ඉංග්‍රීසින්ගේ තුවක්කුවට එරෙහිව කඩුව ඇමෝරු වෙල්ලස්ස කැරැල්ලට වසර 200 යි. (SBS සිංහල/වාර්තා)

සිංහලයේ කැපී පෙනෙන නිදහස් සටන ලෙස ඌව වෙල්ලස්ස කැරැල්ල සැලකෙයි. මෙය උඩරට කැරැල්ල, සත් කෝරළයේ කැරැල්ල ලෙස ද හැඳින්වේ.

1818 Uva–Wellassa uprising

Source: Prasanna Weerakkodi

මහනුවර  ප්‍රදේශයේ පසුගිය දින වල පැවතුණු හදිසි තත්ත්වය අතර තුරේ “කැරළි කෝලාහල” යන වදන් නිරතුරුවම අපට ඇසෙන්නට විය.

කැරලි පිළිබඳ විමසන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු කැපී පෙනෙන නිදහස් කැරැල්ලට වසර 200 ක් සපිරීම මෙම වසරේදී සිදු වේ.

එනිසාම සිංහලේ පලමු නිදහස් සටනට පිළිබඳ SBS සිංහල වැඩසටහන ඔබට විශේෂ ලිපියක් ගෙන එන්නට අදහස් කළේය.

බ්‍රිතාන්‍යයන් ගේ ආක්‍රමණය

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ප්‍රධානතම ආක්‍රමණ තුනකට මුහුණ දුන් අතර ඒවා පිළිවෙලින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන් වේ.

ලන්දේසීන් විසින් 1505 දී ලංකාව අක්‍රමණය කළ පෘතුගීසින්ව පළවා හැර  1638 දී ලංකාවේ බලය අත්පත් කර ගත්තේය.

වසර 158 ක ලන්දේසි පාලනයට තිත තබමින් ඉංග්‍රීසින්ගේ ආක්‍රමණය වසර 1796  දී සිදුවූ අතර 1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී උඩරට රදළවරුන් සහ ඉංග්‍රීසින් අතර අත්සන් තැබූ කන්ද උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ පාලන බලය නිල වශයෙන් ඉංග්‍රීසින්ට හිමි විය.
ක්‍රිස්තු වර්ෂ 1815 දී සැඟ වී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව බෝමුරේදී සිරභාරයට ගැනීම
ක්‍රිස්තු වර්ෂ 1815 දී සැඟ වී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව බෝමුරේදී සිරභාරයට ගැනීම Source: Wikimedia

කන්ද උඩරට ගිවිසුම

1815 මාර්තු 02 වන දිනයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක්‌ සිදුවූ බවත් 1815 මාර්තු මස 10 වන දින දී කන්ද උඩරට ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබූ බවටත් මතයක් පවතී.

ඒ අනුව ඓතිහාසික කන්ද උඩරට ගිවිසුමට 2018 මාර්තු 10 වන දිනට වසර 203 ක් සපිරේ.

උඩරට ගිවිසුම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් අත්සන් තැබූ අතර ගිවිසුමේ අනෙක් පාර්ශවය වූ සිංහල ජනතාව වෙනුවෙන් ඇහැළේපොළ නිලමේ හා පළමු අධිකාරම්, හත් කෝරලේ දිසාවේ මොල්ලිගොඩ හා දෙවැනි අධිකාරම්, සබරගමුව දිසාවේ පිළිමතලව්වේ, හතර කෝරලේ දිසාවේ පිළිමතලව්වේ, ඌවේ දිසාවේ මොනරවිල, වලපනේ දිසාවේ දූල්ලෑවේ, වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවේ වූ මිල්ලෑව, තමන්කඩ දිසාවේ ගලගම සහ නුවර කලාවියේ දිසාවේ වූ ගලගොඩ යන රදළයන් අත්සන් තැබූ බව ඉතිහාසය පවසයි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් එම උඩරට ගිවිසුම සකස් කර තිබු අතර ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක වූ ජෝන් ඩොයිලි සහ බ්‍රිතාන්‍ය රජයේ උප ලේකම් වූ ජේම්ස් සදර්ලන්ඩ් අත්සන් තබා ඇත.
උඩරට ගිවිසුමේ අත්සන් පත්‍රය.
උඩරට ගිවිසුමේ අත්සන් පත්‍රය. Source: Dinamina

සිංහලේ පලමු නිදහස් සටනට වසර 200 යි.

සිංහලයේ පළමු නිදහස් සටන ලෙස ඌව වෙල්ලස්ස කැරැල්ල සැලකෙයි.

මෙය උඩරට කැරැල්ල, සත් කෝරළයේ කැරැල්ල ලෙස ද හැඳින්වේ.

වෙල්ලස්ස කැරැල්ල (1818)

1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු උඩරට ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් ශ්‍රී ලංකාවේ  සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය.

ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය.

මේ තත්ත්වය සිංහලයින්ට ඉවසාගෙන සිටීමට නොහැකි විය.

මේ අතරතුරේ දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය.

බූටෑවේ රටේ රාල ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ.

මෙම සිංහල පිබිදීම ට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්වීමත් සමග වෙල්ලස්සේ සටන ආරම්භ විය.

ඉන් අනතුරුව මෙම සටන මැඩ පැවැත්වීමට ඉංග්‍රීසින් විසින් මොණරවිල කැප්පෙටිපොල දිසාවේ එවීය.

නමුත් බූටෑවේ රටේ රාල ගේ කරුණු පැහැදිලි කිරීම් මත කැප්පෙටිපොල දිසාවේ තමන් සමග පැමිණි ඉංග්‍රීසි හමුදාව යළි හරවා යවා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී සිංහලයින් සමග එක විය.

සටන බරපතල ලෙස සිදුවන විට ඉංග්‍රීසින් සාමාන්‍ය අහිංසක වැසියන් ඝාතනය කරමින් සිංහල ගම් බිම් විනාශ කරන්නට විය.

දිනෙන් දින ඉංග්‍රීසින්ගේ වියරු ක්‍රියා හේතුවෙන් සිංහල ජනයා විඳින මරණීය ඉරණම නිසා සිංහල හමුදාවන් සටන් ලිහිල් කළේය.

මේ අතර කැප්පෙටිපොල හා පිළිමතලාවේ යන දිසාවරුන් 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය.

1818 නොවැම්බර් 2වන දින බෝගම්බර පිටියේදී ඉංග්‍රීසින්ට විරුද්ධව ප්‍රථම කැරැල්ලේ අභීත නායකත්වය ඉසිලූ වීර කැප්පෙට්ටි පොළ දිසාවේ ගේ හිස ගසා දැමිණි.
වෙල්ලස්ස කැරැල්ල
Source: Prasanna Weerakkodi

වෙල්ලස්ස කැරැල්ලේ බල කණු හතර

වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් ප්‍රධාන සිංහල වීරයින් සිව් දෙනෙකුගේ නම් ලංකේය ඉතිහාසයේ ඉහළින්ම ලියවී ඇත.

වීර කැප්පෙටිපොළ දිසාවේ

රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩාර මොණරවිල කැප්පෙටිපොල හෙවත් කැප්පෙටිපොල නිලමේ එවකට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යටතේ වෙල්ලස්‌ස ප්‍රදේශය පාලනය කරමින් සිටියේය.

බ්‍රිතාන්‍යයන් විසින් වෙල්ලස්‌සේ සටන මර්දනය කිරීමට වඩාත් සුදුසුම පුද්ගලයා කැප්පෙටිපොළ බව තීරණය කිරීමෙන් පසුව ඔහුව සේනාවක් සමඟ වෙල්ලස්‌ස බලා පිටත් කළේය.

වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවූ කොහුකුඹුරේ රටේ රාළ හා බූටාවේ රටේ රාළ අළුපොතදී කැප්පෙටිපොළ දිසාවේ මුණගැසුණු අතර එම හමුවීමෙන් පසු කැප්පෙටිපොළ දිසාවේ වෙල්ලස්‌සේ සටන හා එක් වූ බව ඉතිහාසයේ සඳහන්.

සටන බරපතල ලෙස සිදුවන විට ඉංග්‍රීසින් සාමාන්‍ය අහිංසක වැසියන් ඝාතනය කරමින් සිංහල ගම් බිම් විනාශ කරන්නට විය.

දිනෙන් දින ඉංග්‍රීසින්ගේ වියරු ක්‍රියා හේතුවෙන් සිංහල ජනයා විඳින මරණීය ඉරණම නිසා සිංහල හමුදාවන් සටන් ලිහිල් කළේය.

මේ අතර කැප්පෙටිපොල හා පිළිමතලාවේ යන දිසාවරුන් 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය.

1818 නොවැම්බර් 2වන දින බෝගම්බර පිටියේදී ඉංග්‍රීසින්ට විරුද්ධව ප්‍රථම කැරැල්ලේ අභීත නායකත්වය ඉසිලූ වීර කැප්පෙට්ටි පොළ දිසාවේ ගේ හිස ගසා දැමිණි.
වීර කැප්පෙටිපොළ දිසාවේ
වීර කැප්පෙටිපොළ දිසාවේ Source: Lankadeepa

දොරේසාමි හෙවත් විල්බාවේ

බ්‍රිතාන්‍ය රජයේ උසස්‌ නිලධාරීන් සහ සිංහල නායකයන් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් ඇරඹුණු මෙම කැරැල්ලට විල්බාවේ විසින් මුලදී නායකත්වය දී ඇති බව වාර්තා වේ.

ඌව ප්‍රදේශයේ වාසය කළ ඔහුව දොරේසාමි ලෙස ද හඳුන්වා ඇත.

“දොරේසාමි” නායක්කාර නාමයක් වුවද මොහු නායක්කාර් පෙළපතේ අයෙක් නොවන බවද සඳහන්.

මුල් කාලයේදී පැවිදිව  අප්‍රකටව වාසය කළ දොරේසාමි කුරුණෑගල අසල විල්බාව පුරාණ වළව්වේ උපන් අතර ඔහුගේ ගිහි නාමය “මුදියන්සේ විල්බාවේ” ලෙස දැක්වේ.
දොරේසාමි හෙවත් විල්බාවේ
Source: Lankadeepa

කිවුලෙගෙදර මොහොට්ටාල

වෙල්ලස්ස සටනේ යුධ  විරුවන් අතරින් කැප්පෙටිපොළ දිසාවේ මෙන්ම රට වැසියන් අතර බොහෝ ජනප්‍රියව සිටි පුද්ගලයා ලෙස කිවුලෙගෙදර මොහොට්ටාල හැඳින්වේ.

බිබිලේ පහරගම්මන විසූ මුස්ලිම් තරුණියකට පෙම් බැඳි එතුමා වැඩිහිටියන්ගේ අකමැත්තද නොසලකා ඇයව විවාහ කරගත්තේය.

කැරැල්ල පැවැත්වෙන අතරේ කිවුලෙගෙදර මොහොට්ටාලගේ හිස ලබා දෙන අයෙකුට රන් පගෝදි 500ක් ලබා දෙන බවට ඉංග්‍රීසීන් විසින් රට පුරා පණිවිඩයක් යවන ලදී.

රට වැසියන් දෙදනෙකු විසින් ලබා දුන් ඔත්තුවක් මත ඔහුව ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වූ අතර 1818 දෙසැම්බර් 18 වැනිදා ඉංග්‍රීසින් විසින් ඔහුව  මරණයට පත් කරන ලදී.
කිවුලෙගෙදර මොහොට්ටාල
කිවුලෙගෙදර මොහොට්ටාල Source: Lankadeepa

බූටෑවේ රටේ රාළ

බූටෑවේ රටේ රාළ ද වෙල්ලස්සේ කැරැල්ල ට අභීතව තම දායකත්වය ලබා දුන් රණ ශූරයෙකි.

ඉංග්‍රීසීන්ට පක්ෂව සිටි මැලේ බට පිරිස් සිංහල හමුදාව වෙත ඇද ගැනීමට බූටාවේ රටේ රාළ මහත් වෙහෙසක් දැරූ බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත්, සටන පහු බසිද්දී මරගල කන්දේ සැඟව සිටින අතරේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් මෙතුමා  1818 ඔක්තෝබර් 20 වැනිදා බිබිල කොටබෝවේදී ඉංග්‍රීසින් විසින් ඔහුව  මරණයට පත් කරන ලදී.
බූටෑවේ රටේ රාළ
බූටෑවේ රටේ රාළ Source: Lankadeepa

යුධ විරුවන් දේශ ද්‍රෝහීන් සහ රාජ ද්‍රෝහීන් කිරීම

බ්‍රිතාන්‍ය ඇසින් බලන කල්හි වෙල්ලස්සේ සටන බ්‍රිතාන්‍ය ආණ්ඩුව පෙරළා දැමීමට දියත් කළ කැරැලිකරුවන්ගේ කැරැල්ලකි.

සිංහල ඇසින් බලන්නෙකුට එය පෙනීයන්නේ දේශප්‍රේමීන්ගේ විමුක්ති අරගලයක් ලෙසිනි.

උඩරට විමුක්ති අරගලය සිදුවන අවධියේ මෙරට ආණ්ඩුකාර ධූරය දරන ලද්දේ රොබට් බ්‍රවුන්රිග් ය.

1818 ජනවාරි මස 10 වැනි දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ නිවේදනයක් මගින් උඩරට විමුක්ති අරගලයට සම්බන්ධ වූවන් 19 දෙනකු රාජද්‍රෝහීන් (කැරැලිකරුවන්) වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

එම 19 දෙනා මෙසේ ය.

1. කැප්පෙටිපොල දිසාව

2. ගොඩේගෙදර රටේ අදිකාරම

3. කැටකාල මොහොට්ටාල

4. කතරගම මහබෙත්මේ රටේ රාල

5. කතරගම කුඩා බෙත්මේ රටේ රාල

6. පලන්ගොල්ලේ මොහොට්ටාල

7. වත්තේකැලෙ මොහොට්ටාල

8. පොල්ගහගෙදර රෙහෙනරාලෙ

9. පොසේරෙවත්තෙ විදානෙ

10. කිවුලේගෙදර මොහොට්ටාල

11. කළුගමුවේ මොහොට්ටාලෙ

12. උඩුමාදුර මොහොට්ටාලෙ

13. කොහුකුඹුරේ වලව්වේ රටෙ රාල

14. කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල

15. බූටෑවේ රටේ රාල

16. බකිනිගහවෙල රටේ රාල

17. මහ බදුල්ලෙ ගම්මානෙ රටේ රාල

18. බුළුපිටියෙ මොහොට්ටාල

19. පල්ලෙ මල්හේනේ යායේ ගමැතිරාල
තුවක්කුවට එරෙහිව කඩුව ඇමෝරු ලක් ඉතිහාසයේ පළමු නිදහස් කැරැල්ලට වසර 200 යි.
Source: Prasanna Weerakkodi

දේශ ද්‍රෝහීන් නැවත ජාතික වීරයින් කිරීම.

කෙසේවෙතත්, වසර 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු සිංහල විරුවන් දේශද්‍රෝහීන් ලෙස නම් කරමින් එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිකුත් කර තිබූ ගැසට්‌ පත්‍රය 2017 දෙසැම්බර් 08 වන දින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් අහෝසි කර ඔවුන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණි.

මේ අතර 1818 ඌව - වෙල්ලස්ස නිදහස් අරගලයට දායකවීම හේතුවෙන් ඉංග්‍රීසින් විසින් මරණ දඬුවම නියම කළ සහ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ විරුවන් අසූ දෙදෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 වසරේ ජනවාරි 03 වන දින අත්සන් තැබීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී සාම්ප්‍රදායනුකූල චාරිත්‍රවලට අනුකූලව පැවැත්වූ  උත්සවයකදී ජනාධිපතිවරයා විසින්  මෙම ගැසට් පත්‍රයට අත්සන් තබන ලදී.

සිංහලේ නිදහස් සටන්, ඌවේ ඉතිහාසය, සිංහලේ ජාතික විරුවෝ යන කෘති ඇසුරෙනි.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 11 March 2018 11:57pm
Updated 12 March 2018 6:09am
By Madhura Seneviratne

Share this with family and friends