නවතම ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයට අනුව ප්‍රමුඛතම 100 අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 6 ක්. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසරේ වර්ගීකරණයට වඩා මෙල්බන් විශ්ව විද්‍යාලය මෙවර වර්ගීකරණයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර තේරී පත්වූ සෙසු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පෙර වසරට වඩා පසුබැස්මක් මෙවර පෙන්නුම් කර තිබේ.

University of Melbourne

Source: www.timeshighereducation.com

Times Higher Education world university rankings හෙවත් Times උසස් අධ්‍යාපන ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයේ 2018 ලැයිස්තුවට අනුව ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 100 අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 6 ක් තේරී ඇති බව වාර්තා වේ.

සෑම වසරකම නිකුත් කරනු ලබන මෙම වර්ගීකරණයේ මෙවර ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලය සමත්වී ඇති අතර එක්සත් රාජධානියේ Cambridge විශ්ව විද්‍යාලය සහ කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පත්ව ඇත.

ඇමෙරිකාවේ Standford විශ්ව විද්‍යාලය සිව්වන තැනටත් Massachusetts තාක්ෂණික ආයතනය පස්වන තැනටත් මෙවර තේරී තිබේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලය මෙවර දර්ශකයේ 32 වන ස්ථානයට තේරීපත්ව ඇති අතර Australian National University හෙවත් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය වර්ගීකරණයේ 48 වන ස්ථානයට පත්ව තිබේ.
එමෙන්ම සිඩ්නි විශ්ව විද්‍යාලය, 61 වන තැනටද ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය 65 වන තැනටද මොනෑෂ් විශ්ව විද්‍යාලය 80 වන තැනටද නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය 85 වන තැනටද මෙවර තේරී පත්ව ඇත.

පසුගිය වසරේ වර්ගීකරණයට වඩා මෙල්බන් විශ්ව විද්‍යාලය මෙවර වර්ගීකරණයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර තේරී පත්වූ සෙසු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පෙර වසරට වඩා පසුබැස්මක් මෙවර පෙන්නුම් කර තිබේ.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ UNSW, University of Technology Sydney, Macquarie University, University of Newcastle, University of Wollongong, Charles Darwin University, Western Sydney University සහ Australian Catholic University යන විශ්ව විද්‍යාල ද මෙවර වර්ගීකරණයේ පළමු 500 ට තේරී පත්ව ඇත.
මෙවර වර්ගීකරණය සඳහා ලොව පුරා රටවල් 77 ක ක්‍රියාත්මක ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 1000 වෙත අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා ඒවායේ ඉගැන්වීම්, පර්යේෂණ, උපුටා දැක්වීම්, ජාත්‍යන්තර යොමුව සහ ක්ෂේත්‍ර ආදායම පිළිබඳ සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.

මේ අතර ප්‍රථම වරට චීනයේ උසස් අධ්‍යාපන ආයතන ද්විත්වයක් ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයේ ප්‍රථම 30 අතරට මෙවර පැමිණ ඇති බවත් එය කැපී පෙනෙන සිදුවීමක් බවත් මෙම වර්ගීකරණයේ කර්තෘ Phil Baty පැවසීය.

ඊට අමතරව පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ජාත්‍යන්තර සිසුන් ලියාපදිංචිය 15% කින් පමණ වැඩිවී ඇති බවත් ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් ඉහලම ප්‍රතිශතය පැමිණෙන්නේ චීනයෙන් බවත් එය 30% ක් පමණ වන බවත් වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් දෙවනුවට ඉහලම ප්‍රතිශතය ඉන්දියාවෙන් පැමිණෙන බවත් එය 11 % ක් පමණ බවත් සඳහන්.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට මෙන්ම එක්සත් රාජධානියේ සහ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වලට පවා ආසියානු විශ්ව විද්‍යාල නුදුරේම තර්ජනයක් වනු ඇති බවට මෙවර වර්ගීකරණය හරහා ඉඟි පළ වී ඇති බව වාර්තා වේ.

Share
Published 10 September 2017 10:18pm
By Madhura Seneviratne
Source: The Age

Share this with family and friends