස්තවාදියෙකු විසින් පසුගියදා කාශ්මීරයේදී ඝාතනය කිරීමත් සමග ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු - පාකිස්තානු ක්‍රිකට් තරගය අහෝසි කරන ලෙස ඉන්දියාවේ ඇතැම් ක්‍රිකට් සංගම් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්නට විය.

ඒ සමගම හිටපු ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩක හර්බජාන් සිං ද එම තරගය අහෝසි කරන මෙන් ඉල්ලා සිටියේය.

නමුත් 2019 ක්‍රිකට් ලෝක කුසලානයට දින 100 දින ගැනුම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් සැලසුම් කළ කිසිදු තරගයක් කුමන හේතුවක් නිසාහෝ අවලංගු නොකරන බවත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Dave Richardson ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව යනු ජාතීන් අතර එකමුතු බව වර්ධනය කරන ක්‍රීඩාවක් බවත් එනිසාම එය ලෝකයට ආදර්ශයක් ලබා දිය යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුල් වටයේ පැවැත්වෙන ඉන්දු - පාක්සිතානු ක්‍රිකට් තරගය අවසන් මහා තරගයටත් වඩා ආකර්ෂණයක් ඇති තරගය බවට මේ වන විටත් පත්වී හමාර බව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ Steve Elworthy පවසයි.


Share
Published 25 February 2019 11:58am
By Madhura Seneviratne

Share this with family and friends